end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්

Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති කිරීම යි. ලෙයින් පෙඟුණු මළ සිරුරුවල රූප හැම අතකින් ම ඔබ පෙළයි. ජංගම දුරකථන කැමරාවක් ගැස්සෙමින් එහි මෙහි චලනය වෙද්දී, ඔබ දකින්නේ ඝාතනයට ලක් වුණු මිනිසෙකුගේ නෙරා ගිය දෑස් ය. ඔබට දැනෙන්නේ මංමුළා වුණු බවකි. තවත් නම් මෙය ඉවසිය නොහැකි යැයි සිතන විට ම, ඊළඟ රූප පෙළ ඔබ හමුවෙහි ය: තවත් මළ සිරුරක් දර්ශණය වෙයි, තවත් දරුවෙක් සිය මව ඉල්ලා හඬා වැටෙයි, තවත් මිනිසෙකුගේ දෑස් වසා බැඳ දැමෙයි, තවත් වෙඩිල්ලක් ඉහ මොළ පසාරු කර ගෙන යයි, ට්‍රක් රථයක මුදුනෙහි ඇසුරූ තවත් නිරුවත් මළ සිරුරක් සුන්බුන්ව ගිය මිනිස් මාංසවලින් මැඩී සිටියි.

අනතුරුව ඔබට උරුම වන්නේ අන්ධකාරය සහ නිහඬතාවය ය. අන් යමක් නො වේ.

එක්සත් ජාතීන්ගේ දේවස්ථාන මධ්‍යස්ථානයෙහි (Church Center) විදුලි පහන් ආලෝකවත් වෙද්දීත් නිහඬතාව අඛණ්ඩව පැවතී ගෙන ගියේ ය. Channel 4 ශ්‍රී ලංකා’ස් කිලිං ෆීල්ඩ්ස් නම් මතභේදාත්මක (සහ ඇතැම් විට උද්වේගකාරී) වාර්තා චිත්‍රපටය වැඩි හැල හොල්මනක් නැතිව තිරගත කෙරුණු අවස්ථාවට, රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්, එක්සත් ජාතීන්ගේ කාර්ය මාණ්ඩලිකයන්, වාර්තාකරුවන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පැමිණ සිටියහ. කෙටි විවේක කාල දෙකකින් තිරගත කිරීමට බාධා වුව ද තිරගත කිරීම අතරතුර වතුර වීදුරුවක් පානය කිරීම සඳහා හෝ තමන්ගේ උදෑසන කෝපි කෝප්පය නැවත පුරවා ගෙන ඒම සඳහා නැගිටින්නට තරම් නිර්භීත වූයේ නරඹන්නන් කිහිප දෙනෙකු පමණකි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ජොසී ලුයී ඩයස් (එතැන් පටන් ඔහු මෙහි (http://livewire.amnesty.org/2011/06/21/sri-lankas-killing-fields-shocking-the-un-into-action/ වෙබ් පිටුවෙහි) එම අවස්ථාව පිළිබඳව වාර්තාවක් ලියයි) සහ හියුමන් රයිට්ස් වොච්, ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් සංවිධානවල කථිකයෝ ද චිත්‍රපටයේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ද ඉන් අනතුරුව පැවති සාකච්ඡා මණ්ඩපයට මැදිහත් ක්‍රියා කළෝ ය.

‛‛ප්‍රේක්ෂක පිරිස මේ දැන් දුටු දේට තමන්ට එකතු කිරීමට තිබෙන්නේ ඉතා සුලු දෙයකැයි’’ මැක්රේ පැවසී ය.

“චිත්‍රපටකරුවන් හැටියට අපගේ කාර්යය වන්නේ සාක්ෂි රැස් කිරීම, චිත්‍රපටය නිර්මාණය කිරීමය…, ඊළඟට සිදු විය යුතු දේ අර්ථදැක්වීම අපගේ කාර්යය නෙවේ,” හේ කියා සිටියේ ය.

“යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි” ලෙස සිය චිත්‍රපටය හඳුන්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම කුරිරු උල්ලංඝනයන් සම්බන්ධයෙන් පිළිතුරු දීමට ආයතන තුනකට සිදු විය හැකි බව යි: එනම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, ජීවතුන් අතර සිටින දෙමළ කොටි නායකයන් සහ එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව යි. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇති කළේ ය යන අදහස ප්‍රතික්ෂේප කරමින් මැක්රේ මෙසේ ප්‍රකාශ කළේ ය: “ප්‍රශ්න තිබෙන්නේ එහි… යුක්තිය ඉටු කිරීමෙන් තොරව කිසි ම විසඳුමක්, කිසි ම සමගි සන්ධානයක් ඇති වෙන්න විදියක් නැහැ.”

ඊළඟට කතා කළේ එහි රැස් වුණු අයිතිවාසිකම් කණ්ඩායම්වල නියෝජිතයන් ය. ඔවුහු යුද්ධයට සම්බන්ධ දෙපාර්ශ්වය ම කළ උල්ලංඝනයන් සංක්ෂිප්තව විස්තර කළහ; විශේෂයෙන් ම, වසර ගණනාවක් තිස්සේ තමන් ලේඛනගත කර ගත් එල්ටීටීඊ මානව අයිතිවාසිකම් අපයෝජන ප්‍රභේදවලට වෙන් කළහ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ උපදේශක කමිටුවක වාර්තාව පදනම් කර ගෙන එක්සත් ජාතීන් සහ මහ ලේකම්වරයා පතුරු ගැසූ වත්මන් ආණ්ඩුව යටතේ පවත්නා දේශීය යන්ත්‍රණවල සීමාසහිතකම් ද පෙන්වා දුන් ඔවුහු යුද්ධයේ අවසන් අදියරවල කල්ක්‍රියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ය. මේ සියල්ලෙන් පසුව, ප්‍රශ්න ඇසීම සඳහා ප්‍රේක්ෂකයන්ට කෙටි අවස්ථාවක් ලබා දෙන ලදි. අත් කිහිපයක් එසවුණු මුත් පෙනී ගිය පරිදි බොහෝ දෙනා කිව යුත්තේ හෝ ඇසිය යුත්තේ කුමක් දැයි නොදැන සිටියහ. ප්‍රශ්න තුනක් ඇසූ පසුව, සාකච්ඡාවට ලක් වන චුදිතයන් අපරාධ ජාත්‍යන්තර අධිකරණයට යටත් බව ඩයස් ප්‍රේක්ෂක පිරිසට මතක් කර දුන්නේ, ඒවා පිළිබඳව පරීක්ෂා කිරීමට සහ ඒවාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ඕනෑ ම රටකට ඉඩ සලසමිනි. දේශීය වග වීමේ ක්‍රියාවලි නොමැති තත්ත්වයක් තුළ මෙය උරගා බැලිය හැකි මගක් වනු ඇතැයි හේ සඳහන් කළේ ය.

අනතුරුව තරමක් විස්මය දනවන යමක් සිදු විය. වාර්තා චිත්‍රපටයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ස්ථාවර දූත කණ්ඩායමේ මිනිසුන් දෙදෙනෙකුට-යුද අපරාධ පිළිබඳ චෝදනාවල දී නිරතුරුව සඳහන් කෙරෙන මිනිසුන් දෙදෙනෙකුට-අවස්ථාව ලබා දෙන ලදි.

පළමුව කතා කළේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන ය. ජාත්‍යන්තර ප්‍රජාව මෙම චෝදනා බැරෑරුම්ව සැලකිල්ලට නොගත්තේ මන්දැයි කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එසේ සිදු වූයේ ඒවා “මනා සාක්ෂි මත පදනම්” නොවුණු නිසා බව ය. කොහොනගේ ප්‍රතිචාරය චිත්‍රපටයේ සත්‍යවාදී භාවය ප්‍රශ්නයට බඳුන් නොකළේ ය; ඒ වෙනුවට එය ප්‍රශ්නයට ලක් කළේ නිෂ්පාදකයන්ගේ චේතනාවන් ය-අනෙක් අය ඉල්ලා සිටියේ පරීක්ෂණ පැවැත්වීම ය-ඔවුන්ගේ ප්‍රකාශවල සහ චිත්‍රපටයේ විස්තර ප්‍රකාශයේ නිරවද්‍ය භාවය ය. චිත්‍රපට නිර්මාණකරුවන් සහ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සිය ඉදිරිපත් කිරීමේ දී “චෝදනා” සහ “සාක්ෂි” පටලවා ගෙන ඇතැයි කී ඔහු චැනල් ෆෝව පිළිබඳව සඳහන් කරමින් මැක්රේ දෙසට හැරී, “සමහර විට එක් අවස්ථාවක රටින් පන්නා දැමීම ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටින්නට ඇතැ”යි තර්ක කළේ ය. 2008 සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය උතුරෙන් ඉවත් වුණු බව පිළිගනිමින් පවා කොහොන මෙසේ කියා සිටියේ ය: “දේශීය වශයෙන් බඳවා ගත් දුසිම් ගණනක් සේවකයන් බිම් මට්ටමේ දී එක්සත් ජාතීන්ට හිටියා,” නිරීක්ෂකයන් ලෙස අවසානය දක්වා ම “ඔවුන් එහි දිගට ම සිටියා.” හේ මෙසේ ද පැවසී ය: “ඇත්තට ම, අපට පෙනී යන හැටියට එක්සත් ජාතීන් මත් ඔවුන් ඉවත් කර ගත්තා.” අපට මෙසේ ඇසිය හැකි ය: දේශීය වශයෙන් බඳවා ගත් මෙම පිරිස නැවතී සිටියා නම්, නිරීක්ෂකයන් ලෙස ක්‍රියා කළ හැකි වන පරිදි ඔවුන්ට සිය ආරක්ෂාව සහ ජීවිත සම්බන්ධයෙන් ලබා දුන් සහතික මොනවා ද? කොහොන තව දුරටත් කියා සිටියේ අවසන් දිනය දක්වා ම ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙරළෙහි ස්ථානයක සිටි බව ය.

