මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට මුහුණ පෑමට සිදු වූ බරපතල හිංසනීය සිදුවීමක් එම ලිවීමට පාදක වී තිබිණි. ඔහු විසින් ලියා තිබූ සම්පූර්ණ සටහන පහතින් කියවමු!

“ඊයේ දිනයේදී පොලීසිය විසින් මා ලිංගික හිංසනයට පත් කරනු ලැබීය.

ඊයේ රාත්‍රියේ මම ව්‍යාපාරික සාකච්ඡාවක් අවසන් කර කැළණිය නගරයේ ඇති මගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිනෙමින් සිටියෙමි. නගරයට පිවිසෙන ටයර් සංස්ථා පාරේ එමින් සිටිය දී මා පැමිනි ත්‍රීරෝද රථය එකවරම පොලිසිය විසින් නැවැත්වීමට අණ කළේය. රියදුරා රථය නවත්වා, ඉන් බැස ගොස් පොලීසියට කතා කරන අතරතුර පොලිස් නිලධාරියෙකු ත්‍රීරෝද රථය තුළට බෙල්ල දිගු කර “කොහෙද යන්නෙ?” කියා මගෙන් විමසීය. මම යන්නේ කොහේද යන වග මගේ පෞද්ගලික කරුණකි. මා කොහේගියත් ඒ පිළිබඳව විමසීමට පොලීසියට අයිතියක් නැත. ඒ පොලීසිය මගේ කසාද බිරිද නොවන නිසා ය. ඒ පිළිබඳ කේන්තිය මුසු හැගීමකින් මම “ගෙදර” කියා ඉවත බලා ගතෙමි. “ගෙදර කොහෙද?” මගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නිලධාරියා නැවත විමසීය. “ඇයි අහන්නෙ?” ඒ වන විට මල පැන ගෙන එමින් සිටි මගේ ප්‍රතිචාරයයි.

ඔව්… මා සිටියේ වෙරි මතිනි. මම පැමිනෙමින් සිටියේ හිතමිතුරු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අරුණ ජයවර්ධන සමග වොඩ්කා බෝතලකට වග කීමෙන් අනතුරුව ය. එහෙත් මම “චණ්ඩියා බඩේ” තාලයේ එකෙකු නොවන වගට මා ගැන දන්නා එවුන් ගතු කියනු ඇත. සිදුවන ප්‍රමාදය පිළිබද නුරුස්නාව මිස “ගේම ඉල්ලීමට” අවශ්‍යතාවයක් මට නොවීය.

“බහිනවා වාහනෙන් එළියට” නිලධරයා ආවේගශීලී ව අණ කළේය. “මොකටද?” මම හරිබරි ගැසෙමින් ඇසුවේ ය. තවත් පොලීසියේ හතර පස් දෙනෙක් වට විය. “අපිට තමුන්ව චෙක් කරන්න ඕනෙ. බහිනවා වාහනෙන් එළියට.” තරු කාරයෙක් නැවත අණ කළේ ය. “මොන පදනමෙන් ද මාව චෙක් කරන්නෙ?” මම නැවත විමසීමි. “ගේන්න හෑන්ඩ් කෆ්, මෙයාව දාගන්න ඇතුලට.” මම වාහනයෙන් එළියට බැස “මොනවද මගෙ චෙක් කරන්න තියෙන්නෙ?” යැයි නැවත ඇසුවෙමි. අකියාට පාසැලේ ෆෲට් සැලඩ් සෑදීම ඉගැන්වීමට ගෙන එන්න යැයි කිවූ අන්නාසි ගෙඩියක්, අඹ ගෙඩියක්, මිදි කිහිපයක් සහිත මල්ල පොලිස්සියේ අණ සකට යටත් විය. “කලිසම ගලවනවා” තරු පන්තියේ බූරුවා එක වරම විධානය කළේ ය. “මොකටද?” මම නැවත විමසීමි. “අපිට චෙක් කරන්න ඕනෙ.” “ඒ කියන්නෙ මහ පාරක් මැද මිනිහෙක්ගෙ කලිසම ගලවන්න ඔයාලට පුළුවන් ද?”

“මෙයාව දාගන්න ජීප් එකට” නැවත තර්ජනය කිරීම් ඇරඹුනි. මම කලිසම පාත් කළෙමි. “අන්ඩ වෙයාර් එක ගලවලා, ඇට දෙක උස්සලා පෙන්නවා.”

