යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස අගයන දහසක් ජනයාට යම් බලාපොරොත්තු දල්වමින් දින 126 ක් පුරා, එනම් මාස 4 කට අධික කාලයක්, දිගින් දිගටම ඇප ලබා නොදෙමින්  අයුක්ති සහගත ලෙස සිර ගත කරන ලද ලේඛක ශක්තික සත්කුමාරට අද දින ( 05 ) ඇප ලබා දීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය  නියෝග කළාය. ශක්තික සත්කුමාර ශ්‍රී ලංකාවේදී කෙටි කතාවක් ෆේස් බුක් (facebook) හි ලියා පළ කිරීම හේතූ කොට ගෙන සිරගත වූ පළමු පුරවැසියා ද වේ.

ශක්තික අත්අඩංගුවට ගැනෙන්නේ 2019 අප්‍රේල් මස 1 වන දිනය. ඒ 2019 වසරේ පෙබරවාරි මස දිනක, ඔහු විසින්  “අර්ධ” නම් කෙටි කතාවක් ලියා තම ෆේස්බුක් ගිණුමේ පොස්ටුවක් ලෙස පළ කිරීම නිසාය.

බෞද්ධ භික්ෂුවක සිට සිවුරු හැර යාමෙන් පසු, අදාළ කථකයා සහ ඔහු අළලා අවශේෂව ගොඩ නැගුනු චරිත හරහා, පවතින සමාජ යාථාර්තයන් සහ සමාජ කියවීම් නැවත  ප්‍රබන්ධ ගත කොට මෙම කෙටි කතාව ඔහු විසින් ලියා තිබේ.

කෙසේ වෙතත් මෙම කෙටි කතාව හරහා, ශක්තික සත්කුමාර 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය පනතේ (3) (1) වගන්තිය යටතේ  “වෙනස්කොට සැලකීමට, සතුරුභාවයට හෝ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි ජාතික, වාර්ගික, ආගමික වෛරය ඇති කිරීම” සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය යටතේ “ආගමික විශ්වාසවලට සහ ආගමකට අපහාස කිරීමෙන් ආගමික හැඟීම් ඇවිස්සීමට හිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” යන අසාධාරණ චෝදනා නගමින්,ඔහු සේවය කරන සේවා ස්ථානය අයත් වන පොලිස්  බල ප්‍රදේශය වන “පොල්ගහවෙල” පොලිසිය වෙත පැමිණිලි කරන්නේ සංවිධානාත්මක වූ චීවර ධාරීන් පිරිසකි. මේ චීවර ධාරීන් විසින් මිට ප්‍රථම අවස්ථා කීපයකදිම සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් වෙත තලේබාන් පන්නයේ කඩා වැදීම් හා  තර්ජනය කිරීම් මෙන්ම, නිර්මාණ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි  කිරීම්  කොට තිබේ.

පොල්ගහවෙල පොලිසියට ශක්තික සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලදුව මෙම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හිමි නම විසින්, සාවද්‍ය කරුණු උපුටමින් පොලිස්පතිවරයා වෙතද යවා ඇති ලිපිය

ඒ අනුව, ඔවුන් විසින්  පොල්ගහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ල හේතූ කොට ගෙන, එම පොලිසිය  විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙලුම් ප්‍රියදර්ශනී මහත්මිය ඉදිරියේ පසුගිය මාස කීපය පුරාම මෙම නඩුව විභාග වූ අතර, ඔහුගේ නඩු විභාගය දිගින් දිගටම විවිධ හේතූ උපුටා දක්වමින්  අසාධාරණ ලෙස කල් තබන ලදී.ඒ අනුව හෙට (අගෝස්තු 06 ) දක්වා එම නඩුව නීතිපති උපදෙස් සඳහා කැඳවමින් කල් තබනු ලැබුයේ පසුගිය ජුලි 23 වන දාය.

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් කුරුණෑගල මහාධිකරණයේ (ඔහු පදිංචි දිස්ත්‍රික්කය) ඇප ඇයදුමක් ගොනු කොට තිබුණු  අතර එය අද තුන්වෙනි වරට කැඳවුණු අවස්ථාවේ ඔහුට ඇප ලබා දීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

ඇප අයදුම්පත ගොනුකල යනූෂා ලක්මාලි (ශක්තිකගේ බිරිඳ) වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල, මැල්කම් මචාඩෝ, සංජය විල්සන් ජයසේකර, සී.ඩබ්.ඩබ්.රත්නායක යන නීතිඥවරු අද දින මහාධිකරණයේ පෙනී සිටියහ.

ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥ අතුකෝරාල විසින් කරුණු දක්වමින් කියා සිටියේ  ‘අදාළ ලේඛකයා දින 120 කට අධික කාලයක් සිරගත කර තිබීම පමණක් නොව ඔහුට එරෙහිව චෝදනා නගා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3(1) වන වගන්තියට අදාළ වන කිසිදු වරදක් ද ඔහු කර නොමැති බැවින්’  මෙම සුවිශේෂී තත්වය සලකා  බලා ඇප නියම කරන ලෙසය.

පොලිස් පරීක්ෂණ අවසන් බැවින් ද, මාස 4ක් ඉක්මවා ලේඛකයා බන්ධනාගාර ගත කොට ඇති හෙයින්ද, ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බව පොල්ගහවෙල පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා ද පැවසිය.

ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ද , රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් සහ සෑම මාසයකම 2  හා 4  සතියේ පොල්ගහවෙල පොලීසියට වාර්තා  කළ  යුතුය යන කොන්දේසි මත ශක්තික සත්කුමාරට ඇය විසින් ඇප නියම කළාය. හෙට දින මිට අදාළ ක්‍රියාවලිය සම්පුර්ණ කොට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට හැකි වෙනු ඇතැයි අපි සියල්ලෝම  බලාපොරොත්තු සහගතව සිටිමු.

කෙසේවෙතත්, හෙට (6)  පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග  වීමට නියමිත නඩුව ශක්තිකට එරෙහිව අධිචෝදනා ගොනුකරන්නේද යන්න පිලිබඳ නීතිපති උපදෙස් දැනුම්දීමට කැඳවෙනු ඇත.

එසේම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශක්තිකගේ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ගොනු කොට ඇති නඩු කරය, සැප්තැම්බර් මස 30 වන දින විහාගයට ගැනීමට නියමිතය.

2010 සහ 2014 වසරේ විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි ජාතික යෞවන සම්මානය ඇතුලු සම්මාන ගණනාවක් දිනා ඇති ලේඛක ශක්තික සත්කුමාර ශානර ගණනාවක තම මැදිහත් වීම සලකුණු කරන ලද ලේඛකයෙකි.

කවියෙකු, කෙටි කතාකරුවෙකු, නව කතා කරුවෙකු ලෙස ප්‍රබන්ධ කතා සාහිත්‍යය කරණයේ මෙන්ම සාහිත්‍ය න්‍යාය, විචාරය ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථද, බුදු දහම ආශ්‍රිත මෙන්ම වෙනත් විවිධ විෂයික  ග්‍රන්ථ 28 කට  ආසන්න සංඛ්‍යාවක් රචනා කොට ඇති ඔහු පුවත් පත් ලිපි සංග්‍රහයන් රැසක් ද , නාට්‍ය පිටපතක් සඳහා සම කර්තෘවයද ලබා දී තිබේ.

කූඩු, වැලි, මිනි කපන්නාගේ හෘදය සාක්ෂිය, පතොක් කටු, සිව්වන පරපුර ආදී කෙටි කතා සංග්‍රහද,  වෙඩි වැදුණු පන්හිඳ, අඳුර, අහස අහිමි සඳක්, පියාපතක් බිම හෙලමි ආදී කාව්‍ය සංග්‍රහද,  මතක ගම්දොර නම් නවකතාවද,  දිවි මඟට පහන් වැටක්, සඳහම් මකරන්ද, අමා දම් ආදී බෞද්ධ ග්‍රන්ථද , මළ ගිය ඇත්තෝ- නවකතා විමර්ශන, විදි ලාම්පු , සිංහල කෙට් කතාවේ කම්මැල්ලවීර ලකුණ , බද්දේගම නවකතා විමර්ශන, නුතන කෙටි කතා විමර්ශන ආදී විචාර ග්‍රන්ථ රැසක් සහ ආරියරත්න විතාන සමඟ “නාට්‍ය තුනක්” යන  නාට්‍ය පිටපතද ලියා තිබේ.

