iMage: Generate by GenAI
යොවුන් වියේ පසු වූ දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව පසුව මිය යාම සම්බන්දයෙන් පසුගිය දින 2ක තුළ බරපතල සාකච්ඡාවක් සමාජය තුළින් පැණ නැගිණි. විශේෂයෙන් ෆේස්බුක් ප්‍රධාන කරගත් සමාජ මාධ්‍ය වේදිකාවන්වල මෙම සාකච්ඡා, තර්ත විතර්ක, අදහස්, විවේචන ඇතුලු විවිධ අන්තර්ගතයන් වේගයෙන් ගලා ගියේ ය. අනෙකුත් මාධ්‍ය අවකාශද මේ පිළිබද වාර්තා කර තිබිණි. දේශපාලනික මෙන්ම (අ)දේශපාලනික අදහස් ද, අශ්ලීල අදහස් ද, හේදීමේ න්‍යායන්වල සිට දෝෂාරෝපන තත්ත්වයන් ඇතුලු විවිද අකාරයේ අන්තර්ගතයන් දැකගත හැකි වූ අතර එය තදබල උණුසුමක් මෙන්ම ඇතැම් විට කම්පනීය තත්ත්වයක්ද නිර්මාණය කළේය.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වූ එම තත්ත්වයෙටන් පසුව ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අගමැතිණි හරිනි අමරසූරිය විසින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රී පුද්ගල කමිටුවක් පත්කරන ලදී. එහිදී, සිසුවියගේ සිද්ධිය විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොලිස් විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා විය. එයින් නොනැවතුනු ආණ්ඩුව විසින්, දරුවන්ට සිදුවන අපරාධ වැළක්වීම වෙනුවෙන් බහුආංශික යාන්ත්‍රණයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවත් වාර්තා විය.
කෙසේ නමුත් පාසලක් තුළදී ලිංගික අපයෝජනයට ලක්ව, පසුව ඇය ඉගෙන ගනිමින් සිටි පාසලෙන් ඉවත් කිරීමට බලපෑම් සිදු වී ඇතැයි පැවසෙන තත්ත්වයක් සහ පසුව ඇය සහභාගී වූ ටියුෂන් පංතියේදී ද තදබල පීඩනයට ලක්වෙමින් සිටි ඇය පසුව සිය දිවි හානිකර ගැනීමේන් පසුව වුව ද ආණ්ඩුව මෙවැනි අකාරයේ හෝ ක්‍රියාවළියකට එළඹිම යහපත් ප්‍රවණතාවයකි.
නමුත් මේ ගනිමින් ඇති ක්‍රියාවලියට වන විට අදාළ වින්දිත දැරිය මිය ගොසිනි. ඇය ලිංගික අපයෝජනයේ සිට මේ ගනිමින් ඇති ක්‍රියාමාර්ගවලට අවම මාස 5ක් ගත වී ඇත. බරපතල ඛේදනීයම තත්ත්වය නම් දැරිය මිය යාමත් එම මරණයට දැන් වගකියන්නේ කවුරුන්ද යන්නත්ය.
ළමා කටයුතු බාර අමාත්‍ය සරෝජා පෝල්රාජ්
ආසන්න වශයෙන් මාස 5කට පසු මෙම අපරාධය පිළිබද සමාජය ගිණියම් වූයේ පසුගිය 8වනදා දැරියගේ ඥාතීන් ඇතුලු සමීපතමයින් පාරට බැස සිය දැඩි විරෝධය එල්ල කිරීමෙන් පසුවය. එපමණක් ද නොවේ ලංකා ගුරු සංගමය ඇතුලු සංවිධාන මේ පිළිබද හෙළිදරව් කරමින් තිබීමත්, ඉන් පසු පාර්ලිමේන්තුවේ මේ පිළිබද ඇති වූ සංවාදයත්, එයින් පසු වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීමත් සහ වගකීවීමක් අවශ්‍ය බවට වන හඩවල් තීව්‍ර විය.
