Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Colombo, Election, end of the War, Featured Articles, Features, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Matale, Matara, Moneragala, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Trincomalee

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්

‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක්

සනත් බාලසූරිය

යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි.

ඒ කඩඉම දක්වාත් ජනාධිපති රාජපක්ෂ දිව්වේ යුද්ධයේ ‛ජයග්‍රාහී අවසානය’ නිවේදනය කරමින් මාස දහඅටකට පෙර ටැංකිය පිටාර ගලන්නට ගැසූ තෙල්වලිනි. ඉන් එපිටට ලත් ජයක් ගැන කියන්නට යමක් නැතත්, ගතවූ මාස දහඅට පුරාවටම ඒ තෙලේ බලේ අල්ලා හිටියේ ය.

තෙලේ බලේ

ඒ කාලය තුළම යුද්ධයෙන් විනාශ වූ ජීවිත ඉන් ගොඩනොගත්තත්, ජාතිකත්ව අර්බුදයට දේශපාලන විසඳුමක් නොදුන්නේ වුවත්, යුද්ධය වෙනුවෙන් තදකරගන්නැ‛යි කී පටි තවතවත් තද කරන්නට මිස බුරුල් කරන්නට කිසිවක් ම නොකළේ වුවත්, විරුද්ධවාදීන්ගෙන් දිගින් දිගටම බිහිසුණු ලෙස පළිගත්තේ වුවත්, යුද්ධයකදී කඩවීම සාමාන්‍යය යි ඇතැමුන් සහතික කළ මානව හිමිකම් හා භාෂණයේ නිදහස ද ඇතුළු ප්‍රජාතන්තීය අයිතීන් යුද්ධයක් නැති තත්ත්වයක වුව ආගාධයට ම ගියත්, යුද අපරාධ චෝදනාගැන තබා දෙමළ දුක් අඳෝනා ගැන හෝ කිසිවක් ම නොකළත්, දෙවැනි දිවුරුම් දිනය දක්වා දුවන්නට මහින්දට ඒ තෙල් ප්‍රමාණවත් විය.

දැන් ඔහු සිය දෙවැනි ඉනිම අරඹා තිබේ. එහි තේරුම නම් අර මාස දහඅටකට පෙර ගැසූ තෙල් මෙතැනින් එපිටට ‛තිබුණත් එකයි නැතත් එකයි’ යන්න ය. ඒ බව මේ ඉනිම ඇරැඹුමේම තේරුම්ගැනීම කාගේත් හිතසුව පිණිස වනබව සටහන් කරමින්, දෙවැනි රාජපක්ෂ ධූරකාලය උදෙසා මේ කෙටි පෙරවදන ලියමි.

අළුත් ආණ්ඩුවක්

සිය දෑත් ශක්තිමත් කරන්නට ආ හැත්ත බුරුත්තේ ශක්තියෙන් දහඅට සම්මත කරගත් පසු ජනාධිපතිවරයා කීවේ සිය දෙවැනි දිවුරුම්දීමත් සමඟ අලුත් ආණ්ඩුවක් රටට දෙන බව ය. එහි සරල, ක්ෂණික අරුත වූයේ දෙවැනි දිවුරුමත් සමඟ කැබිනට් කුට්ටම අලුතින් ඇනෙන බව ය.
එහෙත් එය අර්බුදයක් බව කියැවේ. විපක්ෂයත් රාජපක්ෂ පාලනයට හීලෑ නොවූ (අතලොස්සක්) මාධ්‍යත් මේ තත්ත්වය හැඳින්වූයේ ආණ්ඩුව යට පැහැවන ගිනිකන්ද පුපුරා යාමට ඔන්න මෙන්න අවස්ථාවක් ලෙස ය. ආණ්ඩු විරෝධීහු එය රාජපක්ෂ පාලනයේ ගරාවැටීමේ ආරම්භය සලකුණු කරනු ඇතැයි පවා අදහනු පෙනිණි. එහෙත් කණගාටුවෙන් වුව කිව යුත්තේ එවැනි සිහින දකින්නන්ට අත්වන්නේ එළුවාගේ පශ්චාද් භාගයේ සරුවට එල්ලෙමින් තිබූ කිසියම් භාණ්ඩයක් හැලෙන තුරු පස්සෙන් ගිය නරියාට සිදුවූ දේ බව ය.

