iMage: Consider that a photograph obtained from the internet has been edited/manipulated using GenAI

1981 මැයි 31 සහ ජූනි 01 යන දිනයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කළු අකුරින් සටහන් වූ සාහසික පරිච්ඡේදයක නොමැකෙන සටහන්ය.. එදින, එවකට පැවති පාලන තන්ත්‍රයේ සෘජු අනුග්‍රහය ලත් වර්ගවාදී දේශපාලන මැර කල්ලි සහ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරන ලදී. දෙමළ ජනතාවගේ “බුද්ධිමය පූජා භූමිය” ලෙස හදුන්වනු ලැබූ ඒ මහා ඥාන පද්ධතිය විනාශ කර වසර 45ක් සපිරෙයි. මෙය හුදෙක් භෞතික ගොඩනැගිල්ලකට තැබූ ගින්නක් නොව, ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ බුද්ධිමය, සංස්කෘතික සහ ඓතිහාසික අනන්‍යතාවයේ මර්මස්ථානය ඉලක්ක කරමින් එල්ල වූ සැලසුම් සහගත අපරාධයකි. පෙරදිග දුර්ලභ අත්පිටපත්, පර්යේෂණ පත්‍රිකා සහ අමිල ඓතිහාසික ලේඛන ඇතුළු ග්‍රන්ථ 97,000කට අධික ප්‍රමාණයක් එදින අළු බවට පත් විය. දශක හතර හමාරක් ගතවුවද, මෙම මහා අපරාධයට වගකිවයුත්තන් තවමත් නීතිය හමුවට පමුණුවා නොමැති අතර, යුක්තිය වළලා දැමීමේ වේදනාව දෙමළ සමාජය තුළ අදටත් ගැඹුරු දේශපාලන රිදවීමක්ව පවතී.

ඓතිහාසික උරුමය සහ වර්ධනය

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනය අසල පිහිටි මෙම සුවිශේෂී බුද්ධිමය කේන්ද්‍රස්ථානය ආරම්භ වන්නේ 1935 වසරේදීය. කේ. එම්. චෙල්ලප්පා මහතාගේ පෞද්ගලික ප්‍රයත්නයක් ලෙස “යාපනය පුස්තකාල ව්‍යාපාරය” (Jaffna Library Movement) නමින් පොත් සිය ගණනකින් මෙය ඇරඹිණි. පසුව 1949 දී පුස්තකාලය යාපනය නගර සභාවට පවරා දීමෙන් පසු, එවකට සිටි නගරාධිපති සෑම් කනකසබේ මහතා ඇතුළු පිරිසකගේ කැපවීමෙන් එය ක්‍රමයෙන් සංවර්ධනය විය.

දකුණු ඉන්දීය ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මතු කරමින්, ඉන්දියාවේ සුප්‍රසිද්ධ පුස්තකාල විද්‍යාඥයෙකු වූ ආචාර්ය එස්. ආර්. රංගනාදන් මහතාගේ උපදෙස් හා සැලසුම් දායකත්වය ඇතිව මෙම මහල් තුනකින් යුත් අලංකාර ගොඩනැගිල්ල නිමවන ලදී. 1959 ඔක්තෝබර් 07 වන දින යාපනයේ එවකට පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා අතින් මෙම නව ගොඩනැගිල්ල විවෘත වූ අතර මෙය යාපනයේ ජනතාවගේ භක්තිමත් පූජා භූමියක් විය.

පෙරදිග ශිෂ්ටාචාරය, හින්දු දර්ශනය සහ ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳ ලෝකයේ තිබූ දුර්ලභම සහ අමිල ග්‍රන්ථ එකතුවක් මෙම පුස්තකාලය සතු විය. 1977 දී යාපනයේ තිබූ ‘ඇමරිකානු මධ්‍යස්ථානය’ (American Centre) වසා දැමීමත් සමඟ එහි තිබූ වටිනා පොත් පත් ද මෙම පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි. එය යාපනය විශ්වවිද්‍යාලීය ප්‍රජාවගේ මෙන්ම සමස්ත ලාංකීය පර්යේෂකයන්ගේ ද ඥාන පිපාසාව සංසිඳවූ සැබෑ ප්‍රදීපාගාරයක් විය.