මේ මිනිසෙක් ඉදිරියේ ශ්‍රී ලංකා පොලීසිය ‘විනයානුකූලව’ සහ ‘මානව හිමිකම්’ ‘ගෞරවය’ ‘පෞද්ගලිකත්වය’ ඇතුලු සියල්ල ආරක්ෂා කරමින් හැසිරී ඇති එක් ආකාරය යි.

“අන්ඩ වෙයාර් එක ගලවලා, ඇට දෙක උස්සලා පෙන්නවා.” පොලීසියේ මේ අශීලාචාර මුග්ධ හැසිරීම පොලීසියේ අශීලාචාරත්වයේ, මුග්ධ බවට එක් උදාහරණයක් පමණි.

පොලීසිය වැනි නීතිය ආරක්ෂා කිරීමට ගොඩනග ලද ආයතනයකින්, පුරවැසියන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ දීම කොතරම් බිහිසුණු තත්ත්වයක් ද යන්න අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ලංකාවේ පුරවැසියන්ට සිදුවන්නේ ඇයි? පොලිස් නිළධාරීන් මෙවැනි ඉතාමත් අශීලාචාර, ත්‍රාඩ හැසිරීම් පෙන්වන්නේ ඇයි? ආදී ප්‍රශ්ණ පිළිබද ලාංකීය පුරවැසියන් විසින් මෙයට වඩා සැලකිය යුතු නොවෙන්නේද?

කෙටියෙන් සාකච්ඡා කළහොත්, පොලීසියේ මෙවැනි හැසිරීම්වලට දිගු ඉතිහාසයක් තිබේ. උතුරේ ඇති වූ නැගිටීම් මෙන්ම දකුණේ ඇති වූ නැගිටීම් මර්දනය කිරීම සදහා, පැවති ආණ්ඩු විසින් හමුදාවට බලයක් දුන්නේ ද, එයට සැලකියයුතු සමාන බලයක් පොලීසියට ලබා දුන් බව රහසක් නොවේ. එහි දිගුවක් ලෙස පොලීසිය දෙපාර්තමේන්තුවක් වුව ද, එම පොලීසිය යටතේම වූ විශේෂ එක්කයක් වන ‘පොලිස් විශේෂ කාර්ය බලකාය’ ද බිහි වීම එක් උදාහරණයකි.(එය ඇති කිරීම සහ ඇති කිරීම පිළිබදව වෙනම සාකච්ඡා කළ යුතුය) පැවති සියලු ආණ්ඩු විසින් උතුරේ ද දකුණේ ද වූ නැගිටීම් මර්දනය කිරීම සදහා අඩු වැඩි වශයෙන් පොලීසිය ඇතුලු ත්‍රිවිධ හමුදාව යොදා ගත්තේය. නමුත්, හමුදා බලය පොලීසියට නිත්‍යානුකුලව ලබා නොදුන්න ද එම වකවානුවල පොලීසිය හැසිරුනේද තමන්ට ‘පොලිස් නීතියට’ ඉහළින් යම් බලයක් ඇති ලෙසය.‍

‘කොහේද යන්නේ…?’ වැනි ප්‍රශ්නයන් පොලීසිය විසින් අද ද අසන්නේ එබැවිනි. (ඒ අපගේ ඉතිහාසයේ වැඩා කාලයක් පොලීසිය විසින් මහමග දී මිනිසුන් පරීක්ෂාවේදී, ඔවුන් දෙස බැලුවේ ‘ත්‍රස්තවාදියෙක්’ ‘කැරළිකාරයෙක්’ හෝ එවැනි පූර්ව නිගමනයකිනි. ‘කොහේද යන්නෙ?’ ‘කොහේද ගියේ?’ ‘මොනවද කරන්නේ?’ ආදී ප්‍රශ්ණය අද ද ඔවුන් අසන්නේ ඒ අතීතයේ අශිෂ්ට පුරුද්ද නිසාය. පොලිස් නිළධාරියෙක් විසින් ‘කොහේද යන්නේ?’ කියා පුරවැසියෙක්ගෙන් ඇසීම ප්‍රශ්නකාරී තත්ත්වයකි. නමුත්, පොලිස් නිළාධාරියෙක්ට ඕනෑම පුරවැසියෙක්ගේ අනන්‍යතාවය පරික්ෂා කිරීමට අයිතියක් ඇත. අනන්‍යතාවය පරික්ෂා කිරීම සදහා පිළිගත් සහ වලංගු හැදුනුම්පතක් ඉල්ලා සිටීම පසෙකින් තබා, ඔවුන් විසින් සෑම විටම පාහේ සිදුකරන්නේ ‘කොහේද යන්නේ?’ කියා ඇතැම් විට තර්ජනාත්මක භාෂාවෙන් විමසීමය. මෙය පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් නොවන්නේද? මෙලෙස පොලිස් නිළධාරියෙක්ට තමන්ට නීතියෙන් පැවරී ඇති නිතිමය සීමාව ඉක්මවා යමින් පුරවැසියන් පීඩාවට සහ හිංසනයට පත් කිරීමේ ඉතිහාසගත අශිෂ්ට පුරුද්ද තවමත් පවත්වාගෙන යාම ඉහත කසුන් චන්ද්‍රනාත් පතිරණ විසින් ලියා ඇති සිය අත්දැකීමෙන් මොනවට පැහැදිලි වෙයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 3වන පරිච්ඡේදයේ, 2වන ව්‍යවස්ථාවේ මෙසේ සදහන් වේ. ‘කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුමකට යටත් නොකළ යුත්තේය.’ ‍

