මේ මැයි මාසය ය. එය අවසන් වන්නට ඇත්තේ තවත් එක් දිනකි. ඒ වෙසක් අවසන්ව, පොසොන් මස උදාවන්නට ඇත්තේ ද තවත් එක් දිනකි. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක් ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණ පදුරු ගානේ උණ බට කැපූ හැටිය. රබර් වතු ගානේ දිවගොස් ඔට්ටපාලු එකතු කල අයුරුයි. ඒ වෙසක් කූඩු සෑදිමටය. ඒ වෙසක් කූඩු පොසොන් එකටත් දැල්වූවා මතකය. ඒවාට කිව්වේද වෙසක් කූඩු කියාය. ලයිට් නොතිබුනු ඒ දවස් වල ඉටිපන්දමක් වෙසක් කූඩුවේ ගසා එය නිවෙන තුරුම කූඩුව දෙස බලා සිටීම තරම් සතුටක් එකල අපට නොවීය. හදිසියේ හුලගක් ඇවිත් වෙසක් කූඩුව පිළිස්සුනොත් ඒ තරම් නොදැනු දුකක් නැති තරම්ය.

ඒ කාලය ගෙවී ගියේ බොහෝ වේගයෙනි. ගමට ලයිට් ආවේය. උණ බට හොයන් කැලෑවල බඩගාමීන් වෙසක් කූඩු සැදූ අපිට, පසුව හමු වූයේ සාදා නිමකල පැකට් කර, විකිණීමට තබා ඇති වෙසක් කූඩුය. චීන වෙසක් කූඩුය.

බොහෝ විට ඒවා පිළිස්සෙන්නේ නැත. හේතුව විදුලි බල්බයක් ඒ තුළට දමන නිසාවෙනි. ඒබැවින් දැන් ළමුන්ට දුකක් නොදැනෙනු ඇතැයි මට සිතෙයි.

එහෙත් අද මැයි මස කිව් සැනින් අප ඔලු තුළ මැවෙන්නේ වෙසක් මාසේ පුංචි සිත්වල මැවෙන සතුට නොවෙයි.

ඒ මහා වේදනාවකි.

බුදුන් ගැන, අවිහිංසාව ගැන, පව්-පිං ගැන වැඩිපුරම කතා කරන මේ මාසයේ දී ඒ මහා කාලකන්නි අමානුෂික තත්ත්වයක් උදා කලේය. එක් අතකින් බෞද්ධ කොඩියත්, අනෙක් අතින් තුවක්කුවත් රැගෙන සහෝදර දෙමළ මිනිසා පොළවටම සමතලා කරන ලද මාසයක් ලෙස වෙසක් මස අදුරු කරන ලද්දේ අප නොවේ.

යුද්ධය, ප්‍රචණ්ඩත්වය, මරා දැමීම් වලින් කිසිදු ශාන්තියක්, හොදක් සිදු නොවන බවට වසර ගණනාවක්ම ලෝකය පුරාම උදාහරණ දී තිබියදී, දේශපාලන ප්‍රශ්ණයකට දකුණේ ආණ්ඩුව ලබා දුන්නේ යුද්ධයයි. මහා මිනිස් ඝාතනයයි. සමූහ ඝාතනයයි. ඇති වූ සෙතක් ඇත්තේ නැත. දෙමළ, සිංහල සහ මුස්ලිම් පමණක් නොව, ගැසූ ෂෙල් වෙඩි නිසා ගස්කොලන්ද කරටිය මුදුනෙන් බිමට පාත් විය. සතා සිව්පාවා සැගවීමට තැනක් සොයමින් අන්තිමට කුඩු පට්ටමි වී ගියේ ගුවනේ සිට අත්හරින ලද බෝම්බ නිසාය.

වේදනාවට පත් මිනිසුන් කෑ මොර දෙද්දී දකුණේ බොහෝ මිනිසුන් හිනාවෙවි කිරිබත් කා හැටි අයෙත් අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සියලුම දේ කළේ වෙසක් මස වීම ගැන අප පුදුම වන්නේද? කල්පනා කරන්නේද?…………………….

අවසන, මිනිස් කැබලි පමණක් ඉතිරි විය. අත් පා නැති මිනිසුන්ගේ විලාපය තවමත් උතුරින් ඇසෙයි. ඔවුන්ගේ ශරීරයෙන් ගලා ගිය රුධිරයෙන් තෙත් වූ පොළව මත අද ද බොහෝ දෙනා විනෝද ගමන් යන්නෙමු. ව්‍යසනයක්, අපරාධයක් මත විනෝද වන්නෙමු. අනෙකා මරා දමා, වසර 14ක් ගෙවෙමින් සිටියදී පවා ඒ වේදනාවන් මත විනෝද වන්නෙමු.