වර්ගවාදයේ නැගීම සහ දේශපාලන පසුබිම

පුස්තකාලය බුද්ධිමය වශයෙන් වර්ධනය වූ වේගයටම, ලාංකීය දේශපාලන කරළිය තුළ වර්ගවාදය ද ව්‍යුහාත්මකව මුල් ඇද ගනිමින් තිබුණි. 1950 දශකයේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන තීන්දු මෙම විනාශයට සෘජුවම පාර කැපීය.

සිංහල පමණක් පනත: දෙමළ ජනතාව රාජ්‍ය පරිපාලනයෙන් සහ සිවිල් බලයෙන් ඈත් කිරීම.

විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය: දක්ෂ දෙමළ තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබූ ඉඩකඩ සීමා කරමින් ඔවුන්ව ආන්තිකකරණයට ලක් කිරීම. ඉන් කිහිපයකි.

මෙවැනි වෙනස්කොට සැලකීම් හේතුවෙන් දෙමළ තරුණ පරපුර දැඩි දේශපාලන සහ සමාජයීය පීඩනයකට ලක්ව සිටියහ. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණ සමයේදී, රාජ්‍ය ආරක්ෂක අංශ සහ දකුණෙන් ගිය දේශපාලන හිතවාදී මැර කල්ලි යාපනය තුළ රාජ්‍ය භීෂණයක් මුදාහළ අතර, එහි උච්චතම අවස්ථාව වූයේ පුස්තකාලය ගිනිබත් කිරීමයි. මෙය හුදු සාමාන්‍ය දේපළ විනාශයක් නොව, රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැලසුම් සහගතව සිදුකළ සංස්කෘතික සංහාරයකි. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙම ගින්නෙන් වැනසී ගියේ පොත්පත් පමණක් නොව, එක්සත් ලංකාවක් තුළ දේශපාලන බලය බෙදාහදා ගනිමින් සහයෝගයෙන් ජීවත් වීමට තිබූ අවසන් අවස්ථාවන්ගෙන් එකක් බවයි.

අළු මතින් නැගී සිටීම සහ වර්තමාන අභියෝග

දරුණු යුද වාතාවරණයක් මධ්‍යයේ වුව ද, 1998 වසරේදී යාපනය පුස්තකාලය නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ විය. අද වන විට එය පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රඳවා ගනිමින්, 30,000කට අධික පාඨක පිරිසකට සහ 2,200කට අධික නිත්‍ය සාමාජිකයන් සංඛ්‍යාවකට සිය බුද්ධිමය සේවාව සපයයි. දේශීය හා විදේශීය පර්යේෂකයන් නැවතත් එහි පැමිණෙමින් සිටිති.

භෞතික ගොඩනැගිල්ල සහ පොත්පත් නැවත එකතු කරගත හැකි වුව ද, එදා දැවී අළු වී ගිය වසර ගණනාවක් පැරණි, නැවත කිසිදා සොයාගත නොහැකි දුර්ලභ ලේඛන සහ ඓතිහාසික පර්යේෂණ ගොනු වර්තමාන පරපුරට සදහටම අහිමි වී ගොස් ඇත. එම බුද්ධිමය හිස්තැන කිසිදු භෞතික ප්‍රතිසංස්කරණයකින් පිරවිය නොහැක.

සහතික කළ යුතු යුක්තිය සහ සංහිඳියාව

ලංකාව තුළ ‘අලුත් ආණ්ඩුවක්’ පත් වීමත්, විශේෂයෙන් යුද්ධය නිල වශයෙන් අවසන් වී වසර 17ක් ගතවී ඇතත්, උතුරේ දේශපාලන සහ සිවිල් පරිසරය තවමත් පවතින්නේ බරපතල අවිනිශ්චිතතාවයකය. උතුරේ තදින් පවත්වාගෙන යන මිලිටරීකරණය සහ දකුණේ පාලකයන් විසින් යුද්ධයේ “විජයග්‍රහණ” සැමරීම මිස, යුද්ධයට හේතු වූ මූලික ගැටලුවලට දේශපාලන විසඳුම් ලබා දීම පිළිබද කිසිදු අදහසක් ප්‍රකාශ නොකිරීමත් නිසා කල්පවත්නා සාමයක් ගොඩනැගීම පිළිබද බරපතල සැක-සංකා තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

