iMage: ScreenShot/ AKD facebook

[ආණ්ඩුවේ ද්විත්ව රංගනයේ මාරාන්තික උපතෝකෝටිකය]

වේදිකා මත සහ අයවැය කථිකා තුළ ‘පුනරුදය’ සහ ‘ජාතීන් අතර සංහිඳියාව’ වෙනුවෙන් මිලියන ගණනින් මුදල් වෙන් කරන බවට හඬ නගන ආණ්ඩුවක්, මහපොළවේදී දෙමළ ලේඛකයෙකුගේ පොත් රේගුවේ සිරකර තබාගෙන ප්‍රකාශනයේ නිදහස අමු අමුවේ මර්දනය කිරීමේ නරුම යථාර්ථය මේ වන විට ලෝකය හමුවේ නග්න ලෙස හෙළිදරව් වෙමින් ඇත.

පසුගිය නොවැම්බර් 12වන දින ඉදිරිපත් කළ 2027 අයවැය යෝජනාවලිය හරහා ‘විවිධ ජාතීන් හා ආගම් සමඟ බැඳුණු කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන කටයුතු වෙනුවෙන්’ රුපියල් මිලියන 7,000ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. (එය ඉතා හොද තත්ත්වයකි.. නමුත්..) සංස්කෘතික හා කටයුතු ප්‍රවර්ධනය පිළිබඳ රජයේ මහා පරිමාණ දැක්ම එය වුව ද, සැබෑ තත්වය කොපමණ දුරට පරස්පර විරෝධීද යන්න මැනවින් තහවුරු වන්නේ ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති සමඟ සිදුවෙමින් ඇති ඛේදනීය තත්ත්වයෙනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශය සහ දින 32+ක මාරාන්තික, නරුම නිහඬතාව

තම මව්භාෂාව වන දෙමළ භාෂාවෙන් රචනා කරන ලද දීපචෙල්වන්ගේ පොත් ශ්‍රී ලංකා රේගුව විසින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම නිසා ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එම පොත් වහාම නිදහස් කරන ලෙස පසුගිය ඔක්තෝබර් 12 වැනි දින නිල වශයෙන් ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළේය.

නමුත් අද වන විට (ඔක්තෝබර් 12 සිට හරියටම දින 32+ක් ගෙවී ගොස් ඇතත්), පුනරුද හෙවත් ජාතික ජන බලවේග ආණ්ඩුව (NPP) තවමත් ඒ සම්බන්ධයෙන් නරුම සහ නින්දිත නිහඬතාවක් අනුගමනය කරමින් ඇත. ආණ්ඩුව නිහඬ වුවද, එම නිහඬතාව පිටුපස ඇත්තේ බරපතල දේශපාලනික සහ සංස්කෘතික නරුමකමකි.

මිලියන 7000ක් ‘පුනරුදයක්’ සහ රේගු සිරගෙයි හිරකළ දෙමළ අකුරු

Page 55

විවිධ ජාතීන්ගේ කලා සාහිත්‍ය ප්‍රවර්ධනයට අයවැයෙන් මිලියන 7,000ක් වෙන් කරන බව පවසන ආණ්ඩුවක්, අනෙක් පැත්තෙන් දෙමළ ලේඛකයෙකුගේ පොත් රේගුවේ සිරකරමින් ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමත්, එම මර්දනයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිර්දේශ සතපහකට ගණන් නොගැනීමත් උභතෝකෝටිකයක් නොව නරුමකමකි.

එබැවින් මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පවා සතපහකටවත් මායිම් නොකරන ‘පුනරුද’ පාලනයක්, පුරවැසියන්ගේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?

‘පුනරුදයක්’ ගැන මොරදෙමින් පැරණි මර්දනකාරී යාන්ත්‍රණමේ කොටස් එළෙසම පවත්වාගෙන යාමට උත්සහා කරන මෙම අණ්ඩුව, ගෙවී ගිය අඳුරු පාලන තන්ත්‍රයන්ගෙන් වෙනස් වන්නේ හරියටම කොතැනින්ද?

පොත් දෙමළ භාෂාවෙන් වීම නිසා පමණක් ඒවා තුච්ච සැකයේ කඳවුරට කොටු කර, අත්තනෝමතික ලෙස වාරණය කරන පාලනයකින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කාටද?

අයවැය ලේඛනවල මිලියන ගණනින් මුදල් වෙන් කරමින් වේදිකා මත සංස්කෘතික පුනරුදයක් රඟදැක්වුවද, රාජ්‍ය යාන්ත්‍රණය තුළ තවමත් ඔඩුදුවා ඇති ‘දෙමළ විරෝධී ව්‍යුහාත්මක වෙනස්කොට සැලකීමේ’ නරුම පිළිවෙතින් අත සෝදාගන්නා තුරු, මෙම ‘පුනරුදය’ යනු හුදෙක් කඩදාසි මත ලියැවුණු තවත් එක් බොල් ප්‍රෝඩාවක් පමණක් වනු ඇත.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon