‘මේ මධුෂ්ක නේද?’ 

අනුරාධපුර නගර මධ්‍යයේදී ව්‍යාපාරිකයෙකුව  සිටි මධුෂ්ක ද සිල්වා සුදු වෑන් රථයකින් පැහැරගෙන යන්නේ 2013 සැප්තැම්බර් 02වනදායි.  ඉන්පසු ඔහු පළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු අතට ඒ වෙනුවෙන් දිගටම අරගල කළ මධුෂ්කගේ බිරිඳ වන මයුරිත් 2014 නොවැම්බර් 1 වන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ‘තමුන් කරන  උද්ගොෂණ නවතා දමන ලෙස‘ තර්ජනය කරමින් අත්පා බැද මහ මග දමා ගියහ.

වසර ගණනක් පුරා ඔහු වෙනුවෙන් තම දරුවන් දෙදෙනාද සමඟ  අරගලයේ යෙදෙන මධුෂ්ක ගේ බිරිඳ විරෝධතාවයේ යෙදෙන ජායාරූපයක් පෙන්වමින්  ‘මේ මදුෂ්ක නේද?‘ අනුරාධපුරයේ තරුණයන් කීපදෙනෙකුම  පැමිණ අපගෙන් ඇසුවේ  හරියටම මිට වසර  5කට ප්‍රථම  අතුරුදහන් වූ මධුෂ්ක වෙනුවෙන් තවමත් යුක්තිය නොලත් ඔහුගේ බිරිඳ වන මයුරි ජයසේන සැප්තැම්බර් 4 වන දින උදෑසන සිට පසුදා පහන් වන තුරු කොලඹ ගෝල්ෆේස් හිදී යුක්තිය ඉල්ලමින් සිටින විට විකල්ප අපි  #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව යුක්තිය සහ ජීවිතය’ ජායාරූප ප්‍රදර්ශනය  සිව්වෙනි වරට  අනුරාධපුර නගරසභාවෙහි සති පොළ ඉදිරිපිට ප්‍රජා ශාලාව, අංක 2  ශාලාවට  පසුගිය සැප්තැම්බර් මස 3 සහ 4 රැගෙන ගිය අතරතුරය. ඒ අනුව මෙවර ප්‍රදර්ශනය විශේෂයෙන්ම  පැවැත්වුනේ අනුරාධපුරයට වඩා ම තීරණාත්මක වූ දින කීපයක් තුළය.

ඒ අනුව ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් තැබුණු #Unframed හිදී  ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත්, 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය ඇතුලු කොට වූ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ද   #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව යුක්තිය සහ ජීවිතය’ පැවැත්වුයේ යුක්තිය ඉටු නොවූ දහසක් මයුරිලා , මධුෂ්කලා වෙනුවෙන් යුක්තිය ඉල්ලමිනි.

“තාත්ති මේ මළ ගෙදරක් ද ”  “ඇයි ඒ අත්තම්මා අඩන්නේ?” 

මේ ප්‍රදර්ශනය නැරඹීමට තම පියා සමඟ පැමිණි කුඩා පෙර පාසල්  දියණියකි. ඇය පැසුණු එකියක මෙන් ඇගේ පියාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු අප ඉතා සංයමයෙන් අප කණ්ඩායමෙන් උදව් ඉල්ලා සිටියේය. අවසානයේ ඔහු කි එක් දෙයක් අප මතකයේ මාවත නැවත පිළිරැව් දේ.

“අපි හැමෝම මිනිස්සු නේද ? එකට ජාතියක් නෑ. දුක, නැතිවීම ජීවිතය මේ ඔක්කොම අපිට දැනෙන්නේ මිනිසුන්ට  පින් ඔයාලට මේක පෙන්නුවට ”  ඔහු ඒ වචන කියේ හදවතිනි.

සිංහලේ ඇඳි ප්‍රේක්ෂකයෙකුගේ ඇසින්  #UNFRAMED 

ඒසේම ප්‍රදර්ශනයේ දෙවෙනි දින අලුත්ගම ධර්ගා නගරයේ මුස්ලිම් ප්‍රජාවගේ දේපල  සුනු විසිනු කොට ප්‍රහාර එල්ල කොට තිබු ජායාරූපද ඇතුළත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ ජනතාවට අත් විදින්නට සිදුවූ පීඩාවන් දැක්වෙන ජයාරූප එකතුව අසළදී  අප නෙත ගැටුණේ සුවිශේෂී ප්‍රේක්ෂකයෙකි. #unframed යුක්තිය සොයා යන ගමනෙහි මෙය එක්තරා සන්ධිස්ථාන සටහනක් යයි අපි විශ්වාස කරමු.

“අපේ පලාත්වල මිනිස්සු වැඩත් එක්කම හෙම්බත් වෙළා. අවට ලෝකය ගැන තියෙන අවබෝධය හරිම අඩුයි.තමන්ට ජිවත් වෙලා ඉන්න වෙලා තියෙන්නේ මොන වගේ රටකද කියන එක ගොඩක් අයට තේරුමක් නෑ. කිසිම කෙනෙක් තමන්ගෙන් වෙන්න ඕනි යුතුකම් දශමයක් වත් කරන්න උත්සාහ  ගන්නේ නෑ. අනික මෙහෙම ප්‍රදර්ශනයක් අනුරාධපුරේ තියෙන්නේ පළවෙනි පාරට,එක ලොකු දෙයක්” එලෙස අප සමඟ දීර්ඝ වෙලාවක් අදහස් දැක්වුයේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ධීවර මහතෙකි.