කලකිරීම්

ජනාධිපතිවරයා සිය දෙවැනි ධූරකාලයේ දිවුරුම්දෙන විට ශ්‍රීලනිප ප්‍රබලයන් අතර කලකිරීමක් වර්ධනය වී තිබූ බව ද, ආණ්ඩුවේ සැබෑ බලවතුන් අතර – රාජපක්ෂවරුන් අතරම පවා – බල අරගලයක් නිර්මාණය වී තිබූ බවද සැබෑවක් වීමට පුළුවන. එහෙත් මේ දෙවැනි ධූර කාලය ආරම්භය යනු එවැනි කිසියම් ම අර්බුදයක් වීනම් ඒ සියලු දෝෂ සෑහෙන කාලයකට දුරින්භූත වී යාමට නියමිත අවස්ථාවකි. එහි අරුත නම් ශ්‍රීලනිප ප්‍රබලයන් ජනාධිපතිවරයාට එරෙහිව ගසන කැරැල්ලකින් හෝ රාජපක්ෂවරුන් අතර කා කොටාගැනීමකින් රාපක්ෂ පාලනය සෙලවෙතැයි සිහින දැකීම නැවැත්වීමට කාලය හරි බව ය. එළුවා ගේ පශ්චාද් භාගයෙන් එල්ලෙන කිසි ම භාණ්ඩයක් දැන්ම ම හැලෙන්නේ නැත.

කොටින් ම කියතොත් තමන් අස්ථිර භාවයක හෙළන යම් හෝ අපහසුතාවක් පසුගිය බ්‍රහස්පතින්දායින් අවසන් වූ සිය පළමු ධූරකාලය අගදී ඔහු අත්වින්දේ නම් සිකුරාදායින් ඇරැඹි දෙවැනි ධූර කාලයේ ආරම්භක වසර කිහිපය තුළ ඔහු ඒ සියලු අපහසුතාවන්ගෙන් මිදී සිය ආධිපත්‍යය දැඩිව තහවුරු කරගනු ඇත. ඔහු අලුතින් ශක්තිමත් වී නව දේශපාලන තිරිහන් භාවයක් ලබනු ඇත. මෙය අවබෝධ කොට නොගෙන, ඔහු බලයෙන් පිරිහී ඇතැයි තක්සේරු කර ඔහුගේ ඊළඟ පියවරයන්ට ප්‍රතික්‍රියා දක්වන්නකුට අත්විය හැක්කේ භයංකර හා ඛේදජනක ඉරණමකි.

තිරිහන්වීම

ජනාධිපතිවරයා අලුතින් තිරිහන් වන්නේ කෙසේද යන්න කිසිවකුට අපැහැදිළි නම් ඒ ගැන ලුහුඩු පැහැදිළි කිරීමක් මෙසේ ය.
විධායක ජනාධිපති ක්‍රමය යටතේ අප වසර තිස් දෙකක් අත්දකින්නේ වෙනස් විදියක බල ව්‍යූහයකි. අගමැති ප්‍රමුඛ ආණ්ඩු ක්‍රමයක් පැවැති සමයේ අගමැතිවරයාට ආණ්ඩු ප්‍රධානියා වශයෙන් සිය ආණ්ඩු පක්ෂය සමඟ යහපත් සම්බන්ධයකට බලකැරුණු අතර, විශේෂයෙන් සිය කැබිනට් මණ්ඩලය සමඟ වන මනා සබඳතාව ඔහු ගේ පැවැත්මේ තීරණාත්මක සාධකයක් විය. ඒ අනුව ඒ ක්‍රමය තුළ අගමැතිවරයා සිය ආණ්ඩුවේ පුළුල් පිරිසක් සමඟ ගනුදෙනු කළ නායකයෙකි. ඔහු ගේ පැවැත්මත් ආණ්ඩුවේ පැවැත්මත් එකක් මිස දෙකක් නොවීය.

