හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව් කර යම්කිසි ”අධිෂ්ඨාන පූජාවක්” ආරම්භ කරන්නට ය. මිට මොලොවා ගත හැකි සිය හදවතේ තරමට වඩා දස දහස් ගුණයක් විශාල, ගැඹුරු, පපු කැණිති තුළ දරා සිටී ස්වයං දැනීම හැඟීම පමණක් නොව, විලාපය ද කෝවිල මධ්‍යයයේ කන්දසාමි දෙවි ස්වාමින් දෝතට භාර දී ඔවුහූ අධිෂ්ඨාන පූජාවක් කළෝය.

මවගේ දෙතණෙන් මෝදුව ආ කිරි පොවා, අප්පාගේ දෑතේ සවියෙන් උස්මහත්කොට සමාජ ගත කළ උන් යළි දකිනා තුරා, උන් ගැන දැනගන්නා තුරා ආපසු නොයන්නෙමු යැයි ඔවුනොවුන් ම ගිවිස ගත්හ. කෝවිල භූමියේ පසෙක තාවකාලික කූඩාරමක ඒ අධිෂ්ඨානයේ නිහඬ ගමන ආරම්භ කළහ.

වසර 07ක අන්ධභාවය

ඒ ගිවිසුමට, එළඹෙන 20 දාට(හෙට) හරියට ම වසර 07කි. ඒ සා මහත් වූ දීර්ඝ කාලයක් ගතව යන තුරු, ජාතිය ආගම භාෂාව කුමක් වුවත්, හැගීම් දැනීම් ඇති එක සමානව හුස්ම ඉහල පහල දමන, කුසගින්න පිපාසය සහ දුක වේදනාව සමව දැනෙන මිනිසුන් මේ ලක් පොළොව මත ජීවත් නොවුණි ද? මෛත්‍රීය – කරුණාව, දයා ප්‍රේමය – යුක්තිය, සාධාරණත්වය, ශාන්තිය ගැන හරවත්, සුමධුර – මධුර දෙසුම් මුදාහරින ප්‍රධාන ආගම් හතරක පූජක, පැවදි පාර්ශවයන් මේ ලක් පොළොව මත ජීවත් නොවුණි ද? මනුෂ්‍යත්වය කෙරෙහි සරළම හෝ සංවේදීතාවක් ඇති ගැහැණුන් පිරිමින් කණ්ඩායම් මේ ලක් පොළොව මත ජීවත් නොවුණි ද? කොටින් ම, ඇස් කන් ඇති අපි මේ ලක් පොළොව මත ජීවත් නොවුණි ද?

පිළිතුර සරළය ! ඔව්, ඇත්තෙන් ම අපි ජීවත් වී නැත!

සංවේදී හදවත් ඇති, බුද්ධිමත් නොව, ප්‍රඥාවක් ඇති මිනිසුන් සේ අපි මේ පුංවි වර්ග සැතපුම් 25,330 තුළ ජීවත් වී නැත. එසේ ජීවත් වුයේ නම්, 2017 පෙබරවාරි 20වෙනි දා කන්දසාමි කෝවිල භූමියේ සිට උතුරු නැගෙනහිර අම්මලා ආරම්භ කළ යුක්තිය ඉල්ලා සිටීමේ විරෝධතාව නොදුටුවේ ඇයි? වසරක් නොව, දෙකක් නොව, පහක් නොව, වසර 7ක් තිස්සේ ලීලාවති, සරෝජා, භාරතී, බාලේෂ්වරි, කලාරංජනී යනාදි වශයෙන් දහස් ගණනක් උතුරේ – නැගෙනහිර අම්මලාගේ ද, ගනේෂන් , මාධවන්, තවශීලන් , ෂන්මුගනාදන් අප්පලාගේ යුක්තිය ඉල්ලා සිටීමේ එකම තනුව නොඇසුණේ ඇයි?

