iMage: newswire

ඕනෑම රටක රාජ්‍ය බලයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මැන බැලෙන ප්‍රධානතම එක් මිනුම්දණ්ඩක් වන්නේ නීතියේ ආධිපත්‍යයයි. එය තෝරාගත් විෂයයන්ට හෝ තෝරාගත් පුද්ගලයින්ට පමණක් සීමා වන්නක් නොවිය යුතුය. එහෙත්, පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට බැඳී සිටින ‘රාජ්‍ය යාන්ත්‍රණයම’ තුළම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැනි බරපතල අපරාධයන්ට පුරවැසියන් ගොදුරු වීම සමාජයක දරුණුතම කඩා වැටීමකි. තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයෙකුට (ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය) අධිකරණය හමුවේ සාක්ෂි දීමට සිදුවීමම, අපරාධකාරී රාජ්‍යයක සැබෑ ස්වභාවය හා ගැඹුර පැහැදිලි කරදෙන හොඳම නිදසුනකි.

රාජ්‍යයක ජනාධිපතිවරයා හෝ අග්‍රමාත්‍යවරයා යනු සමස්ත රාජ්‍යයේම ප්‍රමුඛ පුරවැසියා ලෙස කියැවෙයි. එවන් මුහුණුවරක් දරන ඉහළම විධායක නිලධාරියෙකුට අතුරුදහන් වූ තරුණයින් සම්බන්ධයෙන් අධිකරණයක් හමුවේ ‘සාක්ෂිකරුවෙකු’ ලෙස පෙනී සිටින්නට සිදුවීම සුළුපටු කාරණයක් නොවේ. එයින් මතු කෙරෙන්නේ හුදෙක් එක් පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අපරාධකාරී ස්වභාවයකින් සහ අතීතයේ පැවති අදූරදර්ශී පාලන ක්‍රමවේදවලින් වෙළී තිබූ ආකාරයයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම යනු සරල අපරාධයක් නොවේ. එය පුද්ගලයෙකුගේ ජීවිතය, පවුලක අනාගතය මෙන්ම මුළු මහත් සමාජයකම ආරක්ෂාව පිළිබඳ විශ්වාසය පළුදු කරවන දැවැන්ත අපරාධයකි. රාජ්‍ය බලය යොදාගනිමින් පුරවැසියන් අතුරුදහන් කිරීමට හෝ එවැනි ක්‍රියාවලට මග පෑදීමට පසුබිම සකස් වී ඇත්නම්, එමගින් පෙන්නුම් කරන්නේ එම රාජ්‍යය තවදුරටත් පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොව, “අපරාධකාරී රාජ්‍යයක්” බවට පත්ව තිබූ බවයි.

තවත් අතකින්, හිටපු රාජ්‍ය නායකයෙකු අධිකරණය හමුවට කැඳවීම තුළ අපට දැකිය හැකි තවත් පැත්තක් තිබේ. එකම්, කෙතරම් ඉහළ බලයක් හෙබවූව ද, කුමන තරාතිරමක අයෙක් වුවද නීතියට ඉහළින් සිටිය නොහැකි බවත්, ප්‍රමාද වී හෝ නීතිය හමුවට පැමිණීමට සිදුවන බවත් තහවුරු වීමයි. (නමුත් එය ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ඉතා දුර්ලභ සිදුවීමක් වුවත්, එමගින් එහි ඇති වැදගත්කම කිසිසේත් අඩු නොවේ.)

අවසාන වශයෙන්, මෙවැනි සිදුවීම් අතීතයේ සිදු වූ එක් සිදුවීමක් යන්න පමණක් යැයි සිතමින් නිහඬ විය හැකි තත්ත්වයක් නොවේ. එය වර්තමානයේ මෙන්ම අනාගත පාලකයින්ට සහ සමස්ත සමාජයටම දෙනු ලබන ප්‍රබල අනතුරු ඇඟවීමකි. සිය බලය යනු පුරවැසි මර්දනය සඳහා යොදාගත හැකි ආයුධයක් නොවන බවත්, යම් දිනෙක තමන් කළ කී දෑ හමුවේ වගවීමට සිදුවන බවත් මෙයින් මනාව පැහැදිලි වේ. මෙවැනි අතීත පාඩම් හරහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමත්, මානව හිමිකම් සුරකින, අපරාධවලින් තොර රාජ්‍යයක් ගොඩනැගීමත් කළ යුත්තේ තෝරාගත් පුද්ගලයින්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් නොවේ. එවැනි රාජ්‍ය අපරාධ යළි සිදුවීම වළක්වා ගත හැක්කේ රාජ්‍යය තුළ සිදුකරන ලද සියලු අපරාධයන් සම්බන්ධයෙන් පක්ෂපාතීත්වයකින් තොරව විනිවිදභාවයකින් යුතුව සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමෙන්ම පමණි.

පසුසටහන

මෙම ලිපිය ලිවීමට හේතු වූයේ, දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට Online ඔස්සේ සාක්ෂි දීම සඳහා, ජනතා නැගීසිටීම් හමුවේ ධුරයෙන් පලාගිය, හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, ඊයේ (29) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණීමේ පුවතයි.

තවද, වසර 16කට ආසන්න දීර්ඝ කාලයක් තිස්සේ නොසැලෙන ධෛර්යයෙන් යුතුව, නීතිමය හා සමාජයීය අභියෝග හමුවේ වුව ද, ලලිත් සහ කූගන් වෙනුවෙන් යුක්තිය ලබාගැනීමේ සටනට උරදුන් නීතිඥවරුන්, දේශපාලන ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනාගේ නොපසුබට කැපවීම මෙසේ ගෞරවයෙන් සටහන් කර තබන අතර එය ලංකාවේ සිදුකරන ලද සියලුම බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ද අදාළ වීම කෙසේ වන්නේ දැයි අපි විමසිල්ලෙන් සිටිමු.

*අධිකරණයක් හමුවේ වරදකරු කරනු ලබන තෙක් ඕනෑම තැනැත්තෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ යන විශ්වීය නීතිමය පූර්ව නිගමනය සහ මූලධර්මය මෙහිදී ද එකහෙළා අවධාරණය කරමු. එය ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ට එකසේ අදාළ වන්නේය.

වසන්ත බණ්ඩාර ‍| Wasantha Bandara