එපමණක් ද නොව, ලිංගික අපයෝජනයෙන් පසු කිසිදු පිළිසරණක් නොමැති වූ දැරිය සිය දිවි හානි කරගැනීමෙන් පසු, ඒ සා විශාල දැඩි කම්පනයකින් සිටින දෙමාපියන්ට “පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලුවා” “පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුව ද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ.” වැනි කතාවක් ළමා කටයුතු පිළිබද ඇමතිවරිය පාර්ලිමේන්තුවේ දී පැවසීමත්, “අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ඇති බවත්” යැයි අමාත්‍යවරිය විසින් පැවසීමත් තත්ත්වය උග්‍ර අතට පෙරළුනි. මේ ඉතාමත් පිළිකුල් සහගත, වගකීමකින් තොරව සිදුකරන ලද ප්‍රකාශය මේ පිළිබද ඇවිළෙමින් තිබූ මහජන අප්‍රසාදය තවත් තීව්‍ර කළේය. මේ කියමන විසින් සමාජය තළ දැඩි කම්පනයක් හටගත් අතර ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවල ඇයට සහ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල විය.
මේ පිළිබද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරන නීතිඥ වසන්ත සිරි වටගොඩ මෙසේ ලියා ඇත.
“දරුවෙක්ට අතවරයක් හෝ වෙනත් පීඩාවක් ගැන පොලිසියට පැමිණිල්ලක් කරන එක, ඒ දරුවම හෝ දරුවගේ දෙමව්පියන්ම කල යුතුයි කියලා නීතියක් නෑ.
ඕනෑම කෙනෙක්ට පැමිණිලි කරන්ඩ පුලුවං.
ඒම වෙන්නේ සෑම ළමයෙක්ගේම ස්ථිර භාරකාරයා රජය ( අධිකරනය ) වන නිසා.
එවැන්නක් ගැන දැනුවත්, ඒත් දරුවාට සම්බන්ධයක් හෝ දරුවා ගැන සෘජු වගකීමක් නොදරන සාමාන්‍ය පුරවැසියෙක්, එවැනි පැමිනිල්ලක් නොකලා කියලා ඔහුට එරෙහිව පියවරක් ගත නොහැකියි.
නමුත් එවන්නක් ගැන දැනුවත්, දරුවාගේ භාරකාරිත්වයක් දරණ දෙමව්පියන්, ඥාතීන් හෝ ගුරුවරයෙක්, ළමා නිවාසයක පාලිකාවක් වැනි අයෙක් ඒ ගැන පොලිසියට දැනුම් දීමක් නොකරන්නේනම්, එවැනි අපරාධයකට ආධාර හා අනුබල දීම හෝ අපරාධයක් වසන් කිරීමට උත්සහා කිරීම යන චෝදනා යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක්”
ඇමතිවරියගේ කතාව හි පරිවර්තනයේ දෝෂ සහ මාධ්‍ය
ඇමතිවරිය පාර්ලිමේන්තුවේ සිදුකළ කතාව විකෘති කර මාධ්‍ය තුළ පළ කළ බව නැගෙන ප්‍රධාන චෝදනාවකි.
ඉහතින් උපුටා දක්වන ලද්දේ ඇමතිවරියගේ Facebook (May 9)හී තිබූ අදහස්වල කොටසකි. (එයට අදාළ සම්පූර්ණ කොටස මෙන්න – “පසුගිය 5 වන දින අදාල සිසුවියගේ දෙමාපියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලුවද දැනට දින 4ක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නෑ.”
ඒ වගේම අද (08) මෙම උද්ඝෝෂණ අවස්ථාවේදීත් උද්ඝෝෂකයන් පෙත්සමක් භාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ. හෙට හෝ අනිද්දා ඒ සම්බන්ධයෙන් මා හමුවන බව ඔවුන් පවසා සිටියා” Screenshot/ facebbok
මේ තිබෙන්නේ ඇයගේ වචන වන අතර ඇමතිවරිය විසින් පළ කරන ලද සම්පූර්ණ අදහස Screenshot ඉහතින් දක්වා ඇත. නමුත් තවමත් ඇමතිවරිය සිදුකරන ලද ප්‍රකාශයේ කිසිදු ආකාරයක සහකම්පනීය තත්ත්වයක් නොමැති බවත් අවබෝධකර ගෙන නැති සේයකි. (අවම වශයෙන් ඇමතිවරිය විසින් ප්‍රකාශ කළ “…ඒ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමේදී අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ඇති බවත්..” කරුණ පිළිබදවවත් ඇය මේ වන තුරුත් නිහඩය.)