එපමණක් ද නොවේ, යාපනය මහජන පුස්තකාලයේ අනාගතය සුරක්ෂිත වන්නේ හුදෙක් නවීන තාක්ෂණය හෝ පොත්පත් එකතු කිරීම මත පමණක් නොවේ. එහි සැබෑ පැවැත්ම රඳා පවතින්නේ රාජ්‍යය විසින් දෙමළ ජනතාවගේ දේශපාලන හා සංස්කෘතික අභිලාෂයන් කොතරම් දුරට තහවුරු කරන්නේ ද යන්න මතය.

යුද්ධය නිමවී වසර 17ක් ගතවුව ද, කල්පවත්නා සාමයක් උදෙසා ගත යුතු මූලික පියවරයන් අදටත් නැවත නැවතත් ලියන්නට සිදු වීම ම ලාංකීය දේශපාලන ව්‍යුහය මුහුණ දී ඇති බරපතල ව්‍යුහාත්මක අර්බුදය මැනවින් කියාපාන්නකි. එම අර්බුදයෙන් මිදී රටක් ලෙස ඉදිරියට යාමට නම් ප්‍රධාන අවශ්‍යතා අතුරින් තුනක් සපුරාලීම අත්‍යවශ්‍ය වනු ඇත.

ඓතිහාසික වැරදි පිළිගැනීම පමණක් නොව යුක්තිය ඉටු කිරීම: 1981 සිදුකළ මෙම මහා අපරාධයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ, චෝදනා ලැබ සිටින සියලු දේශපාලන හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉතිහාසය හමුවේ වැරදිකරුවන් කරමින්, වින්දිත සමාජයට යුක්තිය සහතික කිරීම.

උතුරේ මිලිටරීකරණය අවසන් කිරීම: උතුරු-නැගෙනහිර සිවිල් අවකාශය සහ සිවිල් ජන ජීවිතය මිලිටරි ග්‍රහණයෙන් මුදාහැර, ජනතාවට තමන්ගේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අනන්‍යතාවය බියෙන් තොරව භුක්ති විඳිය හැකි නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම.

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්: ව්‍යවස්ථාපිතව තහවුරු කෙරෙන, ස්ථාවර සහ සාධාරණ දේශපාලන විසඳුමකට එළඹීම.

යාපනය මහජන පුස්තකාලය යනු දෙමළ ජනයාගේ නිදහස් චින්තනයේ සහ බුද්ධිමය උරුමයේ අමරණීය ප්‍රභල සංකේතයකි. එම උරුමයට නිසි ගෞරවය ලබා දීම, අතීතයේ සිදු වූ සාහසික අපරාධ පිළිබඳව අවංකව පසුතැවිලි වීම පමණක් නොව, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ දේශපාලන අභිලාෂයන් තහවුරු කිරීම ශ්‍රී ලංකාව “කල්පවත්නා සාමයක” සහ “සැබෑ යුක්තියේ” යුගයකට රැගෙන යන ප්‍රධානතම එක් යතුරක් වනු ඇත.

කෙසේ නමුත්, යාපනය පුස්තකාලයේ අළු මතින් නැගෙන මතකය අපට නිරන්තරයෙන් සිහිපත් කරන්නේ එකම සත්‍යයකි. එනම්, අතීතයේ සිදු වූ මෙවැනි ව්‍යුහාත්මක සංහාරයන් පිළිබඳව අවංකව පසුතැවිලි වීම පමණක් නොව, ඒ සියලු අපරාධයන්ට යුක්තිය ඉටු නොකරන තාක්, ශ්‍රී ලංකාව තුළ කල්පවත්නා සාමයක් හෝ සැබෑ සංහිඳියාවක් ගොඩනැගීම කිසිසේත් කළ නොහැකි බවයි.

රාජ්‍යයක් ශිෂ්ටසම්පන්න වීමේ මූලික පූර්ව එක් කොන්දේසියක් වන්නේ, එහි ව්‍යුහාත්මකව මුල්බැසගෙන ඇති ‘දණ්ඩමුක්තිය’ පූර්ණ ලෙස අහෝසි කිරීමයි.