iMage: vikalpa.org/ May 18, 2024/ Mullivaikkal

“අපි දවස් හයක් හැංගිලා හිටපු බංකරෙන් එළියට ඇවිත් සෑහෙන දුරක් දුවගෙන ආවේ වළයාමඩම් පල්ලියට යන්න පල්ලියේ දි අපිට අනතුරක් වෙන එකක් නැහැ කියලා අප්පා කිව්වා. ඒත් පල්ලිය පෙනෙන තෙක් මානයේ දී දුවගෙන එන අපව ෂෙල් වරුසාවකට කොටු වුණා. ඒක හරියට මගේ අම්මවයි, අක්කවයි, තම්බිවයි තවත් අපේ නෑයෝ දෙතුන් දෙනෙක්වයි ගෙනියන්න ම ආව මාරයෙක් වුණා. අපේ ඇස් පනාපිට ම මගේ අම්මව කෑලි කෑලිවලට ගියා. ලොකු තුවාල එක්ක අක්කගෙත් තම්බිගෙත් පණ පොද යන්න ගියා. ඒ ෂෙල් වරුසාව මැද්දේ අහකට දුවලා අපේ පණ බේරගන්නවාද? නැතිනම් සී සීකඩ ගිය අම්මාගේ කෑලි අහුලමින් අපිත් ජීවිත පූජා කරනවා ද කියලා හිත පුපුරන්න ගියා. කරගන්න දෙයක් නැතිවුණු, අකාරුණීක සිතුවිල්ල ගැන තාමත් අප්පයි මමයි කම්පා වෙනවා”

යැයි උමා සරෝජිනිගේ දුබල ස්වරයේ සොවින්, කැඩුණු සිංහලෙන් මා හට පහදා දුන්නාය.

දින ගණනාවක් තිස්සේ වෙඩි උණ්ඩවලින් ලද දෙපාවල තුවාලවලට බෙහෙත් නොමැතිව, සිය මුත්‍රාවලින් සුවකර ගැනීමට උත්සාහා කළ ද සුව නොවූ තුවාල සහිත එක් පාදයක් සියතින් ම කපා විසිකර කකුල් කොටය ඇඳ සිටි කිළිටි සරම ඉරා ගැට ගසාගත් පවුලේ සාමාජීකයින් සියල්ල අහිමි වීමෙන් දැඩි කම්පාවට පත්ව සිටි සෙල්වරාසා තාත්තා, අවසන් යුද්ධයට මුහුණ දුන් එවැනි මිනිසුන් සිය ගණනක් නියෝජනය කළේය.

මේ ළය පැලෙන දුක දැනෙන සිද්ධීන්, වසර 30ක් පුරා ඇදුණු සිවිල් යුද්ධය ඉවරයක් කරන්න කියා රජයේ හමුදාව විසින් දියත් කරනු ලැබූ අවි ගැටුමේ අවසන් දිනවල දී, මැයි මාසයේ දී මෙහෙයවනු ලැබූ “මානූෂීය මෙහෙයුමේ” අංශුවක තරම්වූ සිදුවීම්ය. මැයි 18 යනු මීටත් වඩා අතිශය කුරිරු, දරුණු ඝනයේ ජීවිත අහිමි වීම් සහ අහිමිකරවීම් රාශියක් සිදුවී හමාර වූ ඓතිහාසික දවසකි.

අවි ගැටුම මානූෂීය වූවා ද?

එකී යුද්ධය, මැයි 18 සහ ඒ අවට දිනයන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මානූෂීය වූවා නම් එහි ශේෂය ද මානූෂීය විය යුතුව තිබුණි. දෙපාර්ශවය අතර දරුණුවට ඇවිල ගිය අවසන් අවි ගැටීම්, යුධ කලාපයෙන් යුධ මුක්ත කලාපයට පැමිණෙන්නට ගරිල්ලා සටන්කරුවන් සහ රජයේ සටන්කරුවන් අතර කොටුව සිටි දහස් ගණනක් නිරායුධ දෙමළ වැසියන්ට බල කෙරිණි. ශබ්ද විකාශන යන්ත්‍ර හරහා රජයේ හමුදාවන් මුදාහළ පණිවුඩයේ වුයේ “සටන් නවතා ඇති අතර දිවි ගලවා ගැනීම සඳහා “No Fire Zone” වෙත වහා පැමිණෙන්න” යන ආරාධනයයි.

ආරාධනාව විශ්වාසකොට නිරායුධ දෙමළ වැසියන් යුධ මුක්ත කලාපයට පැමිණිට ද, තවත් සමහරෙක් යුධ මුක්ත කලාපයට පැමිණියේ නැත. අවසන් බස් එකෙන් ගමන්ගත් යාපනය ශාන්ත පැට්ට්‍රික් විදුහලේ හිටපු විදුහල්පති ප්‍රැන්සිස් ජෝශප් පියතුමා ඇතුළු පිරිස ද අද වන තුරු ආපසු පැමිණියේ නැත. ඔවුන්ට කුමක් සිදුවුණි දැයි නිශ්චිත වශයෙන් ම දන්නේ රජයේ හමුදාව පමණි. මන්ද, ඒ වන විට රජයේ හමුදාව විසින් එල්ටීටීඊ බලය නතුකරගෙන තිබුණු නිසාය.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයට අනුව,(Amnesty International) දෙපිරිස අතර යුද ගැටුමේ අවසන් මාසවල දී මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානූෂීය නීතිය උල්ලංඝණය කිරීම් උච්චතම අවස්ථාවට පැමිණ තිබුණි. විශේෂයෙන් 2009 මැයි මාසයේදී අවතැන් වූ සිවිල් වැසියන් 300,000 ක් පමණ සටන්කරන පාර්ශව අතර සිරවී සිටියහ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලිවෛක්කාල් ගම්මානයේදී රජයේ හමුදාව සහ එල්ටීටීඊ ය අතර අවසන් ප්‍රහාරයන් සිදු වූ අතර, එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව අවම වශයෙන් සිවිල් වැසියන් 40,000 ක් පමණ මිය ගියහ.
[https://www.amnesty.org/en/latest/news/2024/05/sri-lanka-fifteen-years-after-the-end-of-war-victims-still-await-justice-at-mullivaikkal/]

“ස්මරණයට” මෙතරම් බිය ඇයි?

සෑම වසරකම මැයි 18 වන දින අවසාන සටන් දියත් වූ මුල්ලිවෛක්කාල් හී දී යුද්ධයෙන් විපතට පත් යුද වින්දිත දෙමළ ජනතාව දහස් ගණනක් එක් රැස්වී යුද්ධය නිසා තමන්ට අහිමි වූ දහස් ගණන් සිය ඥාතීන් සිහිපත් කිරීමත්, ඔවුන් වෙනුවෙන් යුක්තිය, සාධාරණය සහ වගවීම ඉල්ලා සිටීමත් සිදුකරනු ලබයි. යුද්ධය අවසාන දින කිහිපය ඔවුන් කංජි(කැද) පමණක් පානය කරමින් විඳි දුක් පීඩා සිහිපත් කිරීම සඳහා සිහිකිරීමේ පූර්වාරම්භය සතියකට පෙර සිට ම දෙමළ ජනතාව ආරම්භ කරන අතර, එය උතුරු නැගෙනහිර පළාත්වල දී කණ්ඩායම් වශයෙන් සිදුකරනු ලබයි. මහා පරිමාණයෙන් නොවූව ද කිතුනු ආගමික සහ සිවිල් සංවිධාන මට්ටමින් ඒකරාශී වී කොළඹ දී ද සෑම වසරක දී ම මෙම සිහිකිරීම කරනු ලබනමුත් උතුරු නැගෙනහිර ඇතුළුව කිසිඳු ස්ථානයකදී මෙම ස්මරණය මිය ගිය සහ මරා දැමූ ජීවිතවලට ගෞරවයක් සහිතව නිදහසේ සිදුකරන්නට ඉඩක් නොලැබෙයි.

