iMage: Vikalpa

අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය මුල්කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් අගෝස්තු 30 දා සමූහ මිනි වළක සාක්ෂි හමුවීමෙන් පසු, කැනීම් සිදුකර දැනට පරීක්ෂණ සිදුකිරීම අතහැර දමා ඇති මන්නාරම සමූහ මිනිවල අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්, සිය ආදරණීයයන් පිළිබද කුමක් හෝ තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා දින 2385+කට වඩා උතුරු – නැගෙනහිර උපවාසයේ යෙදෙයි. 1980 ගණන්වල සිට 2009 සන්නද්ධ ගැටුම අවසන් වන විට 60,000 -100,000 අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇතැයි පැවසේ. නමුත්, මේ කිසිදු අතුරුදහන්වීමකට කිසිදු ආකාරයක ‘යුක්තියක්’ ලබා දීමට ශ්‍රි ලංකා රාජ්‍ය තවමත් අසමත් වී තිබේ.


“OMP එපා…”

මෙම විරෝධතාවයේ දී කැපීපෙනෙන පාඨයක් වූයේ ‘යුක්තිය නැති රටේ OMP එපා’ යන්න යි. එම අදහස පසුගිය වසර කිහිපය පුරාම උතුරු-නැගෙනහිර වින්දිතයන් විසින් පුන පුනා පවසන ලද්දේ, යුක්තිය සොයා යන කටුක සහ වේදනාබර දීර්ඝ ගමනේ ඔවුන්ට විදින්නට සිදු වූ, සිදුවෙමින් තිබෙන අත්දැකීම් ඇසුරින් බව ඔවුන්ගේ වේදනාබර හඩ අසන ඕනෑම අයෙක්ට තෙරෙන සත්‍යකි. එම සත්‍ය වටහා නොගෙන ලාංකීය රාජ්‍ය විසින් ස්ථාපිත කරන ඕනෑම යාන්ත්‍රණයක් බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන්ට ‘යුක්තිය’ ඉටු කරනු ඇතැයි සිතිය නොහැක.

ලංකාව තුළ 2017 දී එම ජාත්‍යන්තර දිනය සටහන් වන විට අතුරුදන්වූවන් සෙවීම සදහා ‘යහපාලන‘ ආණ්ඩුවේ යෝජනාවක් අනුව, 2016 අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ ය. ඒ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය(OMP) නමිනි. අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු සැපයීමටත් නිහඬතාව අවසන් කිරීමත් එහි අරමුණ බව සදහන් විය. නමුත් OMP කාර්යාලය පිහිටුවා මේ වන විට වසර 6කට වඩා ගත වී ඇති අතර ඔවුන් විසින් මේ දක්වා සිදුකලේ මොනවා දැයි සොයා බෑලීම ‘යුක්තිය’ පිළිබද අදහසින් මේ දෙස බලන පුරවැසියන් විසින් විමසිය යුතුම කරුණකි.

“මරණ සහතික එපා”

‘‘අද කතාවක් තියෙනවා අතුරුදහන් වූ අයට මරණ සහතික ලබා දෙන්න යනවා කියලා. මරණ සහතික කොහොමද අපි ලබා ගන්නේ. එයට හා කියනවා මිසක් මින්ස්සු කැමති නෑ අතුරුදහන් වූ අයට මරණ සහතික ගන්න. මිනිස්සු බය වෙනවා මරණ සහතික දීමේ වැඩ පිළිවෙල අතරතුර තමන්ගේ දරුවෝ ජීවතුන් අතර සිටියත් මරලා දාවිදැයි කියලා.”

(තවසරී – Killinochchi, Srilanka (Full Story: http://www.vikalpa.org/?p=29725)

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,’ උතුරු-නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද ද පවසයි.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මෙන්ම යුද වින්දිතයන්ගේ ප්‍රශ්ණය මේ රටේ ‘අභ්‍යන්තර යුක්තිය’ පිළිබද ප්‍රශ්ණයකි. එම ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම්, ආණ්ඩු විසින් ‘කතා කරන’ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අගයන් පසුගිය වසර ගණනාවේ මෙන්ම ‘හිස් වචන’ පමණක් වීම වැළැක්විය නොහැකිය. (සම්පත් සමරකෝන් – සංස්කාරක, විකල්ප වෙබ් අඩවිය)

පහත පළවන්නේ මන්නාරම හී දී පැවති විරෝධතාවයේ ඡායාරූප පෙළයි.