එහෙත් නාමික ආණ්ඩු බලයක් සිය පක්ෂයට ලබාගත් පසු විධායක ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයෙන් හෝ කැබිනට් මණ්ඩලයකින් වැඩක් නැත. විධායක ජනාධිපති ක්‍රමය විසින් රටට ප්‍රදානය කරඇත්තේ සීමිත කල්ලියක් වටකරගෙන රාජ්‍යය විචාරන පාලකයෙකි. මේ කල්ලිය ආණ්ඩුවේ කොටස්කාරයන් වන්නටත් නොවන්නටත් පුළුවන. කැබිනට් සගයන් වන්නටත් නොවන්නටත් පුළුවන. එහෙත් ඔවුහු අනිවාර්යයෙන් පාලකයා ගේ ගජමිතුරෝ වෙති. එතැන් පටන් රාජ්‍යය විචාරන්නේ මේ ගජමිතුරු කල්ලියට මැදි වූ පාලකයා ය. මෙය එදා පටන් අද දක්වා (විජේතුංග අහම්බය අත්හළ කල) සියලු ජනාධිපතිවරුන්ට/වරියන්ට සාධාරණ ය. (මේ සත්‍යය විපක්ෂයට අද අමතක වී ඇතිනම් මංගල සමරවීරගෙන් ඒගැන හොඳින් අසා දැනගත හැකි ය)

මෛත්‍රිපාලලා හා සිරිපාලලා

වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නම් මේ කල්ලිය පවුල ප්‍රධාන කොටගත් පවුලේ ගජමිතුරන් ගේ කල්ලියකි. පළමු ධූර කාලය අවසන ඔහු කිසියම් සසලවීමකට ලක් ව සිටියේ නම් පාසල් හා රජයේ කාර්යාල වසා, පාසල් වසරාවසාන විභාග පස්සට දමා, එකොලොස් ලක්ෂයක් ගස් සිටුවා, හන්දියක් හන්දියක් ගානේ කොඩි සේසත් බඳවා, රාජකීය කිරිබතක් පිස දවස් හතක් මඟුල් කා අලුත් ජවයකින් දෙවැනි දිවුරුම දුන් පසු, ඒ අපල උපද්‍රව සියල්ල දුරින්භූත වී ඔහු වසර ගණනාවකින් තිරිහන් වනු ඇත.

එ මහින්ද එරෙහිව මෛත්‍රීපාලලාට සිරිපාලලාට කරන්නට පුළුවන් ඉටිගෙඩියක් නැත. ජනාධිපතිවරයා මින් ඉදිරියට සැලකිලිමත් වනවා නම් ඒ සිරිපාලලා මෛත්‍රිපාලලා ගැන නොව සිය සොයුරු බැසිල් ගැන ය. බාප්පා පුතා අතර වරින් වර දෘශ්‍යමානයට එමින් යට යමින් තිබෙන සියුම් බල තරගයක ලකුණු පෙනේ. එහෙත් ඒ සීතල යුද්ධය අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩුව චොර වී යන්නට හේතු වේයැ යි යමකු සිතන්නේ නම් ඔහු දවල් සිහින දකින්නෙකි.

බැසිල් – ගෝඨා දෙබාන

මහින්ද ගේ ජනාධිපති මන්දිරයේ පළමු ගෘහනිර්මාණ ශිල්පියා බැසිල් බව දන්නෝ දනිති. ඒ මන්දිරය කල්පයකට හොල්ලන්නට බැරි ලෙස ශක්තිමත් කළ ගෘහනිර්මාණ ශිල්පියා ගෝඨාභය බව ද දන්නෝ දනිති. රාජපක්ෂ පාලනයේ ඊළඟ වසර කිහිපයේ වැඩි බරක් අදිනු ඇත්තේ දැනට දැඩි අනාගත දේශපාලන අභිලාශයක් නොපෙන්වන ගෝඨාභය වීමට හොඳටම ඉඩ ඇත. සිය මිලිටරි සිහිනය දකිමින් මිලිටරි යාන්ත්‍රණයට අනුව තමන්ට ඕනෑ ගැජට් බැජට් එහෙට මෙහෙට හරවමින් වැජඹෙන්නට හැකිනම් දැනට ගෝඨාභයට එය ප්‍රමාණවත් ය. ඒ ලාභදායී ප්‍රමෝදය රැකගනු වස් ඔහු අයියා ගේ ගෘහය ගරාවැටෙන්නට නොදී රැකගනු ඇත. සැබවින් ම මහින්ද ගේ ඊළඟ වසර කිහිපයට වඩා වැදගත් වන්නේ බැසිල් ගේ මොලෙන් දෙන ගේම් නොව ගෝඨාභය ගේ ඇඟෙන් දෙන ගේම් ය. බැසිල් සිය මොළෙන් දෙන ‛ආර්ථික ගේම්’ කොහොමත් අත් නොහරිනු ඇත. මන්ද ඒවා ‛විස්මිත සංවර්ධන ව්‍යාපෘති’ සේ ලේබල් වී ගජමිතුරු කල්ලියේ මලු පුරවනු ඇති බැවිනි.