“නිවට දුෂ්නිරූපණ” යැයි තමන් කළ හැඳින්වීම මත හිඳ කොහොන පැවසුවේ, වාර්තා චිත්‍රපටය තව දුර නිරීක්ෂණවල සහ විශ්ලේෂණවල අවශ්‍යතාව මතු කරන බව යි:

මහජනයා ප්‍රකෝප කිරීම, ඔවුන් හැඟුම්බර කිරීම පහසු යි-ඒ වගේ ම, ඔබ ඒ වීඩියෝව තුළ මිය ගොස් සිටින සියලු පුද්ගලයන් ගණන් කළත් මා හිතන්නේ නැහැ ඔබට 100ක් හදා ගන්න පුළුවන් වේ ය කියා-මේකෙන් කියැවෙන්නේ නැහැ, වෙන කාට වත් තුවාල වුණේ නැහැ යි, වෙන කවුරුන් වත් මැරුණේ නැහැ යි කියන කතාවක්-වෙන අයට තුවාල වෙන්න ඇති, වෙන අය මැරෙන්න ඇති! ඒත් ඔබ වීඩියෝව තුළ තිබුණු හැම මළ සිරුර ම ගණන් කළත්, ඔබට 100ක් හදා ගන්න පුළුවන් වේ ය කියා මා හිතන්නේ නැහැ (අවධාරණය ඈඳිණ).

අනතුරුව පශ්චාත් යුද උතුර ගැන වාර්තා චිත්‍රපටය කරන ඍජු ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ කොහොන, චිත්‍රපටයේ එන යුද අපරාධ චෝදනා පිළිබඳව තමන් කළ නිෂ්ප්‍රභ කිරීමට අවසන් සැඳහුම් කිහිපයක් එක් කළේ ය: උනන්දු වන මෙම කාරණා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ආකාර ගණනාවකින් වගකීම භාර ගෙන ඇති බව ඔහු ස්ථිරව ප්‍රකාශ කර සිටියේ ය:

– උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමට “වගවීම පිළිබඳ කාරණා ඇතුළු ගැටුමේ සියලු පැතිකඩවල් සොයා බැලීමට විධිනියෝගය” ඇත.

– “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම වගවීම සම්බන්ධ යම් ගැටලු මතු කරන්නේ නම් ඒවා පිළිබඳව තව දුරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ ඒකකයක් පිහිටුවා ඇත.”

– “සොල්දාදුවන් නීතිය කඩ කර ඇති බව සනාථ කළ හැකි ඕනෑ ම සිදුවීමක්” පරීක්ෂා කරන බව කියැවෙන හමුදා ප්‍රකාශයක් කොහොන උපුටා දැක්වී ය. ඔහු මෙසේ සඳහන් කළේ ය: “එතරම් ම ප්‍රසන්න නොවූ සහ ඇතැම් විට රටේ අපරාධ නීතිය යටතට ගැනෙන සිදුවීම් අර තිරය මත අප දුටුවා. හමුදාව ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා, ඉදිරියේ දී තමන් එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව.”

කොටින් කිව හොත්, චිත්‍රපටය නීතිමය පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මතු කරන ක්‍රියාවන් හෙළිදරව් කරන බව පිළිගත් කොහොන, කුරිරු යුද ක්‍රියාවන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව දේශීය යන්ත්‍රණයන්-විශේෂයෙන් ම, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම සහ නීතිපති කාර්යාලය-තිබෙන බව ප්‍රකාශ කර සිටියේ ය. සමහර විට, මෙම යන්ත්‍රණයන් ක්‍රියාකාරී වන්නේ කිනම් දේශපාලනික යථාර්ථයන් තුළ ද-අධිකරණය දේශපාලනික පත් වීම්වලට යට වෙයි, සොච්චම් ප්‍රතිඵල ලද පරීක්ෂණ කොමිසම්වලින් සැදුම් ලත් දශක ගණනාවක්-යන්න මත එවැනි ප්‍රකාශ මුසාවන් බවට පත් විය හැකි ය. චෝදනාවලට මුහුණ පා සිටින්නේ ආණ්ඩුවේ සහ හමුදාවේ ඉහළ ම මට්ටම්වල නිලතල දරන පුද්ගලයන් ය. එහෙත් කොහොනගේ අවසන් කරුණෙන් කියැවෙන්නේ ඉදිරියේ දී හමුදාව ම පරීක්ෂණ සිදු කරන බව යි.

