iMage: Kumanan
ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවැති බිහිසුණු සන්නද්ධ ගැටුම නිමාවට පත්ව දැන් වසර 17ක දීර්ඝ කාලයක් ගතවී අවසානය. යුද්ධයේ වෙඩි හඬ නිහඬ වුවද, ඉන් පීඩාවට, වින්දිතබාවයට පත් ජනතාවගේ හදවත් තුළින් නැගෙන වේදනාව තවමත් සුව වී නැත. විශේෂයෙන්ම, බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද සිය දහස් සංඛ්‍යාත සිය සමීපතමයින්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය හෙළිදරව් කර ගැනීමට ඔවුන්ගේ පවුල්වලට මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැත.
මෙම නිමා නොවී ඇති ගැඹුරු තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන යමින්, උතුරු සහ නැගෙනහිර පළාත් බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය (Association for Relatives of the Enforced Disappearances – North & East Provinces – ARED) විසින් 2026 ජූනි 19 දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. වසර 17ක් පුරා මෙරට දේශීය යාන්ත්‍රණයන් කෙරෙහි පැවැති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීම හමුවේ, ඔවුන් දැන් එකහෙළා ඉල්ලා සිටින්නේ ‘ජාත්‍යන්තර යුක්තිය’ පමණි.
කාලයත් සමඟ වැළලී යන යුක්තියේ හඬ
යුක්තිය සහ සත්‍යය පතා වසර ගණනාවක් උතුරු-නැගෙනහිර මහමඟ අඛණ්ඩව අරගල කළ වින්දිතයන්ගේ පවුල් මේ වන විට දැඩි පීඩාවකට, වේදනාවකට පත්ව සිටී. එම සංගමය සිය ලිපියෙහි ඉතා සංවේදී ලෙස මෙසේ සඳහන් කරයි:
“යුක්තිය වෙනුවෙන් සටන් කළ මව්වරුන්, පියවරුන් සහ ඥාතීන් හාරසියයකට වැඩි පිරිසක් තමන් ආදරය කළ අයගේ ඉරණම කුමක්දැයි නොදැනම මෙලොව හැර ගොස් ඇත. අප ද මෙලොව හැර යාමට පෙර, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ට සිදු වූයේ කුමක්දැයි සෙවීමට මැදිහත් වන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.”
මෙම ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ කාලය ගතවීමත් සමඟම සත්‍යය සහ වගවීම ඉල්ලා සිටින ප්‍රධාන සාක්ෂිකරුවන් වන මව්පියන් ලෝකයෙන් සමුගනිමින් සිටින බවයි. මෙය දේශීය යාන්ත්‍රණයන්හි පවතින අසාර්ථකත්වය සහ මන්දගාමී බව මැනවින් විදහා දක්වන තත්ත්වයක් බව කළක සිට ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මුණගැසී ඇති, මුණගැසෙන අත්දැකීමෙනි.
වන්දි මඟින් යුක්තිය උපායමාර්ගිකව යටපත් කිරීමේ උත්සාහය
ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන්ගේ ගැටලුවට සැබෑ සහ සාධාරණ විසඳුමක් ලබා දෙනවා වෙනුවට, එය හුදු පරිපාලනමය ක්‍රියාවලියක් හරහා වසා දැමීමට උපායමාර්ගිකව උත්සාහ කරන බවට වින්දිතයන්ගේ සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි. මරණ සහතික නිකුත් කිරීම සහ වන්දි ලබා දීම වැනි ක්‍රමවේද මඟින් සැබෑ වගවීම මඟහැරීමට රජය දරන උත්සාහය වින්දිත පවුල් එකහෙළා ප්‍රතික්ෂේප කරති.
ලිපියෙහි ඔවුන් අවධාරණය කරන්නේ:
“වන්දි ගෙවීම් මගින් යුක්තිය ප්‍රතිස්ථාපනය කළ නොහැක. සත්‍යය ඵලදායී ලෙස තහවුරු නොකර ලබා දෙන ඕනෑම වන්දියක්, වින්දිතයන්ගේ පවුල්වලට යුක්තිය ලැබීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීමකි.”
එසේම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය (ONUR) වැනි ආයතන සඳහා වෙන් කරන රාජ්‍ය සම්පත්, සත්‍යය සොයා ගැනීමට සහ වගවීම තහවුරු කිරීමට නොව, මෙම ප්‍රශ්නය පරිපාලනමය වශයෙන් හකුලා දැමීමට යොදා ගන්නා බවට ඔවුහු පෙන්වා දෙති.
නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ ආයතනික වෙනස් කොට සැලකීම
ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ද්විත්ව ස්වභාවය සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ආයතනික වෙනස් කොට සැලකීමේ (Institutionalized Discrimination) ස්වභාවය පැහැදිලි කිරීම සඳහා සංගමය විසින් මෑතකාලීන නිදසුන් ත්‍රිත්වයක් ඉදිරිපත් කර ඇත:
1) නීතියේ ලිහිල් බව: අනුරාධපුරයේදී 14 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබූ බෞද්ධ භික්ෂුවකට ඉතා පහසුවෙන් ඇප ලබා දීම.