ජනාධිපතිවරයකුගේ දෙවැනි ධූරකාලය කිසියම් සීමාවකට යටත්කොට තැබූ වාර දෙකේ වාරණය ද 18 වැනි සංශෝධනය යටතේ ගලවා ඇති තත්ත්වයක දෙවැනි රාජපක්ෂ ඉනිම මෙල්ල කිරීමේ හැකියාවක් මෛත්‍රීපාලලාට සිරිපාලලාට කොහෙන් ලැබෙන්නද?

වියහැක්කේ කුමක්ද?

ඉදිරි වසර කිහිපය තුළ රාජපක්ෂ පාලනය යටතේ සිදුවන්නට ඉඩ ඇත්තේ මොනවාද? ජාතිකත්ව අර්බුදයට කිසිදු දේශපාලන විසඳුමක් නොලැබෙනු ඇත. වැඩිම වුණොත් ඉන්දීය මහ ආණ්ඩුවේ ද ජාම බේරෙන කිසියම් අටමඟලයක් විසඳුමක වෙස් ගන්වා ඇටවෙන්නට ඉඩ ඇත. එය දෙමළ අභිලාශයන් අහළකටවත් ළං නොවනු ඇත. යුද්ධයෙන් වැනසුණු දෙමළ ජනයා ගැන කතාව එහෙම්ම ම යටපත් ව යනු ඇත. ‛දේශීය පොළොවේ උපන්’ විසඳුම් යාන්ත්‍රණයන් ඊට අවශ්‍ය සහතික ලියාදෙනු ඇත. දැනට ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් සෙයක් පෙන්වන ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් ගිනිකණ වට්ටන්නට රාජපක්ෂ පාලනයේ සංවර්ධන ඇස්බැන්දුම ප්‍රමාණවත් වනු ඇත. ගෝලීය ධනවාදයේ මංකොල්ලයට කොන්දේසි විරහිත අගුපිලක් බවට ලංකාවේ පොළොව පත්වන විට ‛මොනවා වුණත් ආර්ථික වර්ධනයක් තියෙනවා’ කියන තැනට ඔවුන් පසුබසින්නටත්, ඉන් අනතුරුව උල්ලංඝනය වූ මානව හිමිකම් නිකම්ම කංකෙඳිරියක් පමණක් වීමටත් ඉඩ ඇත.

දෙවැනි කාර්තුවේ රාජපක්ෂ පාලනයේ මුඛ්‍ය තේමාව වනු ඇත්තේ ‛සංවර්ධනය’ යි. එය කෙබඳු සංවර්ධනයක් ද යන්න දැනට සිදුවෙමින් යන ඇස්බැන්දුම්වලින් මොනවට පැහැදිළි වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ හෙවත් ගෝඨාභය ගේ මෙහෙයවීම යටතේ කොළඹ නගරයෙන් දුගී ජනයා හැට දහසක් පිටමංකිරීමට සියල්ල සූදානම් ය. එසේ හිස්කරගන්නා ඉඩම් විදේශිකයන්ට විකිණෙනු ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු උසස් අධ්‍යාපනයට වෙන් කැරෙන මුදල් කප්පාදු කැරෙන අතර විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල හැත්තෑ ගණනක් සිය කෑලිබෑලි රැගෙන මෙහි පැමිණෙනු ඇත. මීගමුවේ ධීවරයන්ගේ බඩරස්සාව අර්බුදයට යවමින් කලපුවට ‛සී ප්ලේන්’ බසිනු ඇත. ගංගොඩවල්වල බූරුපිටි සුද්ද කැරෙන අතර අභිනවයෙන් සංශෝධනය වූ සූදු පනතට අනුව සුපිරි සූදු පිටි ද, ඒ පසුපස එන සුපිරි ගණිකා ව්‍යාපාර ද ඇතුළු ජාවාරම් තහවුරු වනු ඇත. උතුරු නැගෙනහිර අවතැන් ජනයා දිගින් දිගටම අවතැන්ව සිටිය දී, ප්‍රදේශයේ වටිනා ම ඉඩම් ටික සංචාරක කර්මාන්තයේ නාමයෙන් කොල්ලකැවෙනු ඇත.