ඉදින් අපි බෞද්ධයෝ ද? අපි ඇත්තටම වෙසක්, පොසොනේ සමරන්නේ ද?

එතැනින් නොනැවතී ඉතිරි වූනු මිනිස් ආත්මයන් සුවපත් කරනවා වෙනුවට අපි ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් පවා කුඩු කර දමන්නට තැත්කරන්නේ නොවේද? උතුරේ මිනිසුන්ට අයිති ඉඩම්වල බලහත් කාරයෙන් බෞද්ධ යැයි කියා ගනිමින් ‘රජමහා විහාර’ යැයි නම් තබමින් පංසල් ගොඩනගමින් සිටියි. අවිහිංසාවාදී ආගමක සංඛේත බලහත්කාරයෙන්, සිය මිලිටරි බලය භාවිතා කරමින් දෙමළ ජනයාගේ නිජ භූමිය මත ස්ථාපිත කරමින් ඇත. ‘පොදු කටයුතු සදහා’ යැයි කියමින් හමුදා කදවුරු තවත් විශාල කිරීම සදහා පුද්ගලික ඉඩම් ලබා ගනිමින් සිටී. යුද්ධයෙන් වසර 14කට පසුත් උතුරේ ඉඩම්, නිවාසවල තවමත් හමුදාවෝ රැදී සිටී. ඒවාට විරුද්ධ වන දෙමළ පුරවැසියන් සිංහල පොලීසිය විසින් කුදලාගන යනු පෙනෙයි. කොහේ හෝ බෝ පැලයක් දුටු සැනින් බුදු පිලිමයක් තබා පහනක් දල්වන හමුදාව සත්‍ය ලෙසම බුදුන් සරණ යන්නේ නැත. ඔවුන් සිදු කරන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමයි. සාමකාමී විරෝධතාවයට තිබෙන අයිතිය පවා මේ මොහොතේත් උතුරේ දී හමුදාව සහ පොලීසිය විසින් මර්දනය කිරීමයි.

iMage: Dr. Thusiyan Nandakumar/ Twitter

අපි තවමත් ඇස් වසාගෙන පංසිල් පද පහ සෑම විටම සජ්ජායනා කරමින් සිටිමු. එළඹෙන පොසොන් දාට ද ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ යැයි ප්‍රාර්ථනා කරමු. එහෙත් ‘අපට අවශ්‍ය වන්නේ අපගේ දේශපාලන ඉල්ලීම් පමණයි. අපගේ අයිතිවාසිකම් පමණයි. ස්වයං තීරණයට ඇති අයිතිය අපගේ දේශපාලන අදහසකි’ යැයි දෙමළ මිනිසෙක් කිවූ පමණින් අවි අමෝරා ගනියි. පංසිල් කැලේට විසි කර මර්දනය අවියක් ලෙස භාවිතා කරයි.

තුන්පෝයටම සාදු කාර දී, දළදා කරඩුව, ශ්‍රී මහා බෝධිය ලග දිගාවී කුමන දේ කරත්, දකුණේ බොහෝ ජනයාගේ හිත් තවමත් යුදකාමීත්වයෙන් වර්ධනය වූ ඊනියා ජයග්‍රහණ මානසිකත්වයෙන් පිරී තිබේ. එබැවින් එවන් සමාජයක් යුද්ධයෙන් වසර 14ක් ඉක්ම ගියත් යනු ඇත්තේ, ඉදිරියට නොව, ආපස්සටය. අශිෂ්ඨ සමාජයක් වෙතය.

ඒ අශිෂ්ඨ සමාජයට නායකත්වය දෙන පාලකයින් සුදු ඇදගත් පලියට අවම වශයෙන් ‘මිනිසෙක්‘ වන්නේ වත් නැත.

එම නිසා අවම වශයෙන් යුද්ධයෙන් වසර 14කට පසුව වත් ලංකාවට අවශ්‍ය කරන්නේ යුක්තිය සහ නිදහස පිළිබද ගැඹුරු අදහසක් ඇති, ඒ වෙනුවෙන් වැඩ කළ හැකි විවිධත්වයට ගෞරව කරන ‘අයිතිවාසිකම්’ පදනමින් වැඩකළ හැකි පුරවැසියන්ය.

වසන්ත බංඩාර | Wasantha Bandara