පොලීසිය සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත්කර අධිකරණ නියෝග උස්සාගෙන පැමිණ පොලිස් තග දමන අතර, සිංහල බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් ජාතිවාදී කණ්ඩායම් සිය කෲරත්වය සහ අමනුස්සකම් ප්‍රදර්ශනය කරමින් මියගිය ඥාතීන් සිහිකිරීම දේශද්‍රෝහී, ඩොලර්වලට කඩේ යන ඩයස්පෝරාවේ හිතවතුන් බවට හංවඩු ගසමින් ස්මරණය කිරීම කඩාකප්පල් කිරීමට උත්සහ කරයි.

මේ වසරේ මැයි 18 සැමරුමට ඉතා නින්දිත ආකාරයේ විරෝධතා මතු වුයේ මැයි 11 – 12 යන දිනවල සිටම මුල්ලිවෛක්කාල් කංජී සෑඳීම හා බෙදා දීම තහනම් කරවමින්ය. දැන්වීම් නොතකා, මැයි 12 වෙනි දා ත්‍රීකුණාමලය සාම්පූර් හී කෝවිලක දී කංජී සෑදීමට මූලිකත්වය ගත් කාන්තාවන් තිදෙනෙකු ගේ නිවෙස්වලට රාත්‍රීයේ දී පොලීසියෙන් ගොස් දරුණු වධ හිංසා පමුණුවා ඔවුන් අත්තඩංගුවට ගැනීම, යුද්ධයේ දී මියගිය ඥාතීන් සිහිකිරීම කෙරෙහි ආණ්ඩුවෙන් එල්ල වන විරෝධතාවයේ, මර්ධනයේ උච්චතම අවස්ථාවක් විය. https://twitter.com/i/status/1789718162935558402

එමෙන් ම, මැයි 18 වනදා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් දෙමළ ජන සංහාරය සිහිපත් කිරීම සඳහා සංවිධානය කර සිහිපත් කරමින් සිටින අවස්ථාවට පොලිස් නිළධාරීන් කඩාපැන එක් පොලිස් නිළධාරියෙකු විසින් සිදුකළ අමානූෂීක සහ නින්දිත ක්‍රියාව කෙබඳූද යන්න දැක්වීමට ගැලපෙන වචන, වාක්‍ය නොමැත. එය එතරම් ම දරුණු ඝනයේ පහත් අධම වෛරී ක්‍රියාවකි. https://twitter.com/i/status/1791749382276014361

“ස්මරණය ලොප්කර” වෛරී ආකල්පවලට දළුලන්නට දෙනවාද?

මිය ගිය ඥාතියා කවුරු හෝ වුවද සාමකාමී තත්ත්වයක් තුළ ස්මරණය කිරීමට ඇති ස්වාධීන අයිතිය එසේ කප්පාදු කළ හැක්කේ කෙසේද? එවන් ප්‍රචණ්ඩ නීතීයක් අප රටේ ව්‍යවස්ථාවේ ඇත්තේ කිනම් වගන්තියේ ද? එසේ ඇත්තේ නම් අප ජීවත්වන්නේ මෛත්‍රී ගුණ උතුරා යන දර්ශනයක් ගැන කථා කියන ප්‍රජාතන්ත්‍රවාදී උතුම් බෞද්ධ රටක ද?

තවමත් යුද්ධයේ දරුණු ප්‍රතිඵල භුක්ති විඳමින් සුසුම්ලන දෙමළ ජනතාව වෙත අවම වශයෙන් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් නිදහසේ සමරන්නට නොදී එල්ලකරන මේ දරුණු පීඩාව සම්බන්ධයෙන් සිංහල, මුස්ලිම්, බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික නායකයින් විද්වතුන් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකරන්නන් කිහිප දෙනෙකුගේ අදහස් විමසූ විට ඔවුන් සියලුම දෙනාගේ එකම හඬ වූයේ මලක් පහනක් පුදා ජීවිත කාලයක් තුළ එකට ජීවත් වුණු මිය ගිය සිය ඥාතියා සිහිපත් කිරීමෙන් සමාජයට හෝ යම්කිසි පුද්ගලයෙකු හට සිදුවන අවැඩක් හෝ විනාශකාරි දරුණු බලපෑමක් තිබේද? මෙම සිහිකිරීම සාමාන්‍ය කාරණාවක් බවත් කිසිම බලපෑමකින් තොරව එය එසේ සිහිකරන්නට අවශ්‍ය පසුබිම අප විසින් සකසා දිය යුතුය යන්න ඔවුන්ගේ අදහස විය.

අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය කල්ප රාජපක්‍ෂ කියා සිටියේ – “මෙය අපි ඉතා ගැඹූරින් තේරුම්ගත යුතු තත්ත්වයක්. අපි දකිනවා මේ සංසිද්ධිය නිසා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නැවත නැවත සිදුවෙමින් තිබෙනවා. එකක් තමයි සිංහල බෞද්ධ ජාතිකවාදීන් විසින් අපට කියන, දෙමළාට දෙමළ වීම නිසා විශේෂ ප්‍රශ්නයක් නැහැ කියන කාරණය නැවත, වතාවක් සංස්ථාපිතය විසින් අර්ථවත් කරනවා. ඒ නිසා අපි මේ මොහොතේ ඇසිය යුතු ප්‍රශ්නය තමයි “දෙමළාට දෙමළ වීම නිසා පමණක් නොව, දෙමළාට මනුෂ්‍යයෙකු වීම නිසා පවතින ප්‍රශ්න මොනවාද කියන කාරණයයි. ඒ මතකයන් පිළිබඳ ප්‍රශ්නයයි”

“දෙවන කාරණය තමයි, ජාතිකවාදී දේශපාලනය උතුරේත් දකුණේත් නැවත වටයකින් තීව්‍රරවීම සඳහා, නැවත වටයකින් ඔවුන්ගේ දේශපාලනයේ තිබෙන සීමාකම්, දේශපාලනයේ තිබෙන ඉම, සටහන් කිරීමට මෙම ප්‍රශ්නය තීරණාත්මකව බලපානවා. ඒ නිසා මම හිතන්නේ මෙම ජාතික ප්‍රශ්නය නැවත වටයකින් ඉතාම ප්‍රගතිශීලි, ජනතාවාදී, පන්තිමය අර්ථයෙන් බැලුවොත්, පීඩිතයාගේ පැත්තේ සිට මේ ප්‍රශ්නය තේරුම් ගැනීමේත්, පෙනී සිටීමෙත් අවකාශය අපට අහිමිවෙලා තිබෙනවා. මේ පවතින වාතාවරණය ඇතුළේ අපි දකින ප්‍රධාන කාරණයක් තමයි, කිසිම වැඩක් නැති යැයි අපි සිතන දේවල් මේ මතක දේශපාලනය ඇතුළේ බොහෝම වැදගත් තීරණාත්මක සාධක බවට පත්වෙලා තිබෙනවා. ඉදිරියටත් ඒ කාරණය ඒ විදිහටම සිද්ධවීමට නියමිතයි” යනුවෙන් ආචාර්ය කල්ප රාජපක්‍ෂ පැහැදිළි කළේය.

“දෙපාර්ශවයේ ම සටන්කරුවන් දෙපාර්ශවයටම විරුවන්. නමුත් මේ සිවිල් යුද්ධය නිසා විශාල වශයෙන් පීඩාවට වේදනාවට පත්වුණේ සාමාන්‍ය ජනතාව. දෙපැත්තේ ම මිනිස්සු ජීවිතක්‍ෂයට පත්වුණා. දෙමළ මිනිස්සු දරුවෝ විශාල වශයෙන් ජීවිතක්‍ෂයට පත්වීම ගැන අපට දුකක් වේදනාවක් තිබෙනවා. ඒ නිසා, යුද්ධය නිසා ජීවිත අහිමි වෙච්ච තමන්ගේ ඥාතීන්ව මලක් පහනක් තියලා සිහිපත් කරන එක කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙවෙයි. ඒ ස්මරණය කිරීම තුළ මම කිසිම වැරැද්දක් දකින්නේ නැහැ. ඔවුන්ට අපි ඒ අවස්ථාව සළසා දෙන්න ඕනේ. රජයක් හැටියටත් ඒ අයිතිය ඒ අයට ලබාදෙන්න ඕනේ. නැත්නම් හරිම අසාධාරණයි-” යනුවෙන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහනුවර දිස්ත්‍රික් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි යටවත්තේ, පූජ්‍ය ධම්මානන්ධ හිමි ය.

