iMage: vikalpa.org

“මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා ඒවා ගිනි තියලා විනාශ කරලා, ගොවිතැන් කරන්න පටන් අරන් තියෙනවා. මේ වැඩ නිසාම අපේ ගවයින් 7000ක් විතර මේ වෙද්දී විනාශ වෙලා ගිහින්. අපේ කිරි ගවයින් තණකොළ කන බිම් තමා මෙයාලා මේ විදිහට බලහත්කාරයෙන් ගොවිතැන් කරන්නේ. මෙයාලාව මෙතැනින් අයින් කරලා දුන්නොත් අපිට අපේ ජීවිතය ගැටගහගෙන යන්න පුළුවන්. මේ වෙද්දී එයලා බීජ වපුරන්නත් පටන් අරන්. අපේ සතුන්ට කෑම දෙන්න එහෙට අරගෙන ගියොතින් හරකුන්ට වෙඩි තියනවා. කපනවා. අපිටත් පහර දෙනවා. මේ ගවයන් මත යැපෙන පවුල් 3000ක් ඉන්නවා. මේ පැත්තේ ගොවිපළවල් 980කට වැඩි ගාණක් තියෙනවා. අපි දවසකට කිරි ලීටර් 3000ක් මිල්කෝ සමාගමට දුන්නා. දැන් මාස පහක ඉඳන් කිරිත් නැහැ මොකුත් නැහැ. මයිලත්තමඩු මාදවනෙයි තණබිමේ සතුන්ට බොන්න තිබුණ වතුර ටිකත් දැන් නැති වෙලා. මඩකලපුව දිස්ත්‍රික් මායිමේ, මේ ඉඩම අපිට වෙන් කරලා දුන්නේ, දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යවරයා. මයිලත්තමඩු මාදවනෙයි තණ බිමෙන් අනවසරයෙන් වගා කරන අයව අයින් කරලා දුන්නොත් තමා අපේ ගවයින්ට කන්න දෙන්න පුළුවන් වෙන්නේ. හයවෙනි මාසේ 25 වෙනිදා ඉඳලා මේ වෙනකම් ගවයින් 15 දෙනෙකුට වෙඩි තියලා මැරුවා. මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියොතින් විස්තර අහනවා. නමුත් පියවරක් ගත්තේ නැහැ.” මයිලත්තමඩු මාදවනෙයි ගොවිජනසේවා කිරි ගොවි සංගමය – සී. නිමලන්

සත්ත්ව පාලනයේ ඉතිහාසයට වසර 60ක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලෙයි පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, කුඩිම්බිමෛයි ග්‍රාම නිළධාරි කොට්ඨාශය සහ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, ඊරනයිකුලම් ග්‍රාම නිළධාරි කොට්ඨාශය තුළ පිහිටි පෙරියමාතවනයි සහ මයිලත්තමඩු ප්‍රදේශයේ ගොවීන් විශාල ප්‍රමාණයක් සිය සත්ත්ව(එළකිරි) නිශ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ වසර 60ක පමණ කාලයක සිටය. ඒ එම ගොවීන් සිය ගවයන්ට අවශ්‍ය තණකොල ලබා ලැනීම සදහා නීත්‍යානුකූල වෙන් කරන ලද ප්‍රදේශයකය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මංත්‍රීන් විසින් කැදවනු ලැබූ රැස්වීමකදී ගනු ලැබූ තිරණයක් මත තමන්ට එම අයිතිය හිමිව ඇති බව එම ගොවීන් පවසයි.

ගවයන් 35000ක්

ඉහත ප්‍රදේශයන්ට අදාළව කෝරලෙයි පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට දෙකෙහිම, හෙක්ටයාර් 8242ක වපසරියක් තුළ කිරි ගවයින් 35000ක ප්‍රමාණයක් එම ගොවීන් විසින් නඩත්තු කරන බව පැවසේ.

කිරි ලීටර දහස් ගණනක්

චෙංගලඩි කොම්මන්තුරෙයි වන්දාරුමුලෙයි, මාවඩිවෙම්බු, චිත්තණ්ඩි, මුරුක්කොටන්වේනයි, වන්දිවෙල, කොරකල්මඩු, කිරාන්, කින්නයඩි, සහ කරුවාකේනි ගම්මානවල කිරි ගොවීන් 9000කට වැඩි ප්‍රමාණයක්, කුලී කම්කරුවන් 3000කට අධික පිරිසක් ද දෛනිකව 50000කට අධික ප්‍රමාණයක් මිල්කෝ සමාගම සහ කිරි ගොවීන්ගේ සමූපකාර සමිති හරහා බෙදා හරිමින් සිටි බවත් මේ වන විට ඇති වී ඇති උග්‍ර ගැටලුව හමුවේ ඒවාට බාධා එල්ලවි ඇති බවත් එම කිරි ගොවීන් පවසයි.

සිංහල ජනයාගේ අනවසර පදිංචිවීම්

ගොවීන් පවසන පරිදි ගවයින්ට වෙඩි තැබූ එක් පුද්ගලයෙක්
2011 වසරේ සිට විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරණගංවිල, දෙහිඅත්තකණ්ඩිය, පොළොන්නරුව වැනි ප්‍රදේශවලින් පැමිණි සිංහල ජනතාව විසින්, වසර 60කට වඩා සිය ගවයන්ව පෝෂණය කළ තණබිම් ඇතුලු ප්‍රදේශයන්ට ඇතුලු වී, එහි හේන් ගොවිතැන් සිදුකිරීමත්, කිරි ගොවීන්ගේ පශු සම්පත්වලට හානි සිදුකිරීමත් දිගින් දිගටම සිදුකරමින් සිටින බව මයිලත්තමඩු මාදවනෙයි ගොවිජනසේවා කිරි ගොවි සංගමය ප්‍රකාශ කර සිටියි.