එසේම මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ වගන්ති කිහිපයකම පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය, ගෞරවය ආදී ජීවිතයට අත්‍යවශ්‍ය අයිතිවාසිකම් ගණනාවක් සාකච්ඡා කර ඇත. එහි 05වන වගන්තියේ මෙසේ දැක්වෙයි. ‘කිසිම කෙනෙකු වධයට, කුරිරු ආමාණුෂික දඩුවමකට, හෝ හිරිහැරයකට හෝ එවැනි නින්දාවකට හෝ පත්කරනු නොලැබිය යුතුය’

‘කිසිම කෙනෛකුගේ පෞද්ගලික ජීවිතය, පවුල, නිවස, ලියුම් ගනුදෙනු සම්බන්ධයෙන් ඇගිලි ගැසීම් හෝ ගෞරවයට, කීර්තියට හානි කිරීම හෝ නොකළ යුතුය. එබදු මැදිහත්වීම්වලට එරෙහිව නිතීයේ ආරක්ෂාව ලැබීමේ අයිතිය සෑම කෙනකුටම ඇත’ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ, 12වන වගන්තියේ දැක්වෙයි.

පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටත ට ගන්නේ ඇයි?

මෙම පාලන ක්‍රමවේදය තුළම ගැටලුවක් තිබේ. පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවකිනි. ත්‍රිවිධ හමුදාව පාලනය වන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙනි. මෙම දෙවර්ගයට අයත් වන්නේ විෂයන් දෙකකි. නමුත් පසුගිය වසර කිහිපය පුරාම අපිට දැක ගත හැකි වූයේ ලංකාව පාලනය කළ බොහෝ ආණ්ඩු, පොලීසිය, ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට දරණු ලබන උත්සහයන්ය. මේ තුළ ව්‍යංගයෙන් සහ සෘජුවම කියැවෙන බොහෝ දේ තිබේ. නමුත් ඒ පිළිබද සාකච්ඡා කිරීමට ඉදිරියේදි බලාපොරොත්තුවෙමින් මේ පිළිබදව පාර්ලිමේන්තු මංත්‍රී එරාන් ප්‍රනාන්දු දැක්වූ අදහසක් පහත දක්වමි. “පොලිසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතෙන් ඉවත් නොකර ඉන් ස්වාධීන සේවාවක් බලාපොරොත්තු විය නොහැකියි. එමෙන්ම, පොලීසියේ විනය විරෝධී කටයුතු වලට එරෙහිව නඩු පැවරීම සදහා ස්වාධීන නඩු පවරන්නෙක් පත්කළ යුතුයි.” ( 2013 June 26, කොළඹ, මරදාන CSR ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකදී)