1983 දී ජූලියේ දී ප්‍රචණ්ඩත්වය මුදාහැරීම, එහි ව්‍යාප්තිය සහ ඉන් ඇතිවුණු විනාශය? කොතෙක් ජීවිත හා දේපොල නැති වුණා ද? වසර 30ක් තුළ මිනිස්සුන්ටත් රටටත් අයිති වුණේ අහිමිවීම් මිස ලැබීමක්, ඉතිරියක් නොවන බව පෙන්වා දුන් මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සභාපති, කේ. ආර්. ඒ. සිද්ධික් හඡ්ඡියාර්, අපේ රටේ අද පවතින තත්ත්වය ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් බවත්, යුද්ධය නිසා පෞද්ගලිකව තමන්ගේ ව්‍යාපාර සියල්ලක් කඩාවැටීමේ අයහපත් ප්‍රතිඵල තවමත් තමන්ගේ ජීවිතවලට දැඩිව බලපාන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“එවැනි විනාශයක්, එවැනි පසුබිමක් මොනම හේතුවක් නිසාවත් නැවතත් අපේ රටට අවශ්‍ය නැහැ. ඒ නිසා ඥාතීන් සිහිකරන්න, ඒ සාම්ප්‍රදායික කැඳ සාදා බෙදාගන්න ඒ අයට සම්පූර්ණ නිදහස ලබාදෙන්න ඕනේ. මොකද, අපි කවුරුත් මිය ගියාම සිහි කිරීම් ඉතා ඉහළින් අපි ඉටුකරනවා. නැත්නම් ඒක අපිට අඩුපාඩුවක්. ඒ නිසා මේ දෙමළ ජනතාවගේ ඒ සිහිකිරීම එයාලට අවශ්‍ය විධියට කරගන්න ඉඩදීමේ කිසිම වැරැද්දක් මම දකින්නේ නැහැ”

මිය ගිය ඥාතීන් සිහිපත් කිරීමෙන් කාගේ මොනවා ක්‍ෂය වී යනවාද යන්න සිතීම පවා විහිළු සහගත සිතුවිල්ලක් වන අතර, මළවුන් සිහිකිරීම නැවත නැවත සිදුකළ යුත්තක් බවත් හැඩීම, වැළපීම, සිහිපත් කිරීම, මලක්-පහනක් තැබීම තුළින් අහිමි වූ ජීවිත පිළිබඳව සිය ඥාතියා තුළ පවතින දරාගත නොහැකි දුක-වේදනාව සමනය කරගැනීමට නැතිනම් තමන්ව සුවපත් කරගැනීමට පිටුවහලක් ලැබෙන දීර්ඝ කාලීන සුවපත් වීමේ ක්‍රියාවලියක් බවත් මානව හිමිකම් ක්‍රියාධරයෙකු මෙන් ම කුරුණෑගල, ඇංග්ලිකන් දියෝකීසියේ කුමාර ඉලංගසිංහ හිටපු රදගුරු හිමි අදහස් දක්වමින් පවසා සිටියේය.

“ජේසුස්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජන අවස්ථාවේදී ගෝලයින්ට කථාකරලා කිව්වා “මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න” කියලා. නැවත, නැවත ඒ සිහිපත් කිරීම සිදුකරන්න කියලා තමා කිව්වේ. ඒ නිසා මේ මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම අතවශ්‍යය කාරණාවක්. තමන්ගේ පවුල්වල ජීවිත අහිමි වුණු ඒ සියලු ඥාතීන් අවුරුදු පතා සිහිකරලා ඔවුන්ගේ ජීවිත ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම අපේ සිරිතක්. කිතුනුවන් විධියට අපි අනිවාර්යයෙන් සිදුකළ යුතු දෙයක්. එසේ කිරීම ශු.බයිබලය තුළින් සහ ක්‍රිස්තුස් වහන්සේත් අපට මතක්කර දී තිබෙනවා. කිතුනුවන් හැටියට ඒක අපේ අයිතියක් සහ එය සිදුකරන්නට අපට නිදහස තිබිය යුතුයි”