මෙම අඩුලුහුඬුකම් පෙන්වා දීමෙන් පැවසෙන්නේ ශ්‍රී ලංකාවට පරීක්ෂණ පැවැත්විය නොහැකි ය යන්න නම් එය “අතිශයින් ම පීතෘමූලිකවාදී” කතාවක් යැයි කොහොන ඉදිරිපත් කළ අදහස මීට පටහැණිව යන්නකි. හේ මෙසේ ද කී ය: “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෝ වෙන යම් සංවිධානයක් අබු ග්‍රයිබ් සිදුවීම් හෝ මේ මොහොතෙහි ට්‍රිපොලි නුවර සිදු වෙමින් පවතින්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනා කරන බවක් මා අසා නැහැ.” (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය-එක්සත් ජනපදය පරීක්ෂණ පවත්වා සුලු චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව පවා-අබු ග්‍රයිබ් සම්බන්ධයෙන් “ස්වාධීන පරීක්ෂණයක්” ඉල්ලා සිටි බව පහසුවෙන් ම අමතක කර දැමිණ.) මෙම කරුණ ඉදිරිපත් කිරීමෙන් තානාපතිවරයා කරන්නේ, චැනල් ෆෝ වාර්තා චිත්‍රපටයෙන් විස්තර වන සිදුවීම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ වෙනත් බරපතළ උදාහරණවලට සමාන කිරීමක් ද? ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය වංචා බස්වලින් මෙම ක්‍රියාවන් සාධාරණීකරණය වනවා ද, නැත් නම්, අඩු ගණනේ ඒවා සම්බන්ධයෙන් බැරෑරුම් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් වත් නැද්ද?

අවසන් වශයෙන් කොහොන මෙසේ කියා සිටියේ ය: “ශ්‍රී ලංකාව අඛණ්ඩව සිය ජාත්‍යන්තර වගකීම්වලට බැඳී සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිපදින බවත් අපගේ හමුදා භටයන්, අපගේ ආරක්ෂක හමුදාවන් සම්බන්ධයෙන් අඩුලුහුඬුකම් පවතින බව සොයා ගන්නා ඕනෑ ම අවස්ථාවක දී නිසි පියවර ගන්නා බවත් මා සහතික කොට කිව යුතු යි.”

එතැන් පටන් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය කොහොන එවේලේ කළ කතාවේ ලිඛිත සාරාංශයක් මෙහි පළ කර ඇත. කෙසේ වුව, පසු ගිය සතියේ පුවත් කියවීමෙන් පසුව බොහෝ ශ්‍රී ලාංකිකයන් හොඳින් දන්නේ ඔහුගේ කතාව නොවිය හැකි ය; ඒ ගෞරවය හිමි වන්නේ මේපර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ය.

තානාපතිවරයා වාද බිම සිල්වාට භාර දුන්නේ ය-රාජපක්ෂ ආණ්ඩුව පසු ගිය දෙසැම්බරයේ දී දූත කණ්ඩායමේ කොහොනගේ දෙවැනියා ලෙස සිල්වා පත් කර තිබිණ. ඔබට තිබෙන්නේ විනාඩි දෙකක් පමණක් යැයි ඩයස් මතක් කර දුන් නමුත් සිල්වා විනාඩි දහයකට ආසන්න කාලයක් කතා කළේ ය. සිල්වා පටන් ගත්තේ, චිත්‍රපටයේ දී තමන් 58 වන සේනාංකයේ ආඥාපතිවරයා ලෙස “හුවා දැක්වුණ” ද මෙම අවස්ථාවට සහභාගි වීමට වත් කතා කිරීමට වත් තමන්ට ආරාධනාවක් ලැබී නැති බව අවධාරණයෙන් සඳහන් කරමිනි. අනතුරුව ඔහු ක්‍රියා කළේ චැනල් ෆෝ වාර්තා චිත්‍රපටයට ආණ්ඩුව දැක්වූ මුල් ප්‍රතිචාරයේ ජීවමාන විකට රූපණයක් ලෙස ය. චිත්‍රපටය ව්‍යාජ ලෙස ප්‍රබන්ධ කළ එකක් බව කියා සිටි දූත කණ්ඩායම් දෙවැනියා, තමන් මෙම තීරණයට එළඹි ආකාරය ප්‍රේක්ෂක පිරිසට පැහැදිලි කර දුන්නේ ය. ඇසින් දුටු සාක්ෂිකරුවන්, අපරාධකාරයන් සහ ගොදුරු වූවන් කොටින් ලෙස හඳුන්වමින් ඔහු විවිධ අයුරින් ඔවුන්ගේ අනන්‍යතාවට ගර්හා කළේ ය.