ශක්තික සත්කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ “සිංහල” විශේෂවේදී (ගෞරව) උපාධිධරයෙක් වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ලාභියෙක්ද,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකු සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමා ලාභියකු ද වේ. තිස් තුන් හැවිරිදි හෙතෙම, කුඩා දියණියකගේ සහ පුතකුගේ  පියෙකු වන අතර  වෘත්තියෙන් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කළේය. ඇගේ බිරිඳ යනුෂා ලක්මාලි ද සම්මානිත ලේඛිකාවක් වන අතර ඇය ද රජයේ සේවයේ නියුතු වේ.

විශේෂයෙන්ම පසුගිය කාලය පුරා ඔහු වෙනුවෙන් ස්වාධීනව බොහෝ සංවිධාන, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, ප්‍රකාශනයේ නිදහස තහවුරු කරමින්  හා ලේඛක ශක්තිකගේ අයිතිය සුරකින ලෙසත් ඔහු නිදහස් කරන ලෙසත් පුළුල් සමාජ ව්‍යාපාරයකට දායකත්වය ලබා දෙන අතරේ, ඊනියා සුචරිතවාදී මහා ලේඛකයින්  කියා ගන්නා බොහෝ දෙනෙක්, තම හිවල් වෘත රැක්කේ,ශක්තිකගේ කෙටි කතාව තම තමන්ගේ මහා සාහිත්‍යට අදහසක් පළ කිරීමට වත් තරම් නොවන්නේ යයි කියමිනි. ඇකමඩියාවේද ඉතාම අතලොස්සක් වූ  පිරිසක්  අරුණු කොට  බොහෝ ආචාර්ය, මහාචාර්යවරු අවම වශයෙන් තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරේ වත් මේ නිර්මාණය හා එය විචාරය කිරීමේ අවශ්‍යතාව මිස , සමාජය තුළ ලේඛකයකු සාහසිකයෙකු කර  මරා නොදැමිය යුතු යන සාකච්ජාව කළාදැයි සැක සහිතය.

ඊටත් වඩා සැප්තැම්බර් මාසයෙත්, ඔක්තොම්බර් මාසයේත් ලේඛකයන්ගේ රීරි මාංශයෙන් මඩ තඩි කරගන්නා දැවැන්ත පොත් ප්‍රකාශක සමාගම්, පොත් ප්‍රකාශකයෙන්ගේ සංගමය, ඉහළ පාන්තික ගාලු සාහිත්‍ය උළෙල ආදීය මෙන්ම වෙනත් සාහිත්‍ය උළෙලවල් මෙරට ලේඛකයෙකු කෙටි කතාවක් ලිවිම හේතුවෙන්  දවස් 126 ක් සිර ගත කොට සිටි බව එක්කෝ තවමත් දන්නේ නැතිය. නැත්නම් ඔවුන්ට මතක නැතුවා විය හැකිය.

අනිත් අතට පැලෝපිය නාලයේ සිට වාර්තා කරන මාධ්‍ය ආයතන වලට ශක්තික කුහුඹුවකු තරමින් වත් පෙනුනේම නැත. ශක්තිකගේ නඩු වාර ආවරණය කිරීම හෝ ඔහු වෙනුවෙන් ගුවන් කාලය වෙන්කිරීමට තරම් වත් ඔවුන්ට එය වැදගත් වුයේ නැත. ඊට වඩා වගේ වගක් නැතුව ජාතිවාදය හා ආගමික වෛරය කිසිදු බාධාවකින් තොරව මිනිසුන්ගේ කකුල් දෙක ළඟටම ඒවායින් සපයා තිබුණි. යම් යම්  පුවත් පත් කීපයක ඔහු වෙනුවෙන් යාන්තමින් පිටුවක් ලබාදුන්නා හැරෙන්නට, ආණ්ඩුවේ ඇමතිවරයෙකුට  හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට අධෝ වාතයක් ගියත් හෙඩි ලයින් නිවුස් දමන, බ්‍රේකින් නිවුස් (සත්‍යවශයෙන්ම ඒවා කැඩුණු පුවත්ය) දමන ඔවුන්ට අද දක්වාම ශක්තිකගේ ප්‍රශ්නය නොවැදගත්ය. එහෙත් උත්ප්‍රාසය  නම් එකී මාධ්‍ය ආයතන වල මාධ්‍ය නිදහස වෙනුවෙන්ද මේ  අපටම පෙනී සිටීමට සිදු වීමේ ඛේදවාචකය.

