ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ පොත් හතරක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජය තුළ බරපතල සංවාදයක් මතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මැදිහත් වී ඉන් කෘති දෙකක් පමණක් නිදහස් කිරීමට කටයුතු කළද, අනෙක් කෘති දෙක සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවට කලා මණ්ඩලය උපුටා දක්වමින් සමාජ මාධ්‍ය තුළ පුවත් ප්‍රචාරය විය.

එපමණක් නොව, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු කලා මණ්ඩල සාමාජිකයකු විසින් “වෙන ආණ්ඩුවක් තිබුණා නම් දීපචෙල්වන් හිරේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය සනාථ කරමින්, ඉන් නොබෝ දිනකට පසු, එනම් පසුගිය ජූනි 2 වැනිදා, යුද්ධයේ දී මරා දැමුණු සිය සම්පතමයින් සිහි කරමින් ගීතයක් ගායනා කළ චාවකච්චේරියේ තරුණ දෙමළ සංගීතවේදියෙකු කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය.

කෙසේ නමුත්, මෙම සටහනේ මූලික අරමුණ වන්නේ, දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ කලා මණ්ඩලය ප්‍රකාශ කරන ස්ථාවරයන් අතර ඇති මාරාන්තික නිල පරස්පරතාව දත්ත සහිතව හෙළිදරව් කිරීමයි.

ශ්‍රී ලංකා රේගුවේ ස්ථාවරය

2026.04.20 දිනැති ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල ලිපියේ පැහැදිලිවම සඳහන් වන්නේ, ලේඛක දීපචෙල්වන්ගේ “Bayangaravaathi” සහ “Cynide” යන කෘති දෙක නිදහස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව බවයි. නමුත් “Elluttal nan Yuttam Ceykiren” සහ “Ippothum Inge Irandu Thesangalthaan” යන කෘති ද්විත්වය නිදහස් කළ නොහැකි බවත්, එම කෘති දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය (රාජද්‍රෝහීත්වය/කලහකාරීත්වය) උල්ලංඝනය කරන බවට නිගමනය කර ඇත්තේද එම නිර්දේශ මත බව රේගුව පවසයි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ස්ථාවරය

නීතිඥ ධනුෂ්ක ද සිල්වා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ කළ විමසීමකදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය ලබාදුන් නිල පිළිතුරෙන් රේගුවේ ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ‘ව්‍යාජ’ එකක් බවට පත් කරයි. අදාළ කෘති ද්විත්වය නිදහස් නොකිරීමට කලා මණ්ඩලය නිර්දේශ කළේදැයි ඇසූ පළමු ප්‍රශ්නයටම ඔවුන් ලබා දී ඇති පිළිතුර “නැත” යන්නයි. එමෙන්ම, එම කෘති දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට හෝ රේගු ආඥාපනතට යටත් වන බවට නිර්දේශ කළේද යන ප්‍රශ්නයටද ඔවුන් “නැත” යනුවෙන් ස්ථාවර පිළිතුරක් දී ඇත.

එපමණක් නොව, මෙවැනි නීතිමය නිර්දේශයක් ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් නීතිමය ආයතනයකින් උපදෙස් ලබාගත්තේද යන ප්‍රශ්නවලට කලා මණ්ඩලය දී ඇති පිළිතුර වන්නේ එය “අදාළ නොවේ” යන්නයි. මෙයින් ගම්‍ය වන්නේ රේගු ලිපියේ සඳහන් කිසිදු ක්‍රියාවලියකට තමන් සම්බන්ධ වී නොමැති බව පමණක් නොවේ, සමකාලීන බරපතල සංස්කෘතික ප්‍රශ්නයක් හමුවේ “අදාළ නොවේ” වැනි වගකීම් විරහිත වචන භාවිත කිරීමෙන් පෙනී යන්නේ කලාකරුවන් යැයි කියාගන්නා මෙම නිලධාරීන්ගේ සැබෑ බුද්ධිමය බංකොලොත්භාවයයි.