2) ආගමික නායකයන්ට වෙනස් කොට සැලකීම: තමන්ගේ සාම්ප්‍රදායික ඉඩම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන දෙමළ ආගමික නායකයන්ට ආරක්ෂක අංශ විසින් නින්දා සහගත සහ අගෞරවනීය ලෙස සැලකීම.
3) ප්‍රකාශන නිදහස මර්දනය කිරීම: කිලිනොච්චි ප්‍රදේශයේදී තරුණයෙකු, ගීතයක් ගායනා කිරීම වැනි මූලික අයිතිවාසිකමකට අදාළ කරුණක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීම.
මෙම සිදුවීම් මඟින් හෙළිදරව් වන්නේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සියලු ප්‍රජාවන්ට සමාන ලෙස ක්‍රියාත්මක නොවන බවත්, රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වුවද ඒ වෙනුවට වඩාත් මර්දනකාරී නව නීති හඳුන්වා දීමට උත්සාහ කරන බවත් ය.
චෙම්මනි සමූහ මිනීවළ: නිහඬ සාක්ෂිවල හඬ
යුධ සමයේ සහ ඉන් පසුව සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ප්‍රබලතම සහ බැහැර කළ නොහැකි සාක්ෂියක් ලෙස චෙම්මනි සමූහ මිනීවළ පෙන්වා දිය හැකි බවට ඔවුන් පවසයි. එහි තෙවන අදියරේ කැණීම් වලදී මිනිස් ඇටසැකිලි 380කට වඩා හමුවීම,( ජූනි 22 වන විට 412කි) මෙම අපරාධවල බැරෑරුම්කම ජාත්‍යන්තරය හමුවේ නැවත වරක් තහවුරු කරන්නකි.
මෙය හුදු දේශීය විමර්ශනයකට පමණක් සීමා නොකර, ජාත්‍යන්තර අධීක්ෂණය සහ ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ (International forensic experts) සහභාගීත්වය මත පදනම් වූ විද්‍යාත්මක පරීක්ෂණයක් හරහා සත්‍යය තහවුරු කළ යුතු තීරණාත්මක සාක්ෂියක් බව සංගමය අවධාරණය කරයි.
ජාත්‍යන්තර ප්‍රජාව වෙත කෙරෙන මූලික ඉල්ලීම්
දේශීය විමර්ශන කෙරෙහි පවතින විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බැවින්, උතුරු සහ නැගෙනහිර පළාත් බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් පහත සඳහන් මූලික ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙස දැඩිව ආයාචනා කර සිටියි:
🔴 ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සහතික කිරීම.
🔴 චෙම්මනි ඇතුළු සියලුම සමූහ මිනීවළවල් ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ සෘජු සහභාගීත්වයෙන් පරීක්ෂා කිරීම.
🔴 මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් වගකීමට බැඳ තැබීම.
🔴 පීඩාවට පත් පවුල් සඳහා සත්‍යය, යුක්තිය සහ වගවීම මෙන්ම මූලික අයිතිවාසිකම් සහතික කිරීම.
🔴 මෙවැනි අපරාධයන් නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක, නීතිමය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
🔴 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු මූලික අයිතිවාසිකම් මර්දනය කරන නීති වහාම අහෝසි කර, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නව නීති සම්පාදනය කිරීම.
යුක්තියේ හඬ ජාත්‍යන්තරය හමුවට
මෙම ලිපිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ARED) සභාපති වයි. කනගරංජිනී (Ms. Y. Kanagaranjini) සහ ලේකම් සී. ජෙනිතා (Ms. C. Jenitha) යන මහත්මීන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇත. මෙහි පිටපත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත ද යොමු කර තිබේ.
වසර 17ක් පුරා දේශීය දේශපාලන පොරොන්දු සහ වන්දි ක්‍රමවේදවලට මුවා වී යටපත් කරමින් ඇති වින්දිතයන්ගේ යුක්තියේ හඬ, නැවත නැවතත් ජාත්‍යන්තරයේ හෘද සාක්ෂියට තට්ටු කරමින් සිටී. ශ්‍රී ලංකාව තුළ සැබෑ ප්‍රතිසන්ධානයක් සහ තිරසාර සාමයක් ඇති කිරීමට නම්, මෙම මව්වරුන්ගේ වේදනාවට සහ සාධාරණ ඉල්ලීම්වලට පරිපාලනමය විසඳුම් වෙනුවට ‘සැබෑ යුක්තිය’ ඉටු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
පහත පළවන්නේ ඔවුන් විසින් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ ලිපියයි!

