සෑම වසරකම අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ‘බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර්ජාතික දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම යනු මනුෂ්‍යත්වයට එරෙහි අතිශය බියකරු අපරාධයක් බව මුළු ලොවටම මතක් කර දීමත්, ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ එවැනි ක්‍රියා යොදා ගැනීම වැළැක්වීමත් මෙම දිනයේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම, අපරාධකරුවන්ට දඬුවම් නොලැබීමේ සංස්කෘතිය (Culture of Impunity) අවසන් කර, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම මෙම අනුස්මරණයේ මූලික අපේක්ෂාව වේ.

මෙවර අනුස්මරණ දිනය නිමිත්තෙන්, උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය (ARED) විසින් සංවිධානය කරන ලද පාගමන සහ සම්මන්ත්‍රණය සඳහා දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවක් යාපනයට එක්රැස් වූහ. අතුරුදහන් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉටු කරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව ඔවුන් එහිදී එක හඬින් අවධාරණය කළහ.

එම වැඩසටහනේදී ‘සාක්ෂි මකා දැමීම’ නමින් කෘතියක් එළිදැක්වූ අතර එහි පෙරවදනෙහි එක් ස්ථානයක මෙසේ දැක්වෙයි:

“…අතුරුදහන් කිරීමට ලක් වූවන් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් විවිධ ජනාධිපති කොමිෂන් සභා සහ යාන්ත්‍රණ ස්ථාපිත කරන ලදි. ඒවා අතර උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාව, පරණගම කොමිෂන් සභාව මෙන්ම අවසානයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ද වේ.

බලපෑමට ලක්වූ ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම යාන්ත්‍රණ ප්‍රධාන වශයෙන් භාවිතා කර ඇත්තේ වින්දිතයන්ගේ කඳුළු පිසදමා අර්ථවත් යුක්තියක් ලබා දීම වෙනුවට, කාලය ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ලවන පීඩනය වෙනතකට යොමු කිරීම සඳහා උපකරණයක් ලෙසයි.”

කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය (ARED) විසින් 2017 පෙබරවාරි මාසයේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම දිස්ත්‍රික්කවල අඛණ්ඩ උපවාසයන් සහ සාමකාමී විරෝධතාවල නිරත විය. එහෙත් වසර 10කට ආසන්න කාලයක් පුරාවට කිසිදු සාධනීය, පිළිගත හැකි පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකාවේ බලයට පත් වූ කිසිදු පාලනයකට මේ වන තෙක් හැකියාව ලැබී නැත. අවම වශයෙන් යුද්ධයේ අවසන් කාලය තුළ රජයේ හමුදාවන් වෙත භාර වූ සහ දෙමාපියන් විසින්ම රජයේ හමුදාවන්ට භාර දුන් සිය දරුවන් පිළිබඳවවත් කිසිදු තොරතුරක් ලබා දීමට ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් වී ඇත.

‘සාක්ෂි මකා දැමීම’ කෘතියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි:

“…අඛණ්ඩ විරෝධතා හරහා අතුරුදහන් කිරීමට ලක්වූවන්ගේ පවුල්වලට වගවීම සහ අර්ථවත් පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇති බව හෙළිදරව් වී අවසානය. එහෙත් කාලයේ කුරිරු ගමන මෙම අරගලයේ කොඳුනාරටිය වූ මව්වරුන් සහ පියවරුන් ක්‍රමයෙන් උදුරා ගනිමින් තිබේ. 2017 වසරේ සිට මේ දක්වා අරගලයට සහභාගී වූ මව්වරුන් සහ පියවරුන් 400කට වැඩි පිරිසක් තම දරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය කිසිදා දැනගැනීමට නොහැකිව, යුක්තිය පිළිබඳ සිය පිපාසය ද රැගෙන මියගොස් ඇත.”

එම කෘතිය හරහා මෙන්ම, යාපනයට රැස්වූ දහස් ගණනක් දෙමළ මව්වරුන්, පියවරුන් ඇතුළු සියලු දෙනා ද නැවත නැවතත් බලකර සිටින්නේ සිය දරුවන් පිළිබඳ සත්‍යය හෙළිකර යුක්තිය ඉටුකරන ලෙසයි. එමෙන්ම, දේශීය යාන්ත්‍රණවල අසාර්ථකත්වය හමුවේ ජාත්‍යන්තර යාන්ත්‍රණ කෙරෙහි ඔවුහු දැඩි බලාපොරොත්තුවකින් පසුවෙති.

මන්ද යත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වල අසීමිත වේදනාව, මූලික අයිතිවාසිකම් සහ මානව අභිමානය නොසලකා හරිමින්, සත්‍යය හෙළිදරව් කිරීම සහ යුක්තිය ඉටුකිරීම මඟහරින කිසිදු දේශපාලන ක්‍රියාදාමයකින් ශ්‍රී ලංකාවට කල්පවත්නා සාමයක් හෝ ස්ථාවරත්වයක් ළඟා කරගත නොහැකි බැවිනි. පීඩිතයන්ගේ යුක්තිය උදෙසා වන සාධාරණ හඬ යටපත් කරමින් රාජ්‍යය විසින් සිදුකරනු ලබන හුදු අලංකාරික ප්‍රකාශ මෙන්ම අතීත අපරාධ ‘අමතක කර දැමීමට’ බලකරන පාලන උපක්‍රම හුදෙක් පලරහිත උත්සාහයන් පමණි. පැහැදිලිවම මෙය, රාජ්‍යය සිය අපරාධමය වගකීමෙන් සහ වගවීමෙන් මිදීමට දරන වංචනික ප්‍රයත්නයන්ය. කෙසේ වෙතත්, අතුරුදහන් කරවූවන්ට සත්‍යය සහ යුක්තිය ඉටුනොකර, ‘පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්’ ශ්‍රී ලංකා රාජ්‍යයට උරුම කරගත හැකිද?