iMage: TG
1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුව, සත්තුරුකොණ්ඩන් ‘ බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර තුළදී සිදු වූ සමූලඝාතනය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ තැවරුණු, අතිශය කම්පන සහගත අපරාධමය පරිච්ඡේදයකි. මෙම දරුණු සංහාරයට වසර 36ක් ගතවන මේ මොහොතේත්, වින්දිතයන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයන් එකහෙළා ඉල්ලා සිටින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ අහිමි කර ඇති යුක්තියයි.
ඛේදවාචකයේ පසුබිම සහ අමානුෂික ස්වරූපය
සත්තුරුකොණ්ඩන්, පනිච්චෙයියඩි, පිල්ලයාරඩි සහ කොකුවිල් යන ගම්මාන වටලා, හමුදා කඳවුර වෙත රැගෙන එන ලද දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු (සමහර වාර්තා අනුව 186 දෙනෙකු) අමු අමුවේ ඝාතනය කර පුලුස්සා දමන ලදී. මරා දැමුණු පිරිස අතර වයස අවුරුදු 1ට අඩු බිළිඳුන් 5 දෙනෙකු සහ අවුරුදු 10ට අඩු දරුවන් 42 දෙනෙකු සිටි බව ද සඳහන් වෙයි.
මෙම සමූලඝාතනයෙන් දිවි ගලවා ගැනීමට හැකි වූ එකම පුද්ගලයා වූ කන්දසාමි ක්‍රිෂ්ණකුමාර්ගේ ඇසින් දුටු සාක්ෂිය හරහා අපරාධයේ බරපතලකම ලෝකයට අනාවරණය විය. සිදුවීම සිදුවන විට 27 හැවිරිදි වියෙහි පසු වූ කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් (Kandasamy Krishnakumar), බරපතල තුවාල ලබා ඉතා දුෂ්කර ලෙස ජීවිතය බේරාගන්නා විටත් ඔහුගේ මුළු පවුලම ඔහුට අහිමි වී හමාරය. පසුව ඔහු විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට (ICRC), මානව හිමිකම් කාර්ය සාධක බලකායට සහ ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් 1995 ජනවාරි 04 වැනිදා පත්කරන ලද විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ක්‍රිෂ්ණපිල්ලේ පාලකිඩ්නර්ගේ සභාපතිත්වයෙන් යුත් උතුරු නැගෙනහිර අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ මෙම ම්ලේච්ඡ ඝාතනය පිළිබඳ සවිස්තරාත්මක සාක්ෂි ලබා දෙන ලදී.
ලේ තැවරුණු ප්‍රබල සාක්ෂි
2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ‘මාට්‍ර්ම්’ (Maatram) වෙබ් අඩවියේ, සංස්කාරක සෙල්වරාජා රාජසේගර් විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝ වාර්තාවකදී, එවකට ත්‍රිකුණාමලය-මඩකලපුව රෝමානු කතෝලික දෙව්මැදුරේ බිෂොප්වරයා වශයෙන් සේවය කරමින් සිටි ආචාර්ය කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා සිය බිහිසුණු අතීත මතකයන් විස්තර කර තිබිණි. එහි එක් ස්ථානයක මෙසේ දැක්වෙයි:
“…සියල්ල පුළුස්සා දමා තිබුණි. නමුත් සම්පූර්ණයෙන් පිළිස්සී නොගිය තත්ත්වයේ හිස්කබල් සහ ශරීර අවයව විසිර පැතිර තිබුණි. එවේලෙහි, මාව එහි රැගෙන ගිය හමුදා කර්නල් පර්සි ප්‍රනාන්දු, ‘අපිට කණගාටුයි. අපේ මිනිස්සු තමයි මේක කළේ. ඒ නිසා මම සමාව ඉල්ලන්න ඕනේ’ කියලා මට කිව්වා.”