මෙම “ව්‍යාජ ලෙස ප්‍රබන්ධ කිරීම” සඳහා සාක්ෂියක් ලෙස සම්පාදනය කෙරුණු එක් උදාහරණයක් පිළිබඳව අපි වඩා සමීපව විමසා බලමු. තවත් අය සමග අගලක සැඟවී සිටිය දී ස්ත්‍රියක කෑ ගසන රූපාවලිය චැනල් ෆෝවෙන් වැරදියට පරිවර්තනය කෙරී ඇතැයි සිල්වා කියා සිටියේ ය. සිංහල භාෂීය රූපාවලිය සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක් යැයි පැවසූ මුත් ඔහු කිසි ම උදාහරණයක් ඉදිරිපත් කළේ නැත. චිත්‍රපටය තුළ දී වැරදියට පරිවර්තනය කර ඇතැයි ඔහු සඳහන් කළ දර්ශනය මෙය ය (09:41):

‛‛වීඩියෝ කරන්න එපා”
”අනේ, බංකරේ ඇතුළට එන්න”
”මොකද්ද ඔයා ඔය වීඩියෝ එකෙන් කරන්න යන්නේ? ”
”ඒ ගොල්ලෝ හැමෝම මරණවා ”

“ඒ කියන්නේ මොකක් ද කියලා දෙමළ දන්න කෙනෙකුගෙන් අහන්නැ”යි යෝජනා කළ සිල්වා, ඊට ප්‍රතිචාර වශයෙන් පහත දැක්වෙන “පරිවර්තනය” ඉදිරිපත් කළේ ය:

“පහළට ඤඅගලට% බහින මේ මිනිස්සු කියන්නේ මේක රූපගත කරන්න එපැයි කියලා! මේක නිර්මාණය කරපු එකක්! මේක නිර්මාණය කරපු එකක්!”

චිත්‍රපටයේ විස්තර ප්‍රකාශකයා මෙම රූපාවලිය හඳුන්වා දෙන්නේ වීඩියෝ ශිල්පියාගේ අනන්‍යතාව-එම නිසා, එම පුද්ගලයා කොටි කැමරා ශිල්පියෙකු ද නැත් නම් සිවිල් වැසියෙකු ද යන්න (09:28) – තහවුරු කළ නොහැකි බව සඳහන් කරමින් වග චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය නරඹන්නන් දකිනු ඇත. කාරණය වන්නේ වීඩියෝ ශිල්පියාගේ අනන්‍යතාව නො වේ, අප දකින දෙය යි: එනම්, “ඒ ගොල්ලෝ හැමෝම මරණ” වේලාවේ, බංකරයට ඇතුළු වෙන්නැයි කැමරාකරුගෙන් ඉල්ලමින් බියෙන් කෑ ගසන ස්ත්‍රියකි. “ඒ ගොල්ලෝ” කවුරුන් දැයි නියම වශයෙන් සඳහන් කර නොතිබීම ප්‍රශ්නයක් නො වේ: ආයතනය හෝ සංවිධානය කුමක් වුව ද එය සටන්කරුවන් නොවන්නන් ඉලක්ක කර ගනිමින් සිටියි, එබැවින් මෙය විශ්වසනීය පරීක්ෂණයක අවශ්‍යතාව මතු කරයි.

උපශීර්ෂවල නිරවද්‍යතාව සහතික කර ගැනීම සඳහා නිෂ්පාදකයන් දෙමළ භාෂා පරිවර්තකයන් සතර දෙනෙකු සහ සිංහල භාෂා පරිවර්තකයන් පස් දෙනෙකු යොදා ගත් බවත් මෙම පරිවර්තනවල නිරවද්‍යතාව ස්වාධීනව පරීක්ෂා කෙරුණු බවත් මැක්රේ සඳහන් කළේ ය. සිල්වා කී දෙනෙකු යොදා ගත්තා ද? ඔහුගේ පරිවර්තනවල නිරවද්‍යතාව පරීක්ෂා කෙරුණා ද? සිල්වා කර තිබෙන්නේ ජාත්‍යන්තර ප්‍රේක්ෂක පිරිසක් රැවටීමට උත්සාහ කිරීම ද, එසේ නැත් නම් ඔහුගේ වැරදි පරිවර්තනයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් අවබෝධ කර ගැනීමට ඔහුට තිබෙන නොහැකියාව ද?

