iMage: Karthee Hamsan
චෙම්මනී 3 වන අදියරේ අඛණ්ඩව සිදු කෙරෙන කැණීම් අතරතුර, සමස්ත මානව සමාජයේම හෘද සාක්ෂිය සලිත කරවන සුලු භීෂණාත්මක, සංහාරයක තවත් සාක්ෂියක් මතු විය. ඒ, 429 වන මිනිස් ඇටසැකිල්ලයි. (38 වන දිනය – 2026 ජූලි 20) සාමාන්‍යයෙන් මිනී වළක සිරුරක් තිරස් අතට (වැතිර සිටින සේ) පස් යට සැඟවා තැබුවද, මෙම 429 වන ඇටසැකිල්ල සොයාගෙන ඇත්තේ ‘සෘජුව වාඩි වී සිටින’ අතිශය අසාමාන්‍ය සහ කම්පන සහගත ආකාරයටය.
විශ්ලේෂණයන්ට අනුව, මිනී වළක් තුළ මෙවැනි ඉරියව්වකින් සිරුරක් පැවැතීමට ප්‍රධාන කල්පිත කිහිපයක් බලපෑ හැකිය.
පණපිටින් වළදැමීමේ දරුණු හැකියාව: පුද්ගලයෙකු සිහිසුන්ව හෝ බරපතල ලෙස තුවාල ලබා සිටියදී, ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන්වී යාමට පෙර පස් දැමීම නිසා, පණ බේරාගැනීමේ අන්තිම උත්සාහයක් ලෙස පස් යටදී නැගී සිටීමට දැරූ තැතක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ඉරියව්වක් සටහන් විය හැක.
සිරුර අතහැර දැමූ ආකාරය: වධකාගාරයකදී හෝ ඝාතන භූමියකදී ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර වළ දැමීමේදී, එය පෙට්ටියක හෝ තිරස් අතට පිළිවෙළකට තැන්පත් නොකර, ඉතා පටු වළකට උඩින් පහළට අතහැර දැමීම නිසා සිරුර පහළට වැටී වාඩි වූ ස්වභාවයක් ගනු ලැබීම.
දෙපා නමා පස් දැමීම: අතිශය පටු ඉඩකඩක් සහිත පස් වළක් තුළට සිරුර තෙරපා දැමීමට යාමේදී, දණහිස් නැමී වාඩි වූ ඉරියව්වකට සිරුර තද වීම.
මෙය හුදෙක් තාක්ෂණික දත්තයක් පමණක් නොවේ. “සෘජුව වාඩි වී සිටින” ඒ අස්ථි සැකිල්ල, තමන්ට සිදු වූ අමානුෂික අවසානය සහ ඒ පිටුපස වූ රාජ්‍ය අපරාධකාරිත්වයේ තදබල බව ගැන කිසිවෙකුටත් වසන් කළ නොහැකි ලෙස ‘තවමත් නිහඬව ප්‍රශ්න කරමින් සිටින’ සජීවී සාක්ෂියකි.
මිනී වළක් තුළ වැතිර සිටින අස්ථි සැකිල්ලක් දෙස බැලීම පවා මිනිස් සිතකට දරාගත නොහැකි කම්පනීය අත්දැකීමක් වන මොහොතක, මෙලෙස ‘සෘජුව වාඩි වී සිටින’ ආකාරයේ අස්ථි සැකිල්ලක් දැකීම යනු අතිශය කම්පන සහගත මොහොතකි. එම ඉරියව්ව තුළ සටහන්ව ඇත්තේ මරණයට පත් වූවෙකුගේ නිශ්චල බව නොව, මරණයේ අවසාන මොහොතේ ඇති වූ අඳුරු බිය සහ වේදනාව හමුවේ ඒ මිනිසා අත්විඳි අසීමිත තැතිගැන්ම හා අසරණකමයි. සිරුර මතට පස් කඳු කඩා වැටෙද්දී හෝ පටු වළක් තුළ තෙරපෙද්දී, ඒ අවසාන තත්පර කිහිපයේදී එම හදවත නැඟූ අවසන් හුස්ම සහ පණ බේරාගැනීමේ මංමුළා වූ අරගලය දෙස බලන ඕනෑම සංවේදී මනුෂ්‍යයෙකුගේ හදවත තුළ ඇති වන්නේ හුදු අනුකම්පාවක් පමණක් නොවේ. එය සමස්ත මානව සංහතියේම පදනම දෙදරා හරින භීතියකි.
රාජ්‍ය නායකයන් “සහෝදරත්වය” සහ “ආචාරධාර්මික පැවැත්ම” ආදී දේවල් පිළිබඳ වේදිකා මත ‘ආදර’ කතා දොඩවන අතරතුර, පස් යටින් මතු වන මේ 429 වන ඇටසැකිල්ල අපගෙන් විමසා සිටින්නේ එකම එක ප්‍රශ්නයකි.
මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අමු අමුවේ පස් යට වළලා දැමූ රටකට, ඒ අපරාධ අතීතයට යුක්තිය ඉටු නොකර ශිෂ්ට සමාජයක් ලෙස ඉදිරියට යා හැකි ද? යන්නයි.
සම්පත් සමරකෝන්