“රජයේ පාර්ශවයෙන් සෑම වසරකදීම යුද්ධයට සහභාගී වූ හා යුද්ධයේ දී මිය ගිය සොල්දාදුවන් අගය කරමින්, රණවිරුවන් සේ උත්සවශ්‍රීයෙන් සමරනවා නම් එවැනි ම වූ නිදහසකින් සහ පසුබිමකින් යුතුව සාමාන්‍ය ජනතාවටත් සිය ඥාතීන් සැමරීමේ අවස්ථාව ලබාදෙන්න රජය මැළිවෙන්නේ ඇයි යන්න විශාල ප්‍රශ්නයක් යැයි සඳහන් කළ රදගුරු හිමිපාණන් සාමාන්‍ය ජනතාවගේ සුවය පිණිස සහ සාමාන්‍ය ජනතාවගේ වේදනාව තුනී කර ගැනිම පිණිස මේ සිහිකිරීමේ අවස්ථාව බාධකයකින් තොරව ලබාදීමට කටයුතු සැලසිය යුතු යැයි කීවේය. එසේ නොකරන්නේ නම් එය අප ඔවුන්ට කරන විශාල අසාධාරණයක්. එහෙම උනොත් ඒ අය සදාකාලිකව දුක් විඳිමින් ජීවත් වේවි”

“ඉතිහාසය තුළ මෑතක් වන තුරු ම පොපි මල් සැරසිළි සමගින් දෙවන ලෝක සංග්‍රාමයේ හා පළමු ලෝක සංග්‍රාමයේ පුද්ගලයින් සිහි කිරීමේ දේව මෙහෙයක් සෑම දේවස්ථානයක ම නොවැම්බර් මාසයේදී අපි පැවැත්වුවා. ලෝකයේ කොහේවත් සිදුවූණු දෙයක් එවැනි ගාම්භීරයකින් පවත්වන්නට පුළුවනි නම්, ඇයි අපේ ම රටේ දුක් විඳපු මේ ජනතාවගේ නැති වූ ඥාතීන් සිහිකරන්න දෙන්න බැරි? සුව වීමේ හා සුව කිරීමේ කොටසක් වන මේ සිහිකිරීම් සඳහා අවශ්‍ය වටපිටාව අපි සකස්කර දිය යුතුයි කියා මා අවධාරණය කරන්න කැමතියි”

යනුවෙන් රදගුරු කුමාර ඉලංගසිංහ හිමි තවදුරටත් පැවසීය.

“ලංකාවේ තමයි යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම මෙච්චර මර්ධනයට ලක්වෙලා, නීති විරෝධි ක්‍රියාවක් බවට පත්වෙලා තියෙන්නේ. නමුත් රුවන්ඩාව කියන්නේ 1994 වසරේ දී විශාල ජන සංහාරයක් සිදුකළ රටක්. නමුත් 1995 දී බලයට පත්වුණු රුවන්ඩා නව ආණ්ඩුව, රට තුළ ජන සංහාරයක් සිදුවුණු බවට පිළි අරගෙන ජාතික වශයෙන් මිය ගිය පුද්ගලයින් සිහිකරන්න පියවර ගත්තා. ඝාතනයට ලක් වූ සියලුම දෙනා රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි ස්මරණය කරන්න කටයුතු කළේ” යනුවෙන් අදහස් දක්වමින් අධ්‍යාපනඥයෙක් මෙන් ම සමාජ ක්‍රියාකාරිණියක් වූ දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය පෙන්වා දුන්නාය.

අපේ පාලකයින් සංවේදී නැත් ද? බුද්ධිමත් නැත් ද?