මෙම අපරාධය පිළිබඳ දැනගත් වහාම මැදිහත් වීම් කළ අයකු වූ එම පියතුමා, තවදුරටත් මාට්‍ර්ම් වෙබ් අඩවිය සමඟ මෙසේ පවසා තිබිණි:
“ජීවිතය බේරාගත් එක්කෙනෙක් අපිට කිව්වා මිනිසුන්ගේ ගෙවල් හා මිනිසුන් ගිනිබත් කළා කියලා. අපි ඇහුවා කවුද ගිනි තිබ්බේ කියලා. එයා කිව්වා, ‘මිලිටරියෙන් නැතුව වෙන කවුද’ කියලා. ඒ හැම කෙනෙක්වම පුච්චලා දාලා තියෙනවා,” යනුවෙන් පියතුමා මාට්‍ර්ම් වෙබ් අඩවියට පවසා තිබුණි.
මෙම සිදුවීම පිළිබඳව සොයා බැලිය යුතු බවට තමන් කළ ඉල්ලීමෙන් පසු, අදාළ හමුදා නිලධාරියා ද අපරාධය සිදු වූ ස්ථානයට පැමිණීමට එකඟ වූ බව ආචාර්ය කිංස්ලි ස්වාමිපිල්ලේ රදගුරුතුමන් සඳහන් කරයි.
“අපි එතැනට ගියාම, දිවි ගලවාගත් පිරිස අපට ලබා දුන් තොරතුරු සම්පූර්ණයෙන්ම සත්‍ය බව තහවුරු වුණා.”
එහිදී මිනිස් හිස්කබල් සහ ශරීර කොටස් ගොඩගසා ගිනි තබා තිබෙන අයුරු රදගුරුතුමන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඇතැම් හිස්කබල් සහ ශරීරාංග ඒ වන විටත් සම්පූර්ණයෙන් දැවී ගොස් නොතිබූ බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ස්ථානීය පරීක්ෂාවට එක්වූ හමුදා නිලධාරියා ද මෙම භීෂණකාරී දර්ශනය දැක දැඩි ලෙස කම්පනයට පත්වූ බව රදගුරු ස්වාමිපිල්ලෛ පියතුමා පවසති.
“මේ ගැන මම දැඩි ලෙස කණගාටු වෙනවා. මේ අපරාධය සිදුකර තිබෙන්නේ අපේම පිරිසක්. ඒ වෙනුවෙන් මම සමාව අයැදිය යුතුයි,” යනුවෙන් එම නිලධාරියා(කර්නල් පර්ස් ප්‍රනාන්දු) ප්‍රකාශ කර ඇත.
එවිට, “අපට තිබෙන්නේ කණගාටුවක් පමණක් නොවෙයි, ලොකු කෝපයක්. මේ මහා විනාශයට ගොදුරු වුණේ අපේ ජනතාවයි. එමෙන්ම මෙම විනාශය වෙනුවෙන් නිසි ප්‍රතිකර්මයක් සහ සාධාරණයක් ඉටුකිරීම ඔබේ වගකීමක්,” බව තමන් ඔහුට ප්‍රකාශ කළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මෙම බරපතල අපරාධයේ දී දිවි ගලවා ගත් රත්තිනෙයියා ද මාට්‍ර්ම් වෙබ් අඩවිය හා පවසා තිබුණේ:
“හමුදා සොල්දාදුවන් හත් දෙනෙක් දැන් ස්මාරකය ඉදිකර ඇති හන්දියේදී නවතින ලෙස කියමින් අපි දෙසට ආවා. මට තේරුණා ඔවුන්ගෙන් ගැලවෙන්න බැහැ කියලා. මම මගේ පාවහන් ගලවලා, පඳුරු වගේ තිබුණු වියළි වැවකට බැස්සා. මට හිතුණා මේ විදිහට බඩගාගෙන ගියොත් ඒවායේ තියෙන පඳුරු මගේ අත්-කකුල් තුවාල කරයි කියලා. ඒ නිසා මම එක පාවහනක් දණහිසට සහ අනිත් එක අතට බැඳගෙන, ගහක් දෙසට බඩගාගෙන ගියා. මම මුළු රාත්‍රියම එහෙම හිටියා. ඊළඟ දවසේ උදේ 7 වෙනකම් වගුරු බිමේ හැංගිලා හිටියා.