මෙවැනි අති සංවේදී තොරතුරු මාධ්‍ය විසින් විකෘති කර පළකර ඇත්නම්,
මෙවැනි අති සංවේදී තොරුතුරු කිසියම් මාධ්‍යක් විසින් විකෘති කර පළකර ඇත්නම්, සමාජ වගකීමක් ඇති ආණ්ඩුවක් විසින් සිදුකල යුතු කළ යුතු දේවල් ගණනාවක් තිබේ. සමාජ මාධ්‍ය තුළ විවිධ පන්නයේ පතරාංග ලියමින් එය විවේචනය කිරීම එක් වර්ගයකි. නමුත් එයින් එපිටට ගොස්, අදාළ මාධ්‍ය ආයතනයට ඒ බව දන්වා, සිදුකළ ඇති වරද නිවැරදි කිරීමට නිළ වශයෙන් මැදිහත්වීමය.(වරද සිදුකල ඇති ප්‍රමාණයෙන්ම නිවැරදි කිරීමත් සිදුකල යුතු බවට ද දැන්වීමය) මෙම ගැටළුවේදී නම් අදාළ ඇමතිවරිය විසින් සිය ෆේස්බුක් හී අදාළ කතාව(සිංහල) ප්‍රචාරය කිරීමෙන් නොනැනවතී නිළ නිවේදනයක් සමාජගත කිරීම තවත් එක් වර්ගයකි. ජනමාධ්‍ය භාවිතා කරනුයේ ජනතාවට අයත් සංඛ්‍යාත බැවින්, අදාළ තත්ත්වයේ බරපතලකම සැලකිල්ලට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමය. මේ ලියා ඇති ‘දේවල්’ කිහිපය අප ලිවිය යුතු නැත. මක්නිසා ය යත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ මේවා පිළිබද ප්‍රාමාණික දැනුම ඇති නීතිඥයින් සිටින බවට පුද්ගලිකව මා දන්නා නිසාය. කෙසේ නමුත්, එසේ වී නම් කළ යුතු වන්නේ මෙවැනි කටයුතුය. නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මේ ලියන මොහොත වන විටත් වාර්තා නොවේ. ඒ ඇයි?
නමුත් මේ වන විටත් සිදුවෙමින් ඇත්තේ පණිවිඩකරුවන්ට තැලීමය. මෙය මෙවැනි ආණ්ඩුවකින් ජනතාව කිසිසේත්ම බලාපොරොත්තු නොවන තත්ත්වයකි.
මාධ්‍ය ආචාර්ධර්ම සහ මාළිමාවේ ‘නිළ’ ෆේස්බුක් පිටුව
උද්ගත වී ඇති තත්ත්වය තුළ, අදාළ ලිංගික අපයෝජනයට සම්බන්ධයක් නැතැයි ‘බැලු බැල්මට පෙනෙන’ එහෙත් වින්දිත පාර්ශවයෙන් නමක් කියැවෙන පුද්ගලයෙක් වන නාරයනපිල්ලෙයි සිවනන්දරාජා(ඔහුම පවසන පරිදි ඔහු මාළිමාවේ උතුරු කොළඹ සංවිධායකවරයෙකි) නම් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරමින් කියා සිටින්නේ, ආදළ සිදුවීමට තමා ගේ නම සම්බන්ධ කරමින් අපහාසාත්මක අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළට එක්කරන බවය. කෙසේ නමුත් අදාළ දියණිය අපහසුතාවය සහ පීඩාවට පත් වී, දිවි නසාගැනීම සම්බන්ධයෙන් එම නම කියැවෙයි නම් ඒ පිළිබදව අවසාන නිගමනය ගත හැක්කේ අධිකරණයකටය.(අධිකරණයෙන් වැරදිකරුවෙක් වන තෙක් ඔහු හෝ ඇය නිර්දෝශී වෙයි)