ශ්‍රී ලංකා පොලීසිය සහ මානව හිමිකම්

මෙවැනි ආකාරයේ පොලිස් හිංසනයන්, වධ හිංසාවන් පිළිබද මාධ්‍ය තුළ වාර්තාවීම අවම මට්ටමක තිබුණත් ලංකාව තුළ නිරන්තරයෙන් මෙවැනි තත්ත්වයන්වලට මුහුණ දීමට ලාංකීය මිනිසුන්ට සිදුවීම නොරහසකි. එය ‘කොහේද යන්නේ? යන ප්‍රශ්නයේ සිට ‘කලිසම ගැලවීමේ’ සිට ‘ආයුද පෙන්වීමට යැයි සැකකරුවන් රැගෙන ගොස් සැකකරුවන්ගේ ජීවිත පවා අහිමි වීමේ ඉතිහාසයක් අපට තිබේ. පොලිස් ස්ථානයක් තුළට නිරුපද්‍රිතව යන පුද්ගලයෙක් පසුව පසුව මුණ ගැසෙන්නෙ රෝහලක විය හැකිය. එවැනි විවිධාකර අවදානම් තව දුරටත් මේ නීතිය රකිනවා යැයි කියන ආයතනය තුළ තිබේ. ( ජෙරාඩ් ප්‍රනාන්දු සම්බන්ධයෙන් වූ නඩුව එක් උදාහරණයක් ලෙස ගත හැකිය. ජෙරාඩ්, 2002 දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, පසුව නිදහස් කළත්, 2004 නොවැම්බර් 22 දා බස් රථයක් තුළදී ඔහුව ඝාතනයට ලක්වෙයි.)

පොලීසිය මෙසේ හැසිරෙන්නේ, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ‘මිනිසුන්ට ඇති’ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ගැන හෝ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ අකුරක්වත් නොදැන නොවේ. අවම තරමින් මෙසේ හිතන්න. මහපාරක, ප්‍රසිද්ධ ස්ථානයක ‘කලිසම ගලවා’, ‘ලිංගේන්ද්‍රය උස්සන්න’ කියන්න තරම් අශිෂ්ට ලෙසින් මේ පොලීසිය හැසිරෙන්නේ ඇයි? මෙය එක් පැත්තකින් පසුගිය වසර ගණනාව පුරාම ලාංකීය භුමිය තුළ ‘මිනිස් ගෞරවය’ යන්නට නිසි වටිනාකමක්, තත්ත්වයක් අභ්‍යාස කිරීම වෙනුවට සිදුකරන ලද්දේ ඝාතනය, අතුරුදහන් කිරීම්, වේදනාව, හිංසනය, පීඩාව ඇතුලු මිනිස් ජීවිතය ගැඹුරු ආගාධයකට ඇද දමන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වයන් වෙනුවෙන් සියලු පාලකයන් සිය පාලනය මෙහෙයවීමය. එහි බියකරු ප්‍රථිපලයක් ලෙස ‘වරදකර දඩුවම් නොළඹා සිටීමේ සංස්කෘතිය’ හෙවත් ‘දණ්ඩමුක්තිය’ පැවතීමත්, එම දණ්ඩමුක්තිය පැවතීමට අවශ්‍ය සියලු සාධක වෙනුවෙන් බොහෝ පාලකයන් සිය පාලනය ගෙන යාම අද ද පවතින අදුරු, බියකරු තත්ත්වයකි. මේ නිසා ඕනෑම අපාරධයක් සිදුකර නීතියෙන් බේරී නිදහසේ සිටීමට හැකියාවක් ඇති බව මේ නිළ හිංසකයින් මෙන්ම අනිකුත් අපරාධකරුවනුත් හොදින් දනී. එබැවින් පොලීසිය ද හැසිරෙන්නේ ඊට නොදෙවෙනි තත්ත්වයක ටය. ඔවුන්ට ද පුරවැසියාගේ ගෞරවය හෝ පෞද්ගලිකත්වයට ඇති අයිතිය වැදගත් වන්නේ නැත. එම නිසා ඔවුන් ඉදිරියටත් පුරවැසියන්ගේ කලිසම ගැලවීමට මැලිකමක් නොදක්වනු ඇත. එසේ වුවත් ඔවුන් නොදන්නා කාරණයක් වන්නේ, ඒසේ සිදුකරන සෑම මොහොතකම එසේ කලිසම ගැලවීමට අණකරන නිළධාරීයාගේ කලිසමත්, ඔහු නියෝජනය කරන පොලිස් දෙපාර්තමේන්තුවේ කලිසමත්, අවසන ‘දණ්ඩමුක්තිය ට’ රිසි ලෙස වැඩෙන්නට හරින රාජ්‍යයේ කලිසම(තිබේ නම්) එය ද නැවත නැවතත් ගැලවන බවය.