සාවද්‍ය නිරූපණ පිළිබඳ මෙම සුලු සුලු කරුණුවලින් කෙරෙන්නේ, මෙම චිත්‍රපටය සහ එක්සත් ජාතීන්ගේ උපදේශක කමිටු වාර්තාව තුළ දී ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලින්, එනම් සිල්වා කිසි සේත් ම අභියෝග නොකළ චෝදනාවලින්-විශේෂයෙන් ම, හිතාමතා ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් නොයවා සිටීම; රෝහල් සහ වෙනත් හමුදාමය නොවන ගොඩනැගිලිවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ සියල්ල අතරින් වඩාත් ම බරපතළ කාරණය වන යුද මුක්ත කලාප තුළට ගාල් කෙරුණු සිවිල් වැසියන් ඝාතනය කිරීමට තිබුණු අභිප්‍රාය-අවධානය වෙනතකට යොමු කිරීම යි. තමන් කළ ක්‍රියාවන්ගේ නීත්‍යනුකූල භාවය සහ එවැනි චෝදනාවලට මුහුණ දීමට සමත් ඔප්පු කළ හැකි සාක්ෂි නොමැති බව නිසැක ආණ්ඩුවකට ඒවා පිළිබඳව කතා කරන්නට කිසි බියක් සැකක් නැත. සිල්වාගේ හෙළිදරව්ව බඳු උපායෙන් ගැළවී යාම්වලින්, සත්තකින් ම ඔවුන් වසං කරන දේට වඩා වැඩි දෙයක් හෙළිදරව් වේ.

කතා කරන අතරවාරයේ ලියවිලි කට්ටලයක් එහා මෙහා වැනූ සිල්වා, ආණ්ඩුවට මෙම සාකච්ඡා මණ්ඩපය අවසන් වුණු පසු සම්බන්ධක (links) සහ විශ්ලේෂණය සැපයිය හැකි බව ප්‍රේක්ෂක පිරිසට දැන්වී ය. සිල්වාගේ සූදානමකින් තොර කතාවේ දිගකම නිසා ඔහුගේ කතාව අවසානයේ ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න ඇසීමට කාලයක් තිබුණේ නැත. එහෙත් රාජ්‍ය මාධ්‍ය මෙහි(http://www.dailynews.lk/2011/06/23/sec02.asp) ගෙන හැර පාන්නේ වෙනස් දෙයකි. කෙටියෙන් පිළිතුරු දීමට මැක්රේට අවස්ථාව ලැබිණ, ඒ සමගින් සභාව අවසන් විය.

ප්‍රේක්ෂක පිරිස ඉවත්ව යාමට සැරසෙද්දී දූත කණ්ඩායමේ මිනිස්සු දෙදෙනෙක් “ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය” යැයි සිල්වා ඔසවා පෙන්වූ ලියවිලි දෙක බෙදා හැරියේ ය.

දැන් අපි මෙම ලියවිලි විමසා බලමු: “සැලකිල්ලෙන් සිතා බැලිය යුතු කරුණු” මැයැති පළමු වැන්න, රූපාවලියේ වලංගු භාවය ප්‍රශ්න කරන ගමන් වාර්තා චිත්‍රපටයේ විස්තර ප්‍රකාශය විශ්ලේෂණය කරයි, ඒවා පසෙකින් එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වුණු සිවිල් වැසියන්ගේ ඡායාරූප දක්වයි. “තැති ගන්වනසුලු සත්‍යය හෙළිදරව් කිරීමේ දී චැනල් ෆෝවේ නිර්ලජ්ජිත භාවය” මැයැති දෙවැන්න ලබා ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙනි (http://www.defence.lk/new.asp?fname=20110619_01). යුද්ධය සාධාරණීකරණය කරන සහ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදකයන් හෙළා දකින සම්බන්ධක, ඡායාරූප සහ විස්තර ප්‍රකාශ ගොන්නක් ගෙන හැර පාමින්, ලියවිලි දෙක ම කොහොන සහ සිල්වා කළ එකිනෙකට නොගැළපෙන සැඳහුම් පුන පුනා සඳහන් කරයි-දෙවැන්න, ඔවුන්ගේ ව්‍යාපෘතිය එල්ටීටීඊ හිතවාදී, ශ්‍රී ලංකා විරෝධී විදේශීය ව්‍යාපාරයකට සම්බන්ධ කරන ඔප්පු කළ නොහැකි ප්‍රකාශ ඉදිරිපත් කරයි.

තිරගත කිරීමත් සාකච්ඡා මණ්ඩපයත් අවසන් වීමෙන් කෙටි වේලාවකට පසුව ආණ්ඩුව ක්ෂණික ප්‍රචාරක ප්‍රහාරයක් ගෙන ගියේ ය. ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය මාධ්‍ය සහ පන්දම්කාර පුවත්පත් වාර්තා චිත්‍රපටයේ රූපාවලිය ව්‍යාජ එකක් යැයි හෙළා දකින ප්‍රකාශ ගණනාවක් නිකුත් කළේ ය. අධිකරණ නියෝගයකින් බැහැරව සිදු වුණු ඝාතන වාර්තා කරමින් චැනල් ෆෝව කලින් වීඩියෝවක් නිකුත් කළ අවස්ථාවක කළාක් මෙන් ම, එය මෙම රූපාවලිය කොටින්ට සම්බන්ධ කරමින් අතිශයෝක්තියෙන් යුතු ප්‍රකාශ කරයි; දෙමළ දේශපාලන රැකවරණ පතන්නන් රූපාවලිය “ප්‍රබන්ධ කළේ” විදේශ සරණාගත තත්ත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා යැයි හමුදා ප්‍රකාශකයෙකු ලවා කියවන්නට තරම් මෑතක දී දුර ගොස් ඇත.

එවැනි සැඳහුම් ද එසේ ම අඟහරුවාදා චිත්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ කළ සැඳහුම් ද-මෙහි (http://www.dailynews.lk/2011/06/23/sec02.asp) සහ මෙහි (http://www.asiantribune.com/news/2011/06/23/new-york-dirty-intentions-channel-4-video-documentary-exposed) කර ඇති පරිදි-මහජන සම්බන්ධතා සම්බන්ධයෙන් විජයග්‍රහණයක් ලද බව කියා පාන්නට ආණ්ඩුවට ඉඩ හදා දී ඇත. එහෙත්, පෙනුණු පරිදි සහ ඇසුණු පරිදි, ප්‍රේක්ෂක පිරිස තුළ සිටි දූත කණ්ඩායමට අසම්බන්ධිත අය රූපාවලියෙන් වික්ෂිප්ත භාවයට පත් වූහ; පසුව සිදු වුණු කතාබහේ දී, කථිකයන් දෙදෙනා අතර තමන් නිරීක්ෂණය කළ වෙනස්කම් සඳහන් කළහ, ප්‍රශ්නයට බඳුන් කළහ. ඔවුන් කොහොන දුටුවේ, ඒත්තු යනසුලු තර්ක ඉදිරිපත් නොකළත් දේවල් සිදු වන ආකාරය අවබෝධ කර ගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ය; අනෙක් අතට, ඇතැමුන් සිල්වා විස්තර කළේ “මෝඩයෙකු” ලෙස ය.

පැමිණ සිටි එක් අයෙකුගේ වචන එය සාරාංශ කළේ ය: “හැම දෙනාට ම බලා ගත හැකි සාක්ෂි එහි තිබෙනවා.” ඔව්, සැබවින් ම ඒවා පවතියි. ඒවා යොදා ගෙන කරන්නේ කුමක් දැයි අනාගතයේ දැක ගත හැකි ය.

ඉහත සඳහන් කළ ලියවිලි සහ ප්‍රේක්ෂක පිරිසේ ප්‍රතිචාරය යන සියල්ල ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නය යි: මැනවින් ගැළපුණු, තර්කානුකූල ප්‍රතිචාරයක් නිර්මාණය කර ගන්නට ආණ්ඩුව අසමත් ඇයි-අඩු ගණනේ, නරඹන්නාට මුණ ගැසෙන රූපාවලියට සරිලන ප්‍රතිචාරයක් වත්? රාජ්‍ය මාධ්‍ය කොහොනගේ සැඳහුම් පසෙක තබා සිල්වාගේ හොරණෑව වැයුවේ ඇයි?

එසේ සිදු වූයේ, රූපාවලිය සහ ශ්‍රී ලංකාවේ යන්ත්‍රණයන් පිළිබඳ කොහොනගේ ප්‍රකාශවලින් පරීක්ෂණ පැවැත්විය යුතු සහ වග විය යුතු උල්ලංඝනය කිරීම් තිබෙන බවක් ව්‍යංග්‍යයෙන් පිළිගැනුණු නිසා ද? සිල්වා කළ මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීමට වෙනස් ලෙස, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීම රාජ්‍යයේ වගකීමක් බව ඔහු පැහැදිලිව සඳහන් කළ නිසා ද, එවිට එවැනි බැඳීම් පවත්වා ගෙන යාමට සිදු වන නිසා ද?

කොහොනගේ සහ සිල්වාගේ දෙයාකාර ප්‍රතිචාර එකට ගත් විට එළිදරව් වන්නේ, එය රට සමගි කිරීම සහ යළි ගොඩනැගීම පිණිස යුද්ධයේ සත්‍යයට නිර්භියව මුහුණ දීමට අසමත් ආණ්ඩුවක භින්නෝන්මාදී දූත මෙහෙයක් බව යි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉලේන් පියර්සන් සාකච්ඡාව අතරතුර දී පෙන්වා දුන් පරිදි, ආණ්ඩුව සියලු පරිශ්‍රමයන් දරා තිබෙන්නේ ප්‍රතිකැරැල්ලේ දී “ශ්‍රී ලංකා ආකෘතිය” යොදා ගැනීමේ වැදගත්කම ඒත්තු ගැන්වීම සඳහා ය. එසේ කිරීමෙන්, එය ලිබරල් මැදිහත්-වීම්වාදීන්ගේ අවධානය ඇද ගෙන ඇත. මානව හිමිකම් ක්‍රියාකාරීන් අපට සහාය දෙන්නේ නැහැ, ඒ ගොල්ලන් වැඩ කරන්නේ අපට එරෙහිව යැයි ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුවේ කථකයෝ මොර දුන්හ-නැත් නම්, සිල්වා කියා සිටින පරිදි, ඔවුහු විදේශවල සිටින එල්ටීටීඊ හිතවාදී විරෝධතාකරුවන් සමග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තුළ පෙළ ගැසී සිටිති. ත්‍රස්තයට එරෙහි යුද්ධය, අනියත කාලයකට දික් වෙයි. මෙලෙස, ආණ්ඩුව දැන් එය ජය ගැනීමට උත්සාහ කරන කුමන්ත්‍රණය සාර්ථකව නිර්මාණය කර ගෙන ඇත.

කුරිරු යුද ක්‍රියාවන් සම්බන්ධයෙන් වගවීමේ ගැටලුවට ආණ්ඩුව දක්වා ඇති අප්‍රමාණවත් ප්‍රතිචාරය, සැබවින් ම ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් යහපත් පෙර නිමිත්තක් නො වේ. එය සැකයට පදනම සලසය. ජාත්‍යන්තර ක්‍රියාව සඳහා වන කැඳවුම් අවුලුවයි; බලයේ සිටින අය, තමන් කරන දේශීය විවේචකයන් මර්දනය-ඒකාධිපතිවාදයේ වැඩීම පමණක් අඟවන, තව දුර ප්‍රශ්න පමණක් පැන නංවන ක්‍රියාවන්-සාධාරණීකරණය කිරීමට ඒවා යොදා ගනිති. මෙලෙස, උපායෙන් වගවීම මග හැරීමේ උත්සාහයන්ගෙන් සිදු වන්නේ, පශ්චාත් යුද තත්වය තුළ යළි ගොඩනැගීම සහ සමගි සන්ධානය සඳහා දරන දේශීය පරිශ්‍රමයන්ට වළ කැපී යාම යි. රාජ්‍යයේ අසර්ථකත්වය පිළිබඳ උදාහරණයක් නිර්මාණය කර ගැනීමට ප්‍රයත්න දරන්නන්ට පෑළ දොර විවර කර තැබීම යි. ආණ්ඩුව දිනපතා පරිශ්‍රම දරන බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා ද දේශපාලනික සමගි සන්ධානය උදෙසා ද එළඹෙන වසරවල දී සිය පුරවැසියන්ගේ සෞභාග්‍යය උදෙසා ද ජය ගත යුතු සැබෑ අභියෝගය වනුයේ සත්‍යය සහ සාධාරණත්වය උදෙසා දරන පරිශ්‍රමයන් ය-ජාත්‍යන්තර ප්‍රචාරක සංග්‍රාමයක් මවා පෑම නොවේ.

Channel 4 චිත්‍රපටය නැරඹීමෙන් පසුව අපි බොහෝ දෙනෙක් මෙසේ ඇසූවෙමු: ආණ්ඩුව දැන් කුමක් කරනු ඇද්ද? පිළිතුර වන්නේ මෙම විසිර ගිය, වියරු වැටුණු “ප්‍රතිචාර” නම්, ශ්‍රී ලංකාවේ මහජනයා-සහ විශේෂයෙන් ම මෙම චිත්‍රපටය තුළ සිටින යුද්ධයෙන් දැඩි ලෙස සහ යළි යළිත් පහර කෑ මහජනයාට මීට වඩා යහපත් දෙයක් සිදු විය යුතු නොවේද?

Anamika විසිනි