රාජ්‍ය පාලකයින් හට සැබෑ උවමනාවක් ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව පෙන්වා දුන් දීපා පැවිදි සොයුරිය, රුවන්ඩාව තුළ යළිත් එවැනි අමානුෂීක සිදුවීම් ඇතිනොවන්නට අවශ්‍ය පසුබිම සකස්කරමින් යුද්ධය පිළිබඳව පාසැල් ඉගැන්වීම් සඳහා පාසැල් පෙළපොත් වලට ඇතුලත් කල බවත් යුධ වින්දිතයින් වෙත සුව වීමේ බොහෝ ක්‍රියාමාර්ගයන් හඳූන්වා දුන් බවත් කීවාය.

එමෙන්ම, මෑතකදී සිදුකළ අධ්‍යන චාරිකාවකදී නෝර්වේ රටේහී “ඔටෝවා” දිවයින ගිම්හාන කඳවුරකට සහභාගී වෙමින් සිටිය දී ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඝාතනය වූ තරුණ තරුණියන් 77 දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉතා ගෞරවාන්විතව ස්මරණය කිරීම සඳහා වෙන්කර ඇති සුවිශේෂනීය ආකාරය සියැසින් ම දැක ගන්නට හැකිවූ බව ද පැවසීය. ඊට අමතරව විවිධ මානසික පීඩාවන්ට මුහුණ දෙන, ව්‍යාකූලත්වයට පත්වෙච්ච ව්‍යාධි වලින් පසුවන පුද්ගලයින් හට ඒ පීඩාවලින් එතෙර වන්නට සහ මානසික සුවයක් ලබාගන්නට හැකි ස්ථානයක් බවටත් එම දිවයින පත්කර ඇති බව දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අන්තර්ජාතිකව මෙවැනි අවස්ථාවන් පුරවැසියන් හට උරුමකර දී ඇතත්, බහු ආගමික බහු ජාතික බහු සංස්කෘතික අලංකාරයක් පවතින ශ්‍රී ලංකාව ඒ බහුත්වවාදයේ සොඳුරුතම ආස්වාදය විඳගන්නට තරම් පරිණත වී නැතිවීම සුළුපටු නොවන අපරාධයකි. යුද්ධය අවසාන වී වසර 15ක් ම ගෙවී ගොස් ඇතත් යුද්ධයෙන් නෙළාදුන් ප්‍රචණ්ඩ ම්ලේච්ජ අකාරුණීක අස්වැන්න දෙස බලාවත් හැදෙන්නට රුචියක් නොදක්වන “දකුණ රජකරන ජාතිකවාදි බලය” තව කොතෙක් කල් මුග්ධ ලෙස රඟපානු ඇත්ද? උතුරු නැගෙනහිර දෙමළා පෙලු / පෙලමින් සිටින සෑම ප්‍රශ්නයකටම සාධාරණ විසඳුමක් ලබානොදෙන තාක්කල්, දෙමළා මුල සිට ම අසාධාරණයට තල්ලුකර දැමූ දෙමළා ලෙසට ද, සිංහලයා, දෙමළාව මර්ධනය කරන, පාලනය කරන, බලය පාන සිංහයා ලෙසට ද අසමගියෙන්, වෛරයෙන් වෙන් ව ජීවත් වනු ඇත.

තත්ත්වය කඩිනම්ව වෙනස්විය යුතුමය. නැතහොත් සියල්ල අහිමි වි ගොස් සිටින විට, ඔවුන් දරාගෙන සිටින බොහෝ දේ ගැන කථාකරන, හිමිව ඇති එකම දේ වන “මැයි 18 අහිංසක ස්මරණයද” අහිමි කළහොත්, නැවත කිසිවක් මේ පොළොව මත සිදුනොවනු ඇතැයි කාට කිව හැකිද? අපි සංහිඳියාවෙන් පෙරට ගමන් කරමුද? නැතහොත් ම්ලේච්ජත්වයෙන් ආපස්සට ගමන් කරමුද?

සටහන සහ පිංතූර: මෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera
ස්තූතිය- INTERNEWS