මෙම ලේඛන ද්විත්වය (රේගු ලිපිය සහ තොරතුරු පනත යටතේ කලා මණ්ඩලයේ පිළිතුර) එකිනෙක ගැටීමේදී මතු වන දේශපාලනික සත්‍යය නම්, සාහිත්‍ය කෘති වාරණය කිරීමේ හෝ රඳවා තබාගැනීමේ සාපරාධී වගකීම භාර ගැනීමට කිසිදු රාජ්‍ය ආයතනයක් සූදානම් නැති බවයි. රේගුව විසින් තීරණයේ බර කලා මණ්ඩලය මත පටවන අතර, කලා මණ්ඩලය ලේඛනගතව ප්‍රකාශ කරන්නේ තමන් එවැනි කිසිදු වාරණ නිර්දේශයක් සිදු නොකළ බවයි.

වඩාත්ම බරපතල කරුණ නම්, අදාළ කෘති දෙමළ භාෂාවෙන් කියවා බලා ගුණදොස් විවේචනය කළේද යන ප්‍රශ්නයට කලා මණ්ඩලය “අදාළ නොවේ” යනුවෙන් පවසා තිබීමයි. එනම්, පොත් රඳවා තබාගැනීමට හෝ තහනම් කිරීමට තමන් සම්බන්ධ නැති බව කියන අතරම, ලේඛකයෙකුගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් එවැනි සාහිත්‍යමය මැදිහත්වීමක් හෝ පරිශීලනයක් කිරීමට පවා ඔවුන් ක්‍රියා කර නැති බව මෙයින් සනාථ වේ. මෙය වර්තමාන දේශපාලන ව්‍යුහය තුළ තවමත් බාධාවකින් තොරව ක්‍රියාත්මක වන ‘නොපෙනෙන වාරණ දෘෂ්ටිවාදයේ’ (Deep State censorship) සැබෑ ස්වරූපයයි; වත්මන් මාලිමා ආණ්ඩුවේ දෘෂ්ටිවාදයේ නිරුවතයි. විශේෂයෙන්ම, දෙමළ වීම නිසාම වෙනස් කොට සැලකීමට ලක්වන රාජ්‍යය තුළ පවතින ව්‍යුහාත්මක මර්දනයයි.

පාලකයන් වේදිකා මත ‘පුනරුදයක්’ සහ ‘ප්‍රකාශන නිදහසක්’ ගැන දොඩවමින් සිටියද, රාජ්‍ය යාන්ත්‍රණයන් තවමත් ක්‍රියාත්මක වන්නේ පැරණි මර්දනකාරී සෙවණැලි මත හිඳිමිනි. එක් ආයතනයක් අකුරු දඩයම් කරන විට, අනෙක් ආයතනය වගකීමෙන් අත සෝදාගන්නා “නිලධාරීවාදී සූදුවක” නිරතව සිටී. අවසානයේදී මෙම සමස්ත නාටකය හරහා සිදුව ඇත්තේ ලේඛකයාගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස් අදහස් පාලකයන්ගේ වාරණ සිරගෙය තුළ තවදුරටත් හිරකර තැබීම පමණි.

එබැවින්, නැවත නැවතත් අවධාරණය කළ යුතුය. මෙය හුදු රේගුවේ තාක්ෂණික හෝ පරිපාලනමය ප්‍රශ්නයක් නොවේ. මෙය ව්‍යුහයක් ලෙස රාජ්‍යය තුළ තවමත් ඔඩුදුවමින් පවතින මර්දනකාරී දෘෂ්ටිවාදයේ නින්දිත ලක්ෂණයකි. ‘පුනරුදයේ’ වෙස්මුහුණ පැළදගත් මාලිමා ආණ්ඩුවේ සැබෑ ස්වභාවයයි!

[විශේෂ ස්තූතිය – නීතිඥ ධනුෂ්ක සිල්වා ට]

සම්පත් සමරකෝන් | Sampath Samarakoon