කෙසේවෙතත් මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ලේඛක සංසදය , අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ප්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව  ඇතුලු දේශීය සංවිධාන ද, Writers-in-Prison (PEN Deutschland) PEN International සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට , රජයට හා අදාළ පාර්ශවයන් වෙත මෙම ඔහු සිර කර තැබීම හෙලා දකිමින් ලිපි නිකුත් කොට තිබේ.

සුවිශේෂීම  කාරණය නම් පසුගිය අගෝස්තු මස 1 වන දින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) විසින් ශක්තික සත්කුමාර “Prisoner of Conscience” (සිය වාර්ගිකත්වය/ ලිංගික දිශානතිය/ ආගමික/ දේශපාලන විශ්වාසයන් වෙනුවෙන් පෙනී සිටිම නිසා සිර ගත කරන ලද්දෙකු හෙවත් හෘද සාක්ෂියේ සිරකරුවෙකු ලෙස හඳුනා ගෙන නම් කරනු ලැබීමය. මිට පෙර එලෙස ශ්‍රී ලංකාවේ නම් කරන එකම පුද්ගලයා වන්නේ ජේ.එස් . තිස්සනායගම් මහතායි. ඒ 2009 වසරේදීය.

එසේම ශක්තික අත්අඩංගුවට ගැනීමට පෙර ආගමික බලාධිකාරයෙන්  හා චීවරයේ වරප්‍රසාදයෙන් ශක්තික වෙත ඇතැම් භික්ෂුන් සහ සංවිධාන විසින් කරන ලද බලපෑම් වලට ප්‍රතිචාර දක්වමින් තිඹිරියාගම බණ්ඩාර, ජයතිලක කම්මැල්ලවිර ආදී ලේඛකයෙන් ඇතුලු විවිධ පිරිස් තම ප්‍රකාශ නිකුත් කොට තිබුණි.

ශක්තිකට ඇප ලබාදීම නිදහස අගයන අප හැමගේම ප්‍රාර්ථනායක්ව තිබුණි. ඒ නිසාම අද දවස අප සිත් හි සතුටක් දල්වයි. එහෙත් ඒ  සිතුවිලි පසාරු කරගනිමින්  අකුරු කිරීම හේතුවෙන් මිනිසෙකු අහේතුකව ආගමේ නාමයෙන් දවස් 126 ක් සිර ගත කොට තැබූ රටක ජිවත් වීමට සිදුවීමේ  වේදනාකාරී  මෙන්ම ලජ්ජා සහගත හැගීම ඊට පරයා මතුවන බව නොකියාම බැරිය.

සටන ඇත්තේ දැන්ය. ශක්තික නිදොස් කොට  නිදහස් කර  ගැනීම  නිදහස අගයන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක් මිස ශක්තිකගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන බව අපි සියලු දෙනා තරයේ අවබෝධ කොට ගත යුතුය. ශක්තිකට  සැබෑ යුක්තිය ඉටු වන්නේ එදිනටය. යම් හෙයකින් මෙම නඩුව හමුවේ ඔහු වරද කරුවෙකු වුවොත් වසර 10 ක් දක්වා සිර දඬුවම් නියම වීමේ බරපතල අවධානම තවමත් ඔහු වෙත තිබේ. එය සුළු කොට තැකිය නොහැකිය. ශක්තික ඇප ලැබී පැමිණෙන්නේ ඒ බරපතල අවධානම සහිතව බව අප අමතක නොකළ යුතු වෙමු.

ශක්තික, හෙට ඔබ අප මම  විය හැකිය. අප සාමාන්‍ය පුරවැසියන් ය. අපට බලය ඇත්තන්ට මෙන් නීතියට හෝ වරප්‍රසාදයන්ට ෂෝට්කට් නැත. ඒ නිසා රාජ්‍ය මර්ධනයට එරෙහිව සටන් කළ අපට දැන් සටන් කිරීමට සිදුව ඇත්තේ නිවන් යන්නට බවුන් වඩන මඟ තෝරා ගත්තා යයි කියන ව්‍යාජ කහ සිවුරු පොරොවා ගත්  ශරීර සමඟය. එය ඛේදවාචකයක් බව නොකිවමනාය. එහෙත් සියලු බාධක මැද යුක්තිය වෙනුවෙන් වන මේ අඛණ්ඩ සටන අතනොහැර ශක්තිමත්ව කළ යුතුව තිබේ.

ශක්තික විසින්  ඔහු අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර තම  ෆේස් බුක් ගිණුමේ “මට හිතෙන හැටි” යැයි මෙසේ ලියා තිබුණි. එය සැබෑ සත්‍යම නොවේද ?