කෙසේ නමුත්, 2016 දී මෙම ගැටලුව මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්තුමා වෙත දැනුම් දීමෙන් පසු එම අනවසර පදිංචිකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, ඉන්පසු ඔවුන්ට විශාල සහනයක් හිමි වූ බවය.

නැවතත් පරණ ප්‍රශ්ණයම උග්‍ර අතට ‘හරක්ට වෙඩි තියනවා, කසිප්පු පෙරනවා’

2016 දී සියලු රාජ්‍ය ආයතන මැදිහත් වී, අනවසර සිංහල ජනයා විසින් එතෙක් අනීතිකව සිදුකරනු ලැබු ක්‍රියාවන් නතර කර දැමූ නමුත්, නැවතත් එම ගැටලුවට මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් ට මුහුණ දීමට සිදුව තිබේ. ඔවුන් පවසන පරිදි, අම්පාර, පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශවල සිංහල ජනයා විසින්, කිරි ගොවීන් සිය ගවයන් පෝෂණය කරන තණ බිම්වලට බලහත්කාරයෙන් අතුලු වී ගවයින් සොරකම් කරන බවත්, ගවයන්ට වෙඩි තබන බවත් පවසන්නේ ඡායාරූප ඇතුලු සාක්ෂි සහිතවය. එසේම එම ගවයින් වෙසෙන තෘණ භූමි ආශ්‍රිතව කසිප්පු පෙරීම, කංසා වගාව වැනි නීති විරෝධී කටයුතු සිදුකරන බවත් ඔවුන් පවසන්නේ දැඩි වේදනාවකිනි. එම තත්ත්වය නිසා වනජීවි නිළධාරීන් සහ කිරී ගොවීන්ට විශාල අපහසුතාවයකට මෙන්ම ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් පවසයි.

කිසිදු පියවරක් ගෙන නෑ

මේ සියලු තත්ත්වයන් පොලීසිය, අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, වන සංරක්ෂණ නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් හමුවේ සාක්ෂි සහිතව පැමිණිලි කළ ද ඒ පිළිබද කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එම නිසා අනවසර සිංහල ජනයා විසින් සිය ජීවනෝපාය වන පශු සම්පත් නිශ්පාදන කටයුතුවලට දිගින් දිගටම බාධා එල්ල කරමින් බවත් ඔවුන් පවසයි.

ඔවුන්ගේ ඉල්ලීම

(-) 2009/06/08 දින මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යේෂඨ මිනින්දෝරු අධිකරි විසින් සකස්කළ KI/KRP/(S)/2010/100/101/102/104/152/153/154 අංක දරණ පිඹුරු පතට අදාළ ප්‍රදේශය තෘණ භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම,

(-) 2011.06.05 දින හෙක්ටයාර 28034ක භූමිය තෘණ භූමියක් ලෙස ප්‍රකාශයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීම අනුව, හෙක්ටයාර 15035ක් තෘණ භූමියක් ලෙස ලබා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයට පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වූ අතර එය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමත්,

(-) වෙනත් දිස්ත්‍රික්කවල වනජීවි, වන සංරක්ෂණ නිළධාරීන්ගේ මැදිහත්වීම්වලින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිළධාරීන්ට ස්වාධීන්ව කටයුතු කිරීමට අවශ්‍ය පහුසකම්, ඉඩප්‍රස්තාව ඇති කිරීමත්,

(-) මහවැලි අධිකාරිය සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් විසින් වසරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකර තිබෙන කොළඹ අභියාචනාධිකරණයේ CA(wrt)36/2021 අංක දරණ නඩුවේ 2022/07/21 දින එළඹුනු එකගතාවය ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කරගනිමින් ඉල්ලීම් 9ක් ඔවුන් විසින් බළධාරින්ට ඉදිරිපත් කරයි.

ඉල්ලීම් ඉටුවනතුරු සාමකාමී උපවාසයක

ඉහත ඉල්ලීම් ඇතුලු ඉල්ලීම් 9ක් ඉටුකර ගැනීම සදහා පසුගිය කාලය පුරාම වෙහෙසවුනු මයිලත්තමඩු මාදවනෙයි ගොවිජනසේවා කිරි ගොවි සංගමයේ කිරි ගොවීන් සිය ඉල්ලීම් කිසිවක් නොලැබුනු විටදී මෙන්ම එම ඉල්ලීමවලට කිසිදු ආකාරයක ඇහුම්කම් දීමක්වත් බළධාරීන් විසින්(අවම ලෙස) සිදුනොකර සිටිම තුළ, සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා සාමකාමී උපවාසයක් මඩකලපුව-නුවර මාර්ගය අසළ දී මීට දවස් 21කකට පෙර ආරම්භ කළේය.

“අපි අවුරුදු 60කට වඩා මේ රස්සාව කරන්නේ. අපේ පවුල් ඔක්කොම ජීවත් වෙන්නේ මේකෙන්. ඒක නිසා අපි ඉල්ලා තියන ඉල්ලීම් දෙනකං අපි මේ උපවාසය අවසන් කරන්නේ නෑ”

කිරි ගොවීන් පවසයි.

ඝාතනය කළ ගවයෙක් අසල කම්පාවට පත්ව සිටින ගොවියෙක්