නමුත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට යාමේ දී මාධ්‍ය අමතා සිදුකරන ප්‍රකාශයන් සහ එම ප්‍රකාශ අඩංගු වීඩියෝව ජාතික ජන බලවේගයේ (NPP) ‘නිළ ෆේස්බුක් පිටුවේ‘ පළකර ඇත. ඔහුගේ ප්‍රකාශය පළ කිරීම මගින්, අදාළ සිදුවීමට සෘජුවම ඔහුගේ සම්බන්ධයක්, බැලූ බැල්මට පෙනෙන්නට නැති වුවත්, සිදුවීම සම්බන්ධ අදහස්, (විශේෂයෙන් ලිංගික අපයෝජනයකදී) මාධ්‍ය තුළ පළකිරීම වින්දිතයාගේ රහස්‍යභාවය සහ ගෞරවය නැවතත් තර්ජනයට ලක්කරන අතර අදාළ අපරාධයේ විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට ද බාධා ඇති නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද? එපමණක් නොවේ එය මාධ්‍ය අචාර්ධර්ම පිළිබදව ද ප්‍රශ්ණයකි. නමුත් මාළිමාව ඒ පිළිබද සංවේදී නැත. එසේ වූ විට දේශපාලන ලැදියාවන් නිසා එසේ සිදුකරන බවට සමාජය තුළින් එල්ලවන චෝදනාවන් ඉදිරියේ මාළිමා ආණ්ඩුව සිය ආගාධය තවත් ගැඹුරට සකස් කර ගන්නේය. එහි තවත් කරුණක් මතුවෙයි. අදාළ පුද්ගලයාගේ වීඩියෝව ඔවුන්ගේ නිළ පිටුවේ පළ කරත්, අදාළ ලිංගික අපයෝජනයට අදාළ වින්දත පාර්ශවයන් පිළිබද කිසිවක් එම මාධ්‍ය අවකාශයට එකතු නොකිරීමට(මෙය ලියන මොහොත වන විටත්) පරිස්සම් වී ඇත. එබැවින් මේ ලැදියාවන් පිළිබද පවතින සැකය එමගින් සමාජය තුළ තවත් තහවරු වීම වැළැක්වමට ඔවුන්ට හැකි වේද?
‘සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කර ගන්න බෑ’ – ළමා කටයුතු පිළිබද ඇමතිවරිය
ඇමතිවරිය ප්‍රකාශ කළ තවත් අදහසක් වන්නේ එයයි. ඇයගේ ෆේස්බුක් ගිණුමෙන්ම එය උපුටා දක්වන්නේ නම්, “සමාජ මාධ්‍ය වලින් පමණක් යුක්තිය ඉල්ලීම සිදුකල නොහැක. යුක්තිය ලබාගන්න නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිනිය යුතු වෙනවා.,” මෙහි දෙවන කෙටස පිළිබද පසුවට ලියන්නට තබා ගනිමින් සමාජ මාධ්‍ය පිළිබදවද ඇය සිටින්නේ ලෝකයට වඩා සෑහෙන්න පිටුපසින් බව කිව යුතුය. වචනාර්ථයෙන් ඇය නිවැරදිය. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරන්න බැරි බව ඕනෑම කෙනෙක් දන්නා සත්‍යකි. නමුත් ‘යුක්තිය’ ඉටු කිරීමට බල කිරීම සදහා ප්‍රභල සන්නිවේදන මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කළ හැකිය. භාවිතා කරමින් ඇත. ලෝකය පුරාත් එසේමය. යුක්තිය ඉටු කිරීමට බල කිරීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රබල සන්නිවේදන මෙවලමක් ලෙස භාවිත කළ හැකි බව ජාත්‍යන්තර මට්ටමින් බොහෝ උදාහරණ හරහා පැහැදිලි වේ. මෑත ඉතිහාසයේ සුප්‍රකට උදාහරණයක් වන්නේ 2011 වසරේ ආරම්භ වූ අරාබි වසන්තය (Arab Spring) ය. මෙහිදී ටුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සහ යුක්තිය ඉල්ලා රජයන්ට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමට සමාජ මාධ්‍ය වේදිකා, විශේෂයෙන් ෆේස්බුක් සහ ට්විටර්, භාවිතා කළහ. ඊජිප්තුවේ තහ්රීර් චතුරස්‍රයේ විරෝධතාවලදී, තරුණ ක්‍රියාකාරීන් විසින් සමාජ මාධ්‍ය හරහා ජනතාව එක්රැස් කර, රජයේ දූෂණයන් සහ අසාධාරණයන් ගැන තොරතුරු හුවමාරු කර, ජාත්‍යන්තර අවධානය දිනා ගත්හ. මෙම ව්‍යාපාරය හරහා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට ජනතාව සමත් වූ අතර, එය යුක්තිය ඉල්ලා සිදු කළ සමාජ මාධ්‍ය මගින් බලගැන්වුණු සාර්ථක ව්‍යාපාරයකි.