සාම්ප්‍රදායිකව සිතන මිනිසුන් බහුල  සමාජයක ඉතිහාසය, ආගම ප්‍රශ්න කරන විකල්ප සිතීමක් සහිත මිනිස්සු “පිස්සෝ” “ඔල්මාදකාරයෝ” වෙති. එහෙත් අලුත් විදියට සිතන, ලියන, කියවන මිනිස්සු ලෝකය නිර්මාණය කරති. මේ පාඩම ඉතිහාසය නැවත නැවත ඔප්පු කොට තිබුණත් එය ඉගෙනීමට බොහෝ දෙන බිය වෙති.

 

[UPDATE : 2019.08.08 11.20 am] අගෝස්තු 5 වන දින කුරූණෑගල මහාධිකරණය විසින් ඇප ලබාදීමට  නියෝග කළත්, එසේ නිකුත් කළ ඇප නියෝගය අගෝස්තු 6 වන දින වන විටත්, එහි සිට මිනිත්තු 20න් පැමිණිය හැකි දුරකින් පිහිටි පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී නැතැයි දැනුම් දීම හේතුවෙන් , අගෝස්තු 6 වන දින, පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී  නඩුව කැඳවූ  අවස්ථාවේ , නැවත ලේඛක ශක්තික සත්කුමාර අගෝස්තු  8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එයින් දින 3කට  පසු එම ඇප නියෝගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී තිබුණෙන්, අගොස්තු 8 ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ශක්නිතික ඇප කොන්දේසි මත නිදහස් විය . ඒ අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඔහුගේ නඩුව, නැවත එළඹෙන දෙසැම්බර් 10  දක්වා කල් තබා තිබේ. 

ඔහු විසින් ලියන ලද ‘අර්ධ’ කෙටි කතාව

JDS ( ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා මාධ්‍යවේදියෝ )  කරන ලද ඔහුගේ කෙටි කතාකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 

ශක්තික සත්කුමාර විසින් හිමිකරගෙන ඇති සම්මාන 

2017 රාජ්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ වීම – වැලිකෙටි කතා සංග්‍රහය

2017 වසරේ වයඹ පළාත් සභා සම්මානය –වැලි”  කෙටි කතා සංග්‍රහය

2015 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය – මිනී කපන්නාගේ හෘද සාක්ෂියකෙටි කතා සංග්‍රහය

2014 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය – සාහිත්‍ය විචාර ග්‍රන්ථයසිංහල කෙටිකතාවේ කම්මැල්ලවීර ලකුණ

2014 විශිෂ්ටතම කෙටිකතාකරුවා, යෞවන සම්මාන

2012 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය –පතොක් කටුකෙටි කතා සංග්‍රහය

2012 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය – අහස අහිමි සඳක්කාව්‍ය සංග්‍රහය

2011 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය- අඳුරකාව්‍ය සංග්‍රහය

2010 වයඹ පළාත් සාහිත්‍ය සම්මානය – කලු මකරාකෙටි කතා සංග්‍රහය

2010 විශිෂ්ටතම කෙටිකතාකරුවා, යෞවන සම්මාන

2006 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්වර්ණමය ජයන්තිය සම්මානයසිව්වන පරපුරකෙටිකතා සංග්‍රහය

2009 වයඹ සාහිත්‍ය සම්මානය කාව්‍ය සංග්‍රහයවෙඩි වැදුනු පන්හිඳ

වැඩිදුර කියවීමට

සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම 

ශක්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම 

ශක්තික ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණයක් ලෙස

සංස්කාරක සටහන : මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා 2019.04.01 සිට මේ දක්වා ව්ක‍ල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරුන් අදාළ නඩු විභාග වෙත සහභාගී වෙමින් ලබා ගත් තොරතුරුත්, ශක්තික සත්කුමාරගේ බිරිඳ විසින් විකල්ප සංස්කාරකවරුන් වෙත ලබා දුන් තොරතුරුත්, පසුගිය කාලය පුරා ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන්ගේ නඩු සටහන් පරිශීලනය කිරීමෙන් ලබාගත් තොරතුරුත්,  අන්තර්ජාතික වෙබ් අඩවි, සංවිධාන සහ ඔහු සම්බන්ධව නිකුත් කළ ප්‍රකාශ හා සටහන්  ආදියත් පදනම්  විය.