සංවර්ධන මායාව

කොටින් ම බහුතරය මිනිස් රොඩු බොඩු සේ සලකා ඉවත දැමෙමින් සංවර්ධනය නම් මායාව අහස පළාගෙන ඉහළ නැගෙනු ඇත. කුසගින්නේ සිටින්නන් ගේ ලේඛනගත නොවන සංඛ්‍යා ඉහළ යද්දී, දරු පරපුර අතර මන්දපෝෂණය ඉහවහා යද්දී, ආර්ථික වර්ධනය මනින බව කියන විවිධාකාර මිනුම් දඬු ලොව විස්මවමින් වේගයෙන් උඩයනු ඇත. ඒ අනුව ‛ආසියාවේ ආශ්චර්යය’ දැන් පහළ වී ඇතැයි පවසන දිනය වැඩි ඈතක නොවනු ඇත. රටෙන් කොටසක් අනාථ කඳවුරුවල වහලයේ හිල් අස්සෙන් මේ ආශ්චර්යය දකිණු ඇත. ඇතමකු බඩසයින් පෙළෙමින්ම ඊට ආවඩනු ඇත. තවත් පිරිසක් මන්දපෝෂණයෙන් බොඳකැරුණු දෑස් එදෙසෙ අයනු ඇත. ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට හසු නොවන වේගයෙන් වර්ධනව වන දුගීකමක් සඟවාගෙන ශීඝ්‍ර සංවර්ධනයක් කරායන රටක් ගැන පුරසාරම හුදී ජනයා ගේ කන්අඩි පලනු ඇත. මේ සමස්ත ක්‍රියාවලිය හරහා රාජපක්ෂ කල්ලියේ නෑ සනුහරය ද හිතමිත්‍රාදීහු ද හිතමිත්‍රාදීන් ගේ හිතමිත්‍රාදීහු ද සිය මලු යහමින් පුරවාගන්නවා ඇත.

මේ ක්‍රියාවලිය මෙසේ ගලාගෙන යනු ඇත්තේ ප්‍රතිරෝධයකින් තොරවද? නැත. විශ්‍රාමික විප්ලවවාදීන්, ලොම් හැළුණු පංචායුධ කුමාරයන්, සූදු පනතටත් ඉබේ අත එසැවුණු හෙළ උරුමක්කාරයන් හා ඕනෑ ම කසලක් කිසි අජූවක් නැතිව ගලායන කාණු කටවල්වල රැකවරණ මැද ගෝඨාභය ගේ මර්දන යන්ත්‍රය ඒ සියලු විරෝධයන් තලා දමනු ඇත. හීලෑ ජනමාධ්‍ය ද, නලාකාර කලාකාරයෝ ද ඊට හුරේ දමනු ඇත.

කලකිරීමෙන් ඉන්නා බව කියන මැති ඇමැත්තෝ ද ‛අනේ අපිටත් කරන්ඩ දෙයක් නෑනෙ’ යි තැන තැන කටු කුටු ගාමින් තමන්ගේ ම බෙල්ල කැපී යන පනතටත් අත උස්සනු ඇත.

කළහැක්කේ කුමක්ද?

එසේනම් කළ හැක්කක් නැතිද? කළ හැක්කක් කෙසේවෙතත් යළ යුත්තක් ඇත. එහෙත් ඒ කළයුත්ත කිරීමට නම්, සිදුවන්නට නියමිත දේ ගැන යථා අවබෝධයක් තිබිය යුතු ය. මේ කෙටි පෙරවදනේ අරමුණ ඒ ගැන අවධානය දැල්වීම ය.

මෙය බෙහෙවින් කටුක පෙරවදනක් සේ යමකුට හැඟෙන්නට ඉඩ ඇත. එහෙත් යථාර්ථය බොහෝවිට ප්‍රබන්ධය ද අභිබවා මිනිසා විස්ම ගන්වයි.