(පසුව සිදූ වූ දේවල් පිළිබද විවේචන සමග) මෙලෙස සමාජ මාධ්‍ය, ජනතාවගේ හඬ බලවත් කරමින් යුක්තිය සඳහා බලපෑම් කිරීමට උපකාරී වන බව ඔප්පු කර ඇත්තේ ඇමතිවරිය පාර්ලිමේන්තුවට යාමට බොහෝ පෙරය. ලංකාවේ ගෝල්ෆේස් ඇතුලු ප්‍රදේශවලත් සිදු වූ ප්‍රභල විරෝධතාවයන්ගේ එක් ප්‍රධාන සංන්නිවේදන මාධ්‍යක් වූයේ සමාජ මාධ්‍ය ය. ජනාධිපතිවරයෙක් රටින් පළායමට සිදු වූයේද එම විරෝධතා නිසා බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.
චෝදනාවට ලක් පුද්ගලයා සහ ඒ පුද්ගලයාගේ මිතුරු(?) සම්බන්ධය
අදාළ දැරිය ලිංගික අපයෝජනයට ලක්කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව දින 3කින් අදාළ චෝදනාවට ලක් වූ පුද්ගලයාට ඇප ලැබුනු බවට වාර්තා විය. එපමණක් නොව ඇප ලැබූ අදාළ පුද්ගලයා නැවතත් එම පාසලේම නිරුපද්‍රිතව සේවය කිරීමට සැලැස්වීම ද පුදුම සහගතය. ඉන්පසු ඔහුට ස්ථාන මාරුවක් ලබා දී ඇති අතර, ඔහු අනිවාර්ය නිවාඩු යවන ලද්දේ දැරියගේ දෙමාපියන් ඇතුලු විශාල පිරිසකගේ විරෝධතාවයෙන් පසුවය. කෙසේ නමුත් චෝදනාවට සෘජුවම සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයා සහ නාරයනපිල්ලෙයි සිවනන්දරාජා යන අයෙක් අතර මිතුරු සම්බන්ධයක් ගැන ද කියැවෙයි. කෙසේ නමුත් දැරිය මිය ගිය පසුවත් අදාළ නාරයනපිල්ලෙයි සිවනන්දරාජා නම් පුද්ගලයාගෙන් කිසිදු ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළ බළධාරීන් පියවර ගත් බවක් දක්නට නැත. මේ පිළිබද විමර්ශනශීලිව බලන බොහො දෙනෙක් පවසන්නේ, සැකකාරයෙක් විය යුතු පුද්ගලයෙක් පැමිණිලිකරුවෙක් වී ඇති බවය. කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ‘පැමිණිල්ලක්’ ඉදිරිපත් කිරීම එක් පැත්තකින් ‘හොද’ තත්ත්වයකි.(එසේ, අපහස කරන ලද බවට පවසමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිම ගැන වෙනම සාකච්ඡා කළ යුතුවේ) එය එසේ වන්නේ, සිදුවීමට චෝදනාලත් ගුරුවරයාට, යම් සම්බන්ධයක් මාළිමා දේශපාලකයා සමග ඇත්නම් ආණ්ඩුවට තවදුරටත් වෙනත් පාරවල් වල යා නොහැකිය. කෙසේ හෝ ඉතාමත් ඉක්මනින් අපරාධකරුවන් සහ අපරාධයට සහය දුන් පුද්ගලයින් නීතිය හමුවට ඉදීරිපත් කිරීමට සිදුවන අතර එසේ නොවුනහොත් තවත් වටයකින් මාළිමා ආණ්ඩුවට ද සමාජය තුළින් එල්ලවීමට නියමිත චෝදනාවලින් මිදීමට නොහැකි වනු ඇත.