එසේම විශේෂයෙන්ම මෙවර මාධ්‍ය අධ්‍යනය හා සන්නිවේදනය හදාරණ පාසල් සිසුන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අය අතර වැඩිවශයෙන් දක්නට ලැබිණි. පසුගිය කාලය පුරා සිදුවුණු මාධ්‍ය මර්ධනය, භාෂණයේ නිදහස වෙනුවෙන් එල්ලවූ තර්ජන, මාධ්‍ය වේදීන් ඝාතනය, අතුරුදහන් කරවීම, මාධ්‍ය ආයතන වෙත එල්ල වූ ප්‍රහාර එකතු කොට සකසා තිබු ජායාරූප එකතුව ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය.

 

 ඒ අතර ‘අනුරාධපුරේ කියන්නේ ටිකක් මික්ස් වෙච්ච නගරයක්. අනිත් එක අපිට යූද්දෙත් හොදට දැනුනා. මේ වගේ දේවල් කොහොමහරි මෙහේ මිනිසුන්ට දෙන්න ඕන.’  ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි මාධ්‍යවේදියෙක් ඒ අතර අප හා අදහස් දැක්විය.

‘මැතිවරණයකදී විතරක් කරළියට එන මොවුන් උඩරට දෙමළ ජාතික පක්ෂ වල මැතිවරණ ඉත්තන් බවට පමණක් හැමකාලෙකදීම පත්වෙනවා.  ‘නෑ අනිත් අතට මේක සිංහල පක්ෂවලටත් අදාළයි”

අප සමඟ පැවසුවේ 2017 වසරට වසර 150 ක් වූ තේ වගාවේ ජායාරූප පෙන්වමින්ය.

වංක ගිරියෙන් විසල් අරණේ මුණ ගැසුණු අම්මා

නදී තීරේ මළ පුතුන් දැක විකල් වූ අම්මා

සොයා අබ මිට දොර දොරේ වැද  හති ඇරූ අම්මා

පුතු බදාගෙන අන්ධ නෙතිනුත් වැලපුණා අම්මා

සංගීතවේදී ජයතිලක බණ්ඩාර ද අනුරාධපුර ප්‍රදර්ශනය වෙත පැමිණ තිබුණේ ඔහුගේ හඬින්ම අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් ඔහු ගැයූ ගියක මතක පද ද අවදි කරමිනි.

නොඑන පුතු ගැන අදත් තනි වී අඩනවා අම්මා

නොඑන පුතු ගැන මඟ බලාගෙන අඩනවා අම්මා

මේ අතර අපුරු සිදුවීම් කීපයක් ද මෙවර ප්‍රදර්ශනය කාලය තුළ විශේෂ ලෙස විකල්ප කාණ්ඩායමට නිරීක්ෂණය කළ හැකි විය. එනම් මිට ප්‍රථම පැවති සියලු  ප්‍රදර්ශනයන්ට සාපේක්ෂව හමුදා හා පොලිස් බුද්ධි අංශ නිලධාරින්  විශාල ප්‍රමාණයක් විටින් විට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමය. එය ගණනින් ඉතා සැලකිය යුතු සංඛ්‍යාවක් බව මෙහිලා සටහන් කළ යුතුමය.

කෙසේ වෙතත් අපට කීමට ඇත්තේ රාජපක්ෂ රෙජිමයට සේම යහපාලනයටද අප නම් සලකන්නේ එකම හැන්දෙන් බව පමණකි. විකල්ප අතීතයේත් , අදත් හෙටත්  පෙනීසිටින්නේ හා පෙනී සිටියේ හුදෙක්ම පිඩාවට පත් ජනතාවගේ යුක්තිය වෙනුවෙන් පමණි. අපගේ  පාක්ෂිකත්වය ඇත්තේ ඒ වෙනුවෙන් මිස අප බය ගන්වන්නට දත කන නායකයින්ගේ පාර්ශ්වයන් වෙනුවෙන් නොවන අපි බව තරයේ මෙහිලා ද සටහන් කරමු.

ඒ නිසා හෙට දිනයේදී  යුක්තිය වෙනුවෙන් වන අරගලයේ අප ඊළඟ හමුවීම ඔබ නගරයේදී විය හැකිය. එදිනට ඔබ හමුවෙන තෙක් …..  යුක්තිය හා ජීවිතය හා ගිලිහි යන ආදරය වෙනුවෙන් #Unframed තව දුරටත් ගම් දනව් හරහා ගමන් කරනු ඇති!

අනුරාධපුරයේදී මෙම අත්දැකීම හා ඔබ වෙත සමීප කිරීම සඳහා වෙහෙස වෙමින් සියලු සංවිධාන ශක්තිය ලබා දෙන ලද මනුසත් පදනම නමැති තරුණ සංවිධානයට  විකල්ප අපි විශේෂයෙන් ස්තුතී වන්ත වෙමු. ප්‍රදර්ශනය සම්බන්ධ සියලු තොරතුරු විකල්ප ෆේස් බුක්, ටුවිටර්, ඉන්ටග්‍රෑම් ගිණුම් හරහා ද  ඔබට ලබා ගත හැකිය.