ට්‍රිප් මිස හදවතේ ගමනක් නොවෙයි

2009 මැයි මාසයේ දී දෙපාර්ශවය අතර අවි ගැටුම නැවතුනාට පසුව, එල්ටීටීඊ ය ට කොටුවුණු අහිංසක දෙමළ ජනතාව බේරාගැනීමේ මානූෂීක මෙහෙයුම යැයි නම් කළ මෙහෙයුම අවසන් වූවාට පසුව, අවි හුවමාරුවෙන් උතුර ජයගෙන දකුණේ අපිට ඒ9 මාර්ගය විවෘත වූවාට පසුව, අති බහුතරයක් දකුණේ ජනතාව ඒ9 මාර්ගය හරහා ”යාල්පානම් බලන්නට” උතුරට ගියා මිස, දශක ගණනාවක් සස්ශ්‍රීකව ජීවිත ගතකර එහෙත්, යුද්ධය නිසා ඒ සියල්ල අහිමි වුණු උතුරේ සහෝදර ”දෙමළාට මොකද වුණේ” කියා බලන්නට ගියේ නැත.

යුධ සමයේදී සහ ඉන් පසුවත් රාජ්‍ය හමුදාව විසින් අත්පත් කරගෙන මහජන ප්‍රදර්ශනයට විවෘත කරනු ලැබූ, යුද්ධය පැවතී සමයේ දී මෙන් ම සටන් විරාමයකදී පවා හොර රහසේම එල්ටීටීඊ සාමාජීකයින් විසින් තැණූ සුවිසල් මන්දීර, බංකර, කාර්යාල, සබ්මැරීන්, මෙන් ම අක්කර ගණන් මිදි කෙසෙල් අඹ වගාවන් නැරඹීමට ඉස්පාසුවක් නැතිව ගියා මිස, සුළු අවි – බර අවි හුවමාරුවේදී සහ මල්ටි බැරල් , රොකට් ලෝන්චර් නිවාස බංකර් කඩ සාප්පු රෝහල්, දේවස්ථාන, වීථි මත පතිතව බාල මහළු, දුප්පත් පොහොසත්, තරාතිරම් නොබලා සුණුවිසුණුව ගිය, අබ්බගාත වූණු ඒ දහස් ගණනක් ජීවිත දෙස විවර වුණු මනසකින් බලන්නට ගියේ නැත. ඇත්තෙන් ම දකුණෙන් උතුරට ගියේ බහුතරය ට්‍රිප් ය. එවිට උතුරින් දුටුවේ දකුණෙන් චාරිකා එන වුන් හට කන්නට බොන්නට දැමූ ජන බොජුන් හල් සහ කඩිනමින් පිළිසකර කරන ගොඩනැගිලි මංමාවත් සහ පාලම් බෝක්කු මිස, වහ වහා පුනරුත්ථාපනය කළ යුතු, සිය ගණනක් ආනාථ කඳවුරුවල සිරවුණු යුද්ධය විසින් විනාශ කර තිබුණූ ලක්‍ෂ ගණනක් ”බහුතරය දෙමළ ජීවිත” නොවේය.

නොදුටු අට්ටාල සහ කඳුළු බිඳු

එසේ වූ කළ, වසර 07ක් පුරාවට වව්නියාව, කිළිනොච්චිය පසුකර ගෙන ඒ9 මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී, වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ අට්ටාලයේ සහ කිළිනොච්චිය කන්දසාමි කෝවිල භූමියේ ප්‍රධාන මාර්ගය අසළ කූඩාරමේ හිඳිමින් ”අපේ දරුවන්, අපේ ස්වාමිපුරුෂයින්, අපේ ඥාතීන් කෝ” යැයි නිහඬ උද්ඝෝෂණයක නිරත වුණූ උතුරේ – නැගෙනහිර අම්මලා තාත්තලා ගේ විලාපයේ හඬ ඇසේවී ද?