අදාළ චෝදනාව ලැබූ ගුරුවරයාට දින 3න් ඇප ලැබීම
මෙවැනි ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පුද්ගලයෙක්ට දින 3න් ඇප ලැබීම පිළිබදත් සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී ඇත. කෙසේ නමුත් පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ ගොනුකරනු ලබන වාර්තා පදනම් කර ගනිමින් අධිකරණය විසින් එසේ සිදුකිරීම හෝ නොකිරීම ගරු අධිකරණයේ ක්‍රියාවලියකි. කෙසේ නමුත් එහි සාකච්ඡා කළ යුතු තත්ත්වයක් ඇතිමුත්, ඒ වෙනුවට සමාජ මාධ්‍ය තුළ පළවු එක් අදහසක් උපුටා දක්වමි.
“අධිකරණයක් තුළ ෆොන් එකක් රිං උණාම දවස් 14ක් හිරේට ගිහින් එන්න උනේ මිනි පෙට්ටියෙන් නමුත් දරුවෙක් ලිංගික අපයෝජනය කරපු පුද්ගලයාට දින 3න් ඇප.” යනුවෙනි.
අපයෝජනයට ලක් වූ දැරිය සහ යුක්තිය
පාර්ලිමේන්තු ව තුළ ඇමතිවරිය විසින් සිදුකළ කතාවෙන් සහ තවත් පුද්ගලයෙක් තමාට අපහාස කලා යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට යෑමත් ආදි කරණු නිසා අපයෝජනයට ලක් වූ දැරියගේ යුක්තිය පිළිබද කරුණ යම් පමණකට සීමා සහිත වී ඇති බවට පෙනෙන්ට තිබේ. කෙසේ නමුත් මාස ගණනාවක් ගත වුවත් සැළකිය යුතු දෙයක් සිදුනොකර සිටි නිළධාරීන් සහ ආණ්ඩුව, ඔවුන් විසින් දැන් යෝජනා කරමින් ඇති යාන්ත්‍රණ හරහා හෝ මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා දැරියට යුක්තිය ඉටු කළ යුතුමය. ඒ සමගම අදාළ නඩුව අවසන් වන තෙක්, සිදුවීමට සම්බන්ධ යැයි සකකරන සියලු වෘත්තිකයන්ගේ සේවය අත්හිටුවිය හැකි නම් එය යුක්තිය පිළිබද නව අපේක්ෂාවන් දල්වනු ඇත.
දැන්…. තවදුරටත්,
ලංකා ඉතිහාසයේ දැරියකට ලිංගික අපයෝජනයක් සිදුවී ඇත්තේ පවතින ජාතික ජන බලවේගය ආණ්ඩුව තිබෙනවිට පමණක් ද කියා ඇතැමුන් ප්‍රශ්න කිරීම ම බරපතල නරුමකමකි. ලංකා ඉතිහාසය ලිංගික අපයෝජන, හිංසනයන්, අතුරුදහන් කිරීම්, මරා දැමීම් ඇතුලු අපරාධවලින් පිරුණු කුණු ලේ ගද ගහන ඉතිහාසයක් ඇති බව අප ලියා ඇත්තෙමු. එය නොදන්නා සේ සිටියාට බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ‘සුනිල් සරුවා’ නම් රාජපක්ෂලාගේ බැතිමතා ස්ත්‍රීන් 100ක් අපයෝජනයට ලක්කලා යැයි පවසමින් සාදයක් පැවැත් වූ බවත්, පෙම් යුවලකගේ පෙම්වතා මරා දමා පෙම්වතිය ලිංගික අපයෝජනයට ලක් කල බවත් එදවස රැව්දුන් පුවතක් විය. එසේ වූවා කියා, දැන් සිදුවන අපරාද පිළිබද නිහඩව, නිදියන්න සක්‍රීය පුරවැසියන්ට නොහැකිය. මාළිමාව දිනවීම සදහා දර-දිය ඇදි ප්‍රගතිශීලී බොහෝ දෙනෙක් තමන්ට හැකියාව ඇති සමාජ මාධ්‍ය තුළ අදාළ සිදුවීම පිළිබද බරපතල විවේචන සිදුකරන්නේ එම නිසාය. ඒ ‘ආණ්ඩුව ගෙදර යවන්න නොවන බව’ ඔවුන්ම ලියා ඇත. නමුත් මාළිමා ආණ්ඩුව ඒවා සලකන්නේද රාජපක්ෂලා ඇතුලු මජර කල්ලිය සිදුකරන විවේචන සමග එක ගොඩේ ඔබා ගෙන බව පෙනෙන්නට ඇත. එය අනෙක් අතින් කණගාටුවට කරුණකි.