හමුදාව ජනතාව වටකර, ප්‍රධාන මාර්ගය දිගේ ‘බෝයිස් ටවුන්’ කඳවුරට අරන් යනවා මම දැක්කා. ඊට පස්සේ ‘එන්ඩ අප්පෝ… එන්ඩ අයියෝ…’ කියලා මිනිස්සු කෑ ගහනවා මට ඇහුණා, ඒ කෑ ගහන ඒවා රෑ 9 වගේ වෙනකං දිගටම ඇහුණා. ඒත් එක්කම ලොකු කළු දුමක් ඉහළට යනවා මම දැක්කා. ඒක පිච්චෙන ටයර්වලින් එන දුමක් බව මට තේරුණා. ඊට පස්සේ වුණේ මොනවද කියලා මම දන්නේ නෑ.”
ඔහුගේ මව, පියා, දියණියන් වූ සසිකලා, ප්‍රේමිලා, පුතා සුතාකරන්, සහ කාන්තන්, ජෙයක්කුට්ටි, නේසම්, තම්පිප්පිල්ලෙයි ඇතුළු පවුලේ නවදෙනෙකු රත්තිනෙයියාට අහිමි වී ගියේය.
රත්තිනෙයියා වැනි අති-දුෂ්කර වේදනාවන් මැද දිවි ගලවාගත් අතළොස්සකගේ සාක්ෂි මගින් හෙළිදරව් වන්නේ හුදෙක් ඉතිහාසයේ සිදුවූ අතීත සිදුවීමක් පමණක් නොවේ. එය වසර 36ක් පුරා නීතියෙන් සහ සුන්දර වචනවලින් සඟවා තබා ඇති රාජ්‍ය අපරාධයක ලේ තැවරුණු සත්‍යයයි. එපමණක් ද නොවේ, ඔවුන්ගේ අහිමි වූ පවුල්වල නාමයන් අදටත් යුක්තිය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක්ව ඉතිරිව පවතියි.
FULL VIDEO:
දේශීය යාන්ත්‍රණයේ අසාර්ථකත්වය සහ ‘දඬුවම් නොලැබීමේ සංස්කෘතිය’
ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් මෙම සමූලඝාතනයට වගකිවයුතු ප්‍රධාන වැරදිකරුවන් නිවැරදිව හඳුනා ගත් බව වාර්තා වුවද, වසර 36ක් පුරා මෙතෙක් කිසිදු සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීමක්, දඬුවම් පැමිණවීමක් හෝ වින්දිත පවුල් සඳහා අවම වශයෙන් වන්දියක්වත් ලබා දී නොමැත.(ඔවුන් අද ද වන්දි ලබා ගැනීමට වඩා ඉල්ලා සිටින්නේ යුක්තිය යි! ඒ බව තවමත් ශ්‍රී ලංකාව තුළ කිසිදු බළධාරියෙක් අවබෝධ කර ගෙන නැත.
මෙම තත්ත්වය තුළින් යළි යළිත් සනාථ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන ඇති ‘දඬුවම් නොලැබීමේ සංස්කෘතිය’ (Culture of Impunity) සහ දේශීය වගවීමේ යාන්ත්‍රණයන් කෙරෙහි පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
ක්‍රමානුකූල රාජ්‍ය මර්දනයක පුරුකක්
සත්තුරුකොණ්ඩන් සිදුවීම යනු හුදෙකලා සිදුවීමක් නොව, යුද සමයේ දියත් වූ පුළුල් රාජ්‍ය අපරාධකාරීත්වයේ තවත් එක් ලේ වැකි පුරුකක් පමණි. එපමණක් ද නොව, වර්තමානය වන විට මිනිස් ඇටසැකිලි 583ක් හමු වී ඇති ලංකාවේ විශාලතම සමූහ මිනීවල වන චෙම්මනී ඇතුළු අනෙකුත් ස්ථාන සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු නොවීම, ස්වාධීන ජාත්‍යන්තර අධීක්ෂණයක ඇති අත්‍යවශ්‍යතාව තවදුරටත් පැහැදිලි කරයි.
වින්දිත පවුල්වල සහ සිවිල් සංවිධානවල ප්‍රධාන ඉල්ලීම්
මේ අතර සත්තුරුකොණ්ඩන් සමූලඝාතනයෙන් වින්දිතභාවයට පත් වූවන්ගේ පවුල් සහ ඥාතීන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් මෙසේය:
• හිටපු හමුදා කඳවුරු භූමිය අධිකරණ වෛද්‍ය කැණීම්වලට ලක් කිරීම: දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද ‘බෝයිස් ටවුන්’ (Boys Town) හමුදා කඳවුර පිහිටි ස්ථානය, සමූහ මිනීවළවල් පවතීදැයි පරීක්ෂා කිරීමට සහ වින්දිතයන්ට සිදු වූ දේ තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය කැණීම්වලට (Forensic excavation) ලක් කළ යුතුය.
• ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වය ලබා ගැනීම: සමූහ මිනීවළවල් පරීක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව, මෙම කැණීම් සහ ඒ ආශ්‍රිත සියලුම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයන් ඉදිරියේ සහ ඔවුන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ යුතුය.
• ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමු කිරීම: මෙම ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නඩු පැවරිය හැකි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) හමුවට මෙම නඩුව ඉදිරිපත් කළ යුතුය, නැතහොත් වෙනත් සුදුසු ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයකට යොමු කළ යුතුය.
මීට අමතරව, දේශීයව සාධාරණත්වය සහ යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණයන් අසාර්ථක වී ඇති බැවින්, විශ්වසනීය ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගෙන් සහ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ද වින්දිත පවුල් ඉල්ලා සිටී.
නැවත නැවත් කිව යුතුය,
සත්තුරුකොණ්ඩන් සමූලඝාතනය යනු අතීතයේ සිදු වූ තවත් එක් අපරාධයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින ව්‍යුහාත්මක අපරාධකාරීත්වය පිළිබඳ ප්‍රබල දර්ශකයකි. විනිවිදභාවයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් සහ විධිමත් වගවීමක් තහවුරු නොකර, අතීතයේ සිදු වූ මෙවැනි ලේ වැකි අපරාධ අමතක කර දැමීමෙන් සැබෑ සහජීවනයක් හෝ යහපත් අනාගතයක් කරා ගමන් කළ හැකිද යන්න මුළු මහත් සමාජයම තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.
පසු සටහන
මෙවැනි සාක්ෂි සහිත අදහස් ඇති ලිපියක් ප්‍රසිද්ධ කිරීමේදී ඇතැම් අය පවසන්නේ අතීතයේ සිදුවූ දේවල් අමතක කරන අනාගතය දෙස බලමු කියාය. එය එසේ නොවේ,
අතීත පාඩම් අමතක කර අනාගතය දෙස බැලිය යුතු බවට නැගෙන මතුපිට තර්කය යනු, අලු යට ගිනි තබාගෙන සහජීවනය සෙවීමට දරන අසාර්ථක උත්සාහයකි. මන්දයත්, සිදු වූ බරපතල අපරාධයන්ට යුක්තිය ඉටු නොකොට, වගකිවයුත්තන් දඬුවම් නොලැබීමේ සංස්කෘතිය (Culture of Impunity) තුළ නිරුපද්දිතව වැජඹීමට ඉඩ හරින සමාජයකට ශිෂ්ට, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් අත්පත් කරගත නොහැකි බැවිනි. අතීත අපරාධ ලේඛනගත කිරීම සහ වගවීම අවධාරණය කිරීම යනු වෛරය වපුරාලීමක් නොව, එවැනි අපරාධ අනාගතයේදී නැවත සිදු නොවන බවට කෙරෙන ආයතනික සහ සමාජීය සහතිකයයි. එබැවින්, අතීත අපරාධයන්ට විනිවිදභාවයෙන් යුත් යුක්තිය පසිඳලීම යනු හුදෙක් අතීතයට අයත් ප්‍රශ්නයක් නොව, විධිමත් රාජ්‍ය වගවීම සහ සැබෑ මානව ගෞරවය සහිත ශිෂ්ඨ අනාගතයක් ගොඩනැගීමේ පූර්ව කොන්දේසියයි.
තවදුරටත් පරිශීලනය සදහා බලන්න
* சத்துருக்கொண்டான் படுகொலை: சாட்சியங்கள் பேசுகின்றன… (Video) here
* Sri Lanka Massacre ( In 1990, 184 Tamils were killed by the Sri Lankan army at Batticaloa in the east of the island during the civil war between the Sinhala majority and the Tamil minority. Farhana Haider has been speaking to the Bishop of Batticaloa, Kingsley Swampillai.) here
*නැගෙනහිර විජයබා සංහාරය: යුක්තිය නොදුටු තිස් වසක මතකය here
* Sathurukkondan families demand ICC referral 36 years on here
