iMage: Kumanan Kanna / FB
උතුරේ පස් තට්ටු අතරින් යළි යළිත් මතු වන්නේ හුදු මිනිස් අස්ථි කැබලි පමණක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මේ පොළොව යට සඟවා තැබීමට උත්සාහ කළ සාහසික අපරාධමය ඉතිහාසයක ලේඛනගත නොවුණු සාක්ෂි සමුදායයි.
චෙම්මනී සමූහ මිනී වළේ තෙවන අදියරේ කැණීම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඊයේ (ජූනි 12) වන විට ඉන් ගොඩගත් සමස්ත අස්ථි කොටස් සංඛ්‍යාව 341ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 327ක්ම සම්පූර්ණයෙන් ගොඩගෙන අවසන්ය. වඩාත්ම කම්පනකාරී සහ වේදනාත්මක සත්‍යය නම්, ඒ අතර කුඩා දරුවන්ගේ සහ බිළිඳුන්ගේ ද අස්ථි කොටස් තිබීමයි.
නමුත් මේ මහා මනුෂ්‍ය ඝාතනයේ සාක්ෂි අලුතින් මතුවෙද්දී, දකුණේ දේශපාලන හා සමාජීය ලෝකය පසුවන්නේ අතිශය මාරාන්තික නිහඬතාවයකය. මෙම නිහඬතාවය හුදු නොදැනුවත්කමක් නොවේ. එය සමස්ත ලාංකීය සමාජ දේහය කෙතරම් දුරට ද්‍රවීකරණය වී ඇත්දැයි කියා පාන කැඩපතකි.
ද්‍රවීකරණය වූ සමාජයක සදාචාරාත්මක බිඳවැටීම
යම් සමාජයක “මනුෂ්‍යත්වය” මැනිය හැක්කේ තමන්ට අයිති නැති, තමන්ගේ වාර්ගික හෝ ආගමික අනන්‍යතාවයට කිසිදු අන්දමකින් හෝ නෑකම් නොකියන “අනෙකාගේ” වේදනාව සහ අභිලාෂයන් තේරුම් ගැනීමට ඇති හැකියාව මතය. චෙම්මනී වෙතින් කුඩා බිළිඳකුගේ අස්ථි කොටසක් මතු වන විට, එය කිසිසේත්ම දේශපාලන ප්‍රවාදයන්ගෙන් හෝ වාර්ගික බෙදීම්වලින් ලේබල් කළ නොහැක. දරුවෙකු යනු දරුවෙකි.
එහෙත්, උතුරේ මිනී වළකින් බිළිඳකුගේ හිස්කබලක් මතුවීම දකුණේ සාම්ප්‍රදායික මාධ්‍යවලට හෝ පොදු සමාජ සංවාදයට අවදි වීමට තරම් හේතුවක් නොවීම තුළ පැහැදිලි වන්නේ එක් කටුක ඇත්තකි. අප ජීවත් වන්නේ මානුෂීය සංවේදනය සහ සහකම්පනය වාර්ගික පදනම මත බෙදා වෙන් කළ, සදාචාරාත්මකව මියගිය සමාජයකය. දකුණේ නිහඬතාවය විසින් වක්‍රව සනාථ කරන්නේ “උතුරේ වැළලී ඇත්තේ අපේ මිනිසුන් නොවේ” යන ඒ අතිශය අන්තරායකර සහ ගෝත්‍රික මානසිකත්වයයි.
ව්‍යුහගත අපරාධමය සංස්කෘතිය සහ රාජ්‍යයේ හැඩය
මෙම සමූහ මිනී වළවල් හුදෙකලා සිදුවීම් නොවේ. ඒවා ශ්‍රී ලාංකීය රාජ්‍ය ව්‍යුහය තුළ දශක ගණනාවක් තිස්සේ මුල් බැසගෙන ඇති ව්‍යුහාත්මක අපරාධමය සංස්කෘතියේ දෘශ්‍යමාන ප්‍රතිඵලයන්ය. චෙම්මනී, සූරියකන්ද, මන්නාරම හෝ මාතලේ මේ කුමන භූමියකින් අස්ථි මතු වුවද, ඒ හැම තැනකදීම රාජ්‍යය ක්‍රියා කර ඇති ආකාරය සහ දක්වා ඇති ප්‍රතිචාරය සමානය.
අතුරුදහන් වූවන් සහ මරා දැමූ මිනිසුන් සිහි කිරීම සඳහා කොළඹ නගරයේ පිහිටුවා තිබූ එකම පොදු ස්මාරකය වූ ‘අහිංසකයින්ගේ ආරාමය’ ගෝඨාබය රාජපක්ෂගේ “නගර අලංකරණ” ව්‍යාපෘතිය විසින් ඩෝසර් කර විනාශ කර දැමූ ආකාරය අපට මතකය. එහෙත් වඩාත්ම උත්ප්‍රාසාත්මක සහ කණගාටුදායක තත්ත්වය නම්, එදා එම අපරාධ කාලයන් හී දී දරුණුතම වින්දිතයන් වූ, අද වන විට රටේ ආණ්ඩුකරණය මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණට (ජාතික ජන බලවේගය) ද දැන් ඒ අතීත මතකයන් සහ වගවීම් අමතක වී ගොස් තිබීමයි.
මෙවන් සාහසික අපරාධ කළ අපරාධකරුවන් පිළිබඳ සත්‍යය ලොවට හෙළි කරමින්, ඒ සඳහා යුක්තිය ඉටු නොවන තාක් අප ශිෂ්ටසම්පන්න සමාජයක් යැයි අපටම කියාගත හැකිද?
අමතක කිරීමට එරෙහිව මතකය අවදි කිරීම
පොළොව යට සැඟවීමට උත්සාහ කරන්නේ මළසිරුරු පමණක් නොවේ. වින්දිතයන්ට හිමි විය යුතු “යුක්තිය” සහ සාමූහික “මතකයයි”. එම අපරාධයන්ට යුක්තිය ඉටු නොවන තාක්, අතීත වැරදි නිවැරදි කර නොගන්නා තාක්, මේ දූපතේ සැබෑ සංහිඳියාවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගිය නොහැක.
පස් යටින් මතු වන ඒ 341ක් වූ අස්ථි කොටස්, ජීවත්ව සිටින අප සැමගෙන් ප්‍රශ්න කර සිටින්නේ අපේම හෘද සාක්ෂියේ පළල් බව පිළිබඳවය. උතුරේ මිනී වළවල් දෙස දකුණ අඛණ්ඩවම දෑස් පියාගෙන සිටින්නේ නම්, එමඟින් නිර්මාණය කරන්නේ තවත් එවැනිම ප්‍රචණ්ඩකාරී, අඳුරු අනාගතයකට අවශ්‍ය කරන නිහඬ අනුමැතිය මිස අන් කිසිවක් නොවේ.