රජයේ හමුදාවෙන් ලද ඉල්ලීමට අනුව, හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව පුනරුත්ථාපනය සඳහා තමන් විසින් ම භාර වූ වැඩිහිටි ගැහැණු පිරිමි සහ දෙමාපියන් විසින් ම ඔවුන්ගේම දෑතින් හමුදා මුරපොලවලට භාරදුන් සිය ළමා තරුණ වැඩිහිටි පුතුන් දියණියන් කෝ? යන ප්‍රශ්නය තවමත් ”තිත්ත නිරුත්තර ප්‍රශ්නයක්” ව පවතීයි.

“කැලේට දර කඩන්න ගිය, මාලූ අල්ලන් ගිය දරුවෝ අතුරුදහන් වෙලා කියන්නේ අලි ගහලා, කොටියා කාලා, මූදේ ගිහිං කියන්නකෝ. ඒත් පුතේ අපි ම ගිහිං හමුදා මුරපොලවලට භාරදුන්න අපේ දරුවෝ කෝ කියලනේ මේ අහන්නේ? තවත් අයගේ මහත්තුරු, තවත් අයගේ සහෝදර සහෝදරියෝ, කෝ ඒගොල්ලො?” යනුවෙන් තර්ක විතර්ක අවශ්‍ය නැති, ඉතාම සරළ, පැහැදිළි ප්‍රශ්නයක් අප වෙත තැබුවේ උතුරු-නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කළවූවන් සෙවීමේ අරගලයේ යෙදී සිටින, කිලිනොච්චිය කාර්යාලයට රැස්ව සිටී දෙමාපිය පිරිසෙන් 74 වියැති ෂන්මුගම්පිල්ලෙයි තාත්තාය. ඔහු අසළ ම පැදුරේ වාඩිගෙන සිටියේ ඔහුගේ භාර්යාව, 64 වියැති සරෝජා ෂන්මුගම්පිල්ලෙයි ය. මේ වන විට වයස අවුරුදු 47ක් ව සිටිය යුතු වූ, 2016 මැයි මාසේ 16දා වට්ටුවාක්කල් හමුදා මුරපොලට භාරදුන් සිය වැඩිමහල් පුතුණුවන් වූ සින්ධනම් චෙල්වම් පිළිබඳව අද වන තුරු කිසිදු තොරතුරක් නොමැතිවීම, මානසිකව සහ ශාරීරිකව ඔවුන් අන්තයටම පත්කර ඇති බව මනාව පිළිඹිබු විය.

ලංකාවේ දීර්ඝතම අරගලය

ලංකාව තුළ වරින් වර විවිධ අරගලයන් පැවතිය ද, මානුෂීය හේතුවක් පදනම් කරගනිමින් දීර්ඝ කාලයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින එකම අරගලය මෙකී උතුරු-නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කළවූවන් සෙවීමේ මව්වරුන්ගේ අරගලය යි. “අපි අසන සාධාරණ ප්‍රශ්නයට පිළිතුරු නොදී මෙච්චර දීර්ඝ කාලසීමාවක් අපිව මේ ආකාරයෙන් පීඩාවට, පීඩනයට පත්කිරීම සාධාරණ ද?” යැයි ඔවුන් ප්‍රශ්න කළහ.

අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පොලීසිය තමන්ගේ පැමිණිළි භාරගෙන නැති අවස්ථා පිළිබඳව බහුතරයක් ඇසුණි. හමුදාවට පොලීසියට භාරදුන් / භාරවුණූ තම දරුවන්, ඥාතීන් පිළිබඳව තොරුතුරු නොඇසෙන විට යාහැකි සියලු අනාථ කඳවුරු, පුනරුත්ථාපන කඳවුරු, රතු කුරුස සංවිධානය, මානව හිමිකම් සංවිධාන, OMP කාර්යාලය යනාදි ස්ථාන රැසකට ගොස් අතුරුදහන්කර ඇති සිය ඥාතීන් පිළිබඳව සොයා බලා ඇත. කොමිසම් සභා 12කට පැමිණිළි 4704ක් භාරදී ඇත. පිළිතුරු නොලැබෙන ලංකාව තුළ සිදුකරන කිසිම යාන්ත්‍රණයක් පිළිබඳව විශ්වාසයක් නොමැති හෙයින් ජීනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තෙක් ඔවුන්ගේ අවනඩුව ගෙනගොස් ඇති අතර ජාත්‍යන්තර මැදිහත්වීමක් පමණක් අපේක්‍ෂාකරන බව දෙමාපියන් ප්‍රකාශ කළහ.

හමුදාවට පොලීසියට භාරදුන්/භාර වූණූ තරුණ තරුණියන් වැඩිහිටියන් 16000 ක් පුනරුත්ථාපනයකර යළි හමුදාවට ම භාර දී ඇති බව රතුකුරුස සංවිධානයෙන් තමන්ට දැනගන්නට ලැබුණ බවත්, ඉන් 12000ක් දෙනා සමාජගත කර ඇති බව හමුදාවෙන් තමන්ට ප්‍රකාශකර ඇති බවත් සඳහන් කළ මෙම දෙමාපියන්, ඉතිරි 4000 කොහේ සිටින්නේ දැයි විමසති. ඔවුන් සතු දත්තවලට අනුව, එල්ටීටීඊ සංවිධානය හා සම්බන්ධව සිටියවුන් දරු පවුල් පිටින් ම පවුල් 30 ක්, ඕමන්තේ හමුදා මුරපොලට භාර වී ඇත. “තාත්තලා, ආයුධ දැරුවා.. නමුත් දරුවෝ ආයුධ දැරුවේ නැහැ. ඒත් අද කෝ ඒ දරුවෝ වත් ? අපේ වේදනාවේ, ප්‍රශ්නයේ ගැඹුර තවම කාටවත් හරිහැටි නොතේරෙන්නේ ඇයි? අපි ඉල්ලා සිටින යුක්තිය ලංකාවේ ආණ්ඩුවෙන් නොදෙන්නේ ඇයි ?” යන දැවැන්ත උභතෝකෝටික ප්‍රශ්නය තුළ ඔවුන් අතරමංව ජීවත්වන බව 2024 ජනවාරි 31 වෙනිදා නීතිය හා සමාජ භාරය ආයතනය (LST) සමග ඔවුන් හමුවූ අප වෙත මා පියන් ප්‍රකාශ කළහ.

ඔවුන්ගේ මේ ප්‍රශ්න කිරීම නීති විරෝධී යැයි යමෙකුට පැවසිය හැකි ද?, ඔවුන්ගේ දරුවෝ විශේෂයෙන් ම ඔවුන් ම භාරදුන්න සහ ඔවුන් විහින් ම භාර වුණා යැයි කියන ඒ සත්‍යය කිසිදාක අසත්‍යයක් හෝ හිතලුවක් යැයි කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැක. මන්ද, වසර 07ක් පුරාවට “යුක්තිය පමණක් ඉල්ලා” අත්නොහල මේ අරගලයේ ඔවුන් රැඳී සිටින්නේ ඊට අදාළ සාක්‍ෂි සටහන් සමගින්ය. ඒ යුක්තියේ අරගලය වෙනුවෙන් මහ මගට බැස හෙට, එනම් 2024 පෙබරවාරි 20 වෙනිදාට වසර 07ක් සම්පූර්ණ කරනු ලබයි.

මා අයත් සිංහල සමාජය විසින් හරිහැටි වටහාගන්නට උත්සාහා නොකරන ඒ මහා දරාගැනීම මෙතෙකැයි කිසිසේත්ම කිව නොහැකිවා මෙන් ම ඔවුන්ගේ ඒ නොපෙනෙන විලාපය, අපේ කාලයේ මහා දරුණු ඛේදවාචකයකි….!! මානූෂිය ගනුදෙණුවලදී වගකිව යුතු පාර්ශවයන් විසින් රකින “මූසල මුණිවත” උතුරු-නැගෙනහිරට පමණක් නොව දකුණට ද දැන් සමාන ය. අපට හෘදසාක්‍ෂියක් තිබේද?

මෙලනි මානෙල් පෙරේරා | Melani Manuel Perera[Special Thanks LST