එසේම මෙවැනි සංවේදී කාරණාවකදී නිසි වේලාවට පියවර ගැනීම අතිශය වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙම අදාළ දැරිවියගේ සිදුවීමත්, එහි පොලිස් පරීක්ෂණත්, අධ්‍යාපන බළධාරීන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නාකාරී තත්ත්වයන් පෙනෙන්නට තිබේ. මාස කිහිපයකට පසු සහ පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදයෙන් පසු මෙන්ම, සමාජ මාධ්‍ය තුළ මතු වූ අදහස් නිසා දැන් ආණ්ඩුව පියවර කිහිපයක් ගනිමින් තිබේ. එසේ වූයේ ඇයි, පොලීසිය, ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුලු නිළධාරීන් වගේම ආණ්ඩුවත් මෙයට වගකිව යුතු නොවේද? පරීක්ෂණ කිරීමට ඇමතිවරියට නොහැකි බව ඇත්තකි. නමුත් ඒ සදහා නිළ වශයෙන් මැදිහත්වීමත් ඒ සදහා කඩිනම් පියවර යෝජනා කිරීමත්, ඒවා පිළිබද දැඩි සොයාබැලීමක් සිදුකිරීම ඇයගේ වගකීමක් නොවන්නේද? දැන් සිදුකරන්නාක් මෙන්, මේ ලිංගික අපයෝජනය සිදු වූ කාලයේම ඉතාමක් ඉක්මනින් මෙවැනි ලෙස හෝ මැදිහත් වූවානම් දැරිය අද ජීවතුන් අතර සිටිනවා යැයි කවුරුන් හෝ කිවහොත් ඔබ එය ප්‍රතික්ෂේප කළත්, හෘදසාක්ෂියට පිටුපෑමට ඔබට නොහැකි වනු ඇත. ළමුන් ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමකි. එබැවින් ආණ්ඩුවට, වෙනත් කෙනෙක්ට ඇගිල්ල දිගුකර අතපිහිදා ගැනීමට නොහැකි අතර, දරුවන් වෙනුවෙන් වන අතහළ නොහැකි ‘සමාජ වගකීම’ ඇමතිවරිය විසින් ඉටු කර නොමැති බව පෙනෙන්නට තිබෙන අතර ඉහතින් සාකච්ඡා කළ පරිදි ඇය ට තවමත් සහකම්පනයක් නැති සේයකි. එබැවින් ඇමතිවරිය තවදුරටත් එම ඇමතිධූරයේ කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාදැයි යන්න ප්‍රශ්ණ සහගතය.
විමසිල්ලෙන් බලා සිටිමු!
මේ මැයි මාසය බැවින් මේ කොටසත් ලියා තැබිය යුතුය, සහකම්පනයක් නොමැති දේශපාලනයක් හෝ දේශපාලකයන්ගෙන් යුක්තිය බලාපොරොත්තු විය නොහැක. එය ලිංගික අපයෝජනයේ සිට ජනමාධ්‍යට එරෙහි අපරාධ සහ යුද අපරාධ දක්වා අදාළ ය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙය වෙනස් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවන බවට එක් සංඥාවක් වූයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159ක බහුතරයක් ඔවුන්ට ලබා දීමය. දැන් සුක්කානම ඇත්තේ ආණ්ඩුව අතේය.
*අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලීසිය සහ ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන ය මේත් සමග පරිශීලනය කරන්න. තවත් වැදගත් වනු ඇත.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon