Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන සතියෙහි බදාදා හෝ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජන්දයට ඉදිරිපත් කැරෙනු ඇත.

දැන් සියළුම රටවල් සිය තීරණයන්ට එළඹී අවසාන යැයි කියනු ලැබේ. මා පෙර සතියේ ලියූ පරිදි තවමත් වැඩි වාසිය තිඛෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මතවීමට ය.

යෝජනාවේ හරය වන උගත් පාඩම් කොමිසමේ නිර්දේශ තමන් විසින් දැනටමත් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකාණ්ඩුව පපුවේ දෑත් ගසමින් දිව්රමින් කියන්නේ අප එළෙස කරන බැවින් මේ යෝජනාව මොන එහෙකට ද කියා ය.

එකී උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්හි ඉතාම වැදගත් හරයක් වන්නේ යහ පාලනය ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. නිදසුනක් මෙසේ ය:

”සමානකම් සහ වෙනස්කම් පිළි ගනිමින් විශ්වාශයක් නැතිකම, අගතීන් සහ වෙනත් මත සහ අනෙකා නොඉවසීම යනාදී ප්‍රශ්ණ ආමන්ත්‍රණය කරමින් ප්‍රචණ්ඩ ගැටුමකින් පසු සබඳතා ගොඩ නැගීම, ප්‍රති සංධානයේ හරය වේ.” (ඡේදය 9.173)

”අවිශ්වාශයෙහි, බියෙහි, සැක කිරීමෙහි සහ ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතිය ඉවත් කළ යුතු අතර මහජනයාට එකිනෙකාට ඇහුම්කම් දිය හැකි සහ අදහස් අසා සිටිනු ලබන අවස්ථාවන් සහ අවකාශයන් නිර්මාණය කළ යුතු ය” (ඡේදය 9.174)

එසේ නමුත් අද ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් සිදුවෙමින් තිඛෙන්නේ කුමක්ද? ඉහත කී නිර්දේශ කණපිට හැරවීමක් සිදුවෙමින් තිඛෙනවා නොවේ ද?

මෙම යෝජනාවේ අඩංඟුව ගැන සියළු පැති අනාවරණය වන එකදු රූපවාහිනී වාද මණ්ඩපයක් දකින්නට ඔබට අවස්ථාව ලැබුනේ ද? මෙම යෝජනාවට පක්ෂපාතිත්වය ප්‍රකාශ කර ඇති සිවිල් සමාජ සංවිධානයන්ට හෝ දේශපාලන පක්ෂයන්ට එවැනි එකදු හෝ රූපවාහිනී වැඩ සටහනකට පැමිණ වාද විවාද කරන්නට ඉඩ ලැබුනේ ද?

නැත.

අද සිදුවෙමින් පවතින්නේ වෙනත් අදහස්වලට ඉඩදෙමින් ඒවා සංවාද කිරීම මගින් පුරවැසියා දැනුවත් කරනු වෙනුවට වෛරී අදහස් වලින් පිරවූ මොට්ට සමාජයක් ඇති කිරීමට උත්සාහ දැරීමයි. දැනුවත් පුරවැසියා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බල පවුරය. ජනමාධ්‍ය නිදහස සියළු නිදහස්හි පදනම වන්නේ ද එනිසා ය. මන්ද යත් ජනමාධ්‍ය නිදහසක් නැති තැනක විවිධ අදහස් පැන නැගෙන්නේත් සංවාද කැරෙන්නේත් නැති නිසා ය. එවිට පුරවැසියාට දැනුවත්වීමට ඇති අවස්ථාව ඇහිරේ.

අගමැති දි.මු. ජයරත්න පෙරමුණේ ඇතිව සංවිධනය කරන ලද පෙළපාලියක ඉදිරියෙන්ම තිබුණේ ශ්‍රී ලංකාව කිසිවිටෙක මානව හිමිකම් කෙළෙසා නැත යනුවෙනි. ඊට ප්‍රති විරුද්ධව උගත් පාඩම් කොමිසම කීවේ මානව හිමිකම් කෙළෙසී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට හිසේ අත් ගසා දිවුරන ලංකාණ්ඩුව ශ්‍රී ලංකාවෙහි දී මෙම යෝජනාවට එරෙහි ව්‍යාපාරයේ සටන් පාඨය වශයෙන් යොදා ගන්නේ එහි නිර්දේශ නිශේධ කරන උද්යෝග පාඨයකි. ඉන් ඇඟවෙන කරුණ කුමක්ද?

මානව හිමිකම් නොකෙළෙසුනු බැවින් ඒ ගැන පරික්ෂනයක් අනවශ්‍ය බව නොවේ ද?

එය හරියට වැනල් ෆෝ වීඩියෝව ගැන උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුවයැයි කියා පත් කරන ලද යුද හමුදා පරීක්ෂනය වැන්න. උගත් පාඩම් කොමිසම කීවේ ස්වාධීන පරීක්ෂනයක් කළ යුතු බවය. ආණ්ඩුව යුද හමුදාව ගැන පරීක්ෂණයක් පැවැත්වීමට යුද හමුදාවට ම බාර දුන්නේ ය. දැන් හමුදාපතිවරයා කියන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවන් කිසිවකු ඉදිරිපත් නොවන නිසා පරීක්ෂණය අසාර්ථක බව ය. උගත් පාඩම් කොමිසම නිර්දේශ කළ නිසා යැයි කියා ජනාධිපති විසින්ම පොලිස් කොමිසමක් පත් කළේ ය. දැන් එහි කොමසාරිස්වරයකු වන ඇල්ලේ ගුණවංස හිමි කියන්නේ මේ කොමිසම පුස්සක් බව ය.

මෙම ව්‍යාජ භාවිතය එනම් යහ පාලනය සහ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳව උගත් පාඩම් කොමිසම විසින් කරන ලද නිර්දේශ ප්‍රායෝගිකව වඳ බවට පත් කිරීමට සමාන්තරව ශ්‍රී ලංකාව තුළ ඇති කර ඇත්තේ අන් සියළු අදහස් හෙළා දැකින සහ බිය ගන්වන දේශපාලනයකි.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සහාය පළ කරමින් ඊට සහාය දෙන සේ ආයාචනයක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත යැවූ මන්නාරම රදගුරුතුමන්ට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරු ඇතුළු අන්තවාදී වාර්තාකරුවෝ දරුණූ වාග් ප්‍රහාරයන් දියත් කළහ. එමගින් ආණ්ඩුව පෙන්වූයේ තීරණාත්මක ප්‍රශ්ණයකදී වෙනත් අදහසක් දැරීමට සහ එය ප්‍රකාශ කිරීමට ඇති මාරක විරෝධයයි. බිෂොප්වරයාට නඩු පැවරිය යුතු බවටත් පළවා හැරිය යුතු බවටත් ඇමතිවරු ප්‍රසිද්ධියේම කීහ. මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන් ගත් ස්ථාවරයක් නිසා එතුමන්ට මුහුණ පෑමට සිදුවූ මෙම තර්ජන ගර්ජනකාරී තත්ත්වය අළලා වඩා ප්‍රබල ගිහි – පැවිදි කණ්ඩායමක අත්සන් ඇතිව මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් එවන ලදී. ජිනීවාහිදී අමාත්‍ය මහින්ද සමරසිංහ පවත්වන මානව හිමිකම් දේශනා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව කවුන්සිලයේ සාමාජික රටවලට අවබෝධ කරවීමට ආණ්ඩුවේ මෙවැනි වෛර ප්‍රචාරයන් මහත් සේ උපයෝගී විය.

මැස්සාට කඩුවෙන් කොටා රජුට තුවාල කළ වඳුරා සහ මෙවැනි මෝඩ චූන් දේශපාලනඥයින් අතර වෙනසක් නැත.

මාර්තු 14දින උදෑසන මා අවදි කරමින් එස්එම්එස් පණිවිඩයක් එවූ ප්‍රධාන පෙළේ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයක් ඩේලි නිව්ස් පුවත්පත ආණ්ඩුවේදැයි ඇසුවා ය. ඔව්.. යැයි කී මගේ පිළිතුරට ප්‍රතිචාරයක් වශයෙන් ඔවුන් එහි පළවී ඇති ලිපියක් ගැන උදහසින් කතා කළාය. ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි පැවැති සමාන්තර රැස්විම්වලදී අදහස් දැක්වු පාක්්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාදරයිනට පහර ගසමින් පළ කල තිබූ එම ලිපියේ අගට මෙසේ ලියා තිබුණි. මේ දිනවල සිය යුරෝපීය බිරිද සමඟ සුනන්ද දේශප්‍රිය ද ජිනීවා හි සිටී”. තමන් මෙම ඩේලි නිවිස් ලිපිය වහාම මානව හිමිකම් කවුන්සිලයේ තානාපතිවරුනට යවන බව එම සංවිධානය කියා සිටියා ය. දහවල් වන විට තානාපති අංශ තුළ මෙම පළිගැනීමේ ලිපිය කතා බහට ලක්වෙමින් තිබුණි.

මේ වනාහී තවත් දැලිපිහි ගත් වඳූරකුගේ වැඩක් විය යුතුය. මට යුරෝපීය බිරිදක් සිටින බව ඩේලි නිවිස් කතුවරයා ලීවේ කුමණ මුලාශ්‍ර මගින් තහවුරු කර ගැනීමෙන් පසු ද? මගේ යුරෝපීය විවාහ සහතිකය ඩේලි නිව්ස් කර්තෘ ලඟ තිඛෙනවාද? ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පත්‍ර කලාවෙහි ද්වජධාරියා ලෙස සැළකුණු ඩේලි නිව්ස් පුවත් පත මේ තරම් බාල සහ අමූලික බොරු ලැජ්ජා නැතිව පළකිරීමෙන් පෙන්නුම් කරන්නේ ද උගත් පාඩම් කොමිසම විසින් නිර්දේශ කරන ලද යහපාලන ආදර්ශයන් කුණු කූඩයට දමා ඇති සැටි නොවේ ද?.

මෙවැනි වාර්තා පළ කිරීමෙන් රාජපක්ෂ ආණ්ඩුවට මෙතෙරදී හෝ එතෙරදී හෝ අත්වන සුගතියක් නැත. අනෙත් අතට ගැහැනියක සමඟ ඇවිද ගිය ගමන් හෝ සමීප ඇසුරක් තිබූ පළියට එය ලිංගික සම්බන්ධතාවයක් සේ දකින්නේ මනෝ ලිංගික ලෙඩුන් බව ද සදහන් කළ යුතු ය.

එමෙන්ම ආණ්ඩුවේ අයිටීඑන් නාලිකාවෙහි විමසුම වැඩ සටහනෙන් පළ කැරෙන වෛරී බස සහ බිය ගැන්වීම් සියල්ළ ඉංග්‍රිසි බසට පෙරළා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට දිනපතා ඛෙදා හැරීම ද දැන් සිදුවෙයි. එම වාර්තා කවුන්සිලයේ සභාපතිනිය වෙත ද නිල වශයෙන්ම බාර දී තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ පිළිරුවක් පිළිස්සීමට නියෝජ්‍ය ඇමැතිවරයකු සහභාගි වීම සහ මෙම යෝජනාව ගැන මෙලෝ හසරක් නොදන්නා පිරිස් උද්ඝෝෂන කරා ගෙන ඒම යනාදිය විසින් පෙන්නුම් කැරුණේ ඇමෙරිකානු යෝජනාවට අන්තර් ජාතික වශයෙන් මුහුණ දීමට වඩා දේශීය වශයෙන් ස්වකීය බල ව්‍යාපාතිය ඉදිරියට ගෙන ඒමය. එහි විපාකය දැන් ජිනීවාහිදී පැහැදිළි ය. ශ්‍රී ලංකාණ්ඩුව ගැන ඇති බහුතර මතය බවට පත්ව ඇත්තේ කියන දේ නොකරන කරන දේ නොකියන විශ්වාශ කළ නොහැකි පාලනයක් බව ය.

සමස්තයක් වශයෙන් මෙම යෝජනාව සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ශ්‍රී ලංකාව තුළ දී දක්වන ලද වෛරකාරී සහ පදනම් විරහිත ව්‍යාපාරය උගත්පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමක් බව පැහැදිලි කිරීම දැන් ඉතා ලෙහෙසි වී තිබේ. මෙම අත්දැකීම විසින් යළිත් සනාථ කර ඇත්තේ රටක දේශීය පිළිවෙත සහ විදෙස් පිළිවෙත අතර ඍජු සම්බන්ධයක් පවතින බවයි.

තවත් එක් කරුණක් සදහන් කළ යුතු ය. එනම් ශ්‍රී ලංකාණ්ඩුවේ සියළු හේවිසිකරුවන් විසින් මේ යෝජනාව ගෙන ඒමේ අර්ථය නම් ශ්‍රී ලංකාව යටපත් කර ගැනීමේ සහ එල්ටීටීඊය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාවය ලෙස පෙන්වා දෙමින් ඇති බව ය.

දැන් දෙමළ ඩයස්පොරාවේ එල්ටීටීඊ හිතවාදී සහ මතවාදී සංවිධාන ගණනාවක් එක්ව මෙම යෝජනාව හෙළා දකිමින් වෙනත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම සංවිධාන ජාලය රජය මිස එල්ටීටීඊ සංවිධානය යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පිළිගන්නේ නැත. හරියට ශ්‍රී ලංකාණ්ඩුව සියළු යුද අපරාධ එල්ටීටීඊ මත පටවන පරිදිය. ඔවුහු මෙම යෝජනාවට විරුද්ධ වන්නේ එය විසින් ඊළාමය පිළිබඳ අදහස යටපත්කර දමන්නේ ය යන තර්කය උඩ ය. මෙම පෙළ ගැස්ම ද යෝජනාවට සහායක් බවට පත්ව ඇත්තේ යෝජනාවෙන් එල්ටීටිඊ මතවාදය සහ සංවිධානය ශක්තිමක් වන බවට ලංකාණ්ඩුව ගෙන ආ තර්කය මෙම නව වර්ධනය විසින් නිශේධ කරන නිසා ය.

සුනන්ද දේශප්‍රිය[Sunanada Deshapriya]