මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලබන්නේ 2010 ජනවාරි 24වනදාය. එතැන් පටන් ගතවූ දින 6000ක දීර්ඝ, වේදනාකාරී කාලය පුරාවට සිය ආදරණීයයා වෙනුවෙන්, දැඩි පීඩනයන් ද දරා ගනිමින් නොසැලී පෙනී සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ නම් දිරිය ගැහැණිය, පසුගිය 28වනදා බොරැල්ලේ දී පහන් දල්වා මාධ්‍යවේදී ප්‍රගීත් සිහිකිරීමටත්, සත්‍ය සහ යුක්තිය අවධාරණය කිරීමටත් විශේෂ මතකාවර්ජනයක් සංවිධානය කර තිබුණි.

මේ මතක පූජාව වෙනුවෙන් ඇය සමාජයට පොදු ආරාධනාවක් සිදුකර තිබුණේ සංවේදී පද කිහිපයක් පෙරදැරි කරගනිමිනි.

“දින 6000ක්….
ලේ කඳුලු දහදිය මත ගෙවීගිය
ඒ කාලය මත
මතක පද අමුනන්න
ඔබත් එහි එන්න
දැකුමත් දිරියක් ම වේ
මේ මතක පූජාවට…”

යුක්තිය පමාවීම සහ දඬුවම් නොලැබීමේ සංස්කෘතිය

දින 6000ක් පුරාවට සිය ආදරණීයයා සොයා යන මේ ධෛර්යවන්ත ගැහැණිය, එදින අදහස් දක්වමින්, වත්මන් යුක්තිය සොයා යන ක්‍රියාවලියේ පවතින ගැටලුකාරී ස්වභාවය සහ ඉන් යුක්තිය ඉටුවීමට ඇති බාධා ඉතා පැහැදිලිව පෙන්වා දුන්නාය.

“මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ නඩුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. හමුදා නිලධාරීන් නිවැරදි තොරතුරු ලබා දුන්නේ දැයි මම දන්නේ නැහැ. ඇතැමුන් පැවසුවේ තමන්ට ඇතැම් තොරතුරු අමතක වී ඇති බවයි. මෙයින් පෙනී යන්නේ යුක්තිය පමා කළ නොහැකි බවයි.
යුක්තිය පමා වුවහොත් අපරාධකරුවන්ට දඬුවම්වලින් නිදහස් වීමේ අවස්ථාව හිමිවෙනවා”.


අනාගත පරපුර උදෙසා නිදහස් අවකාශයක්

සිය සැමියාට යුක්තිය ඉටුකරවා ගැනීමෙන් පමණක් ඇගේ අරමුණ නතර වන්නේ නැත. මේ රට තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කළ සියලු දෙනා වෙනුවෙන්ම යුක්තිය ඉටුවිය යුතු බවත්, ලංකාව වෙළාගෙන ඇති අපරාධවලට දඬුවම් නොලබා සිටීමේ අඳුරු සංස්කෘතිය අවසන් විය යුතු බවත් ඇය තරයේ විශ්වාස කරයි.

ඇය සිය අදහස් දැක්වීමේ දී, බලාපොරොත්තු සහගත, එහෙත් බලධාරීන්ට ප්‍රබල පණිවිඩයක් ඉතිරි කළේය.

“අපි, දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය අවසන් කර අනාගත පරපුරට මේ රට භාර දිය යුතුයි. මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කළ හැකි අවකාශයක් අප නිර්මාණය කළ යුතුයි. ප්‍රගීත්ගේ නඩුවේ අවම වශයෙන් පළමු පරිච්ඡේදයවත් මේ වසර අවසානය වන විට අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, ඉන් පසුව අපට ඊළඟ පියවර ගැන සිතිය හැකියි”

දින 6000ක්…!

දිනයක්, දෙකක් නොව, දින 6000ක් පුරාවට, එනම් වසර දහසයහමාරකටත් වැඩි කාලයක් පමාවන යුක්තිය හමුවේ ඕනෑම මිනිසෙකු ඇද වැටිය හැකි වුවත්, සන්ධ්‍යා එක්නැලිගොඩ නම් වූ ඒ දිරිය ගැහැණිය තවමත් නොසැලී නැගී සිටින්නීය. සිය ආදරණීය සැමියාගේ අතුරුදහන් වීමෙන් ඇතිවූ හදවත පාරන වේදනාවත්, කඳුළු සහ දහදියත් දිරියක් කරගත් ඇය, තනිවම නොවේ සමස්ත සමාජයක් වෙනුවෙන්ම අඳුරට එරෙහිව යුක්තියේ පහන්සිළු දල්වමින් සිටින්නීය.

දින 6000ක් තිස්සේ ඇය ඇවිද යන්නේ හුදෙක් ප්‍රගීත් සොයා යන පෞද්ගලික මාවතක පමණක් නොව, මේ පොළොවෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කර දැමූ සියලු දෙනාට යුක්තිය ඉල්ලන සහ මතු පරපුරට නිදහසේ හුස්ම ගත හැකි රටක් නිර්මාණය කිරීමේ අතිශය දුෂ්කර, එහෙත් උදාර වූ මානුෂීය අරගලයකය.

(iMage:Sandya Ekneligoda/ Facebook)

සම්පත් සමරකෝන් | Sampath Samarakoon