iMage: Freedom Flotilla Coalition(FFC)

මැඩ්ලීන්(Madleen) නෞකාව, ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ආධාර රැගෙන යන ‘මානුෂීය යාත්‍රාව’, හුදු නැවක් පමණක් නොවේ. එය මිනිස් හෘද සාක්ෂියේ, සාධාරණත්වය-යුක්තිය පිළිබඳ මිනිස් ආශාවේ සහ මණුෂ්‍යත්වයේ සංකේතයකි. ගාසා තීරයේ ජනතාව මුහුණ දෙමින් සිටින ‘ජනසංහාරික තත්ත්වය’ තුළ ආහාර, ඖෂධ ඇතුලු මූලික අවශ්‍යතා හිඟකම/නොමැතිකම ඇතුලු අසීමිත දුක්ඛිත තත්ත්වයන් මධ්‍යයේ ඔවුන්ට හැකි උපරිම ලෙස සහය වීම සදහා මැඩ්ලීන් නැවේ ගමන් ගන්නා මිනිසුන්ගේ හදවත් තුළ ඇති සහකම්පනයේ හඬ හී ගැඹුරු බව ‘යහපත් ලෝකයක්’ තැනිය හැකි බවට තවත් ලෙසකින් අපට පණිවිඩයක් ලබා දෙනු ලබයි. එය හුදු ආධාර බෙදාහැරීමකට එහා ගිය ගමනකි. ගමනකට වඩා මනුෂ්‍යත්වයේ ගමනක ප්‍රභල සංඛේතයකි. එය මිනිස් හෘදයේ ගැඹුරුතම ආත්මීය හඬකි; එය නිහඬව සිටිය නොහැකි බව පවසන හෘද සාක්ෂියකි. “ළගා වීමට ඇත්තේ තව පැය කිහිපයයි”(කිසිදු බාධාවක් සිදුනොවුනහොත්) යන ඔවුන්ගේ හඬ, බලාපොරොත්තුවේ හා අධිෂ්ඨානයේ ගිනිපුලිඟුවක් ලෙස ලෝකයේ හදවත් තුළ දැල්වාලීමට සමත් වී තිබේ.

නැවේ ගමන, එක් ආධාර යාත්‍රාවකට ඔබ්බෙහි යමකි. එය ලෝකයට මතක් කරන්නේ, හෘද සාක්ෂියකින් යුතුව, එකම යාත්‍රාවකින් හෝ ලෝකයේ අඳුරුතම තැන් ආලෝකමත් කළ හැකි බවයි. ඔවුන්ගේ ගමන, ගාසාවේ ජනතාවට බලාපොරොත්තුවක් ගෙන එනවා පමණක් නොව, ලෝකයේ හෘද සාක්ෂියන් නැඟිටුවමින්, සාධාරණය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමට කරන ආරාධනයකි.

මෙම නැවේ ගමන් කරන දොළොස් දෙනා අසාමාන්‍ය බලයක් හෝ එවැනි තත්ත්වයක් ඇති අය නොවෙති. ඔවුන් ද සාමාන්‍ය මිනිසුන්ය; මිනිසුන්ය. එහෙත්, ඔවුන්ගේ හෘදයන් තුළ ඇත්තේ ජන සංහාරයේ, සාගින්නෙන් දරුවන් මිය යන, හා මිලේච්ඡත්වයේ බිහිසුණු යථාර්ථය ඉදිරියේ නින්දට වැටිය නොහැකි හෘද සාක්ෂියකි. ඔවුන් එවැනි මිනිසුන්ය. ඔවුන් තුළ ආදරය, මනුෂ්‍යත්වය, යුක්තිය පිළිබද අතිශය ගැඹුරු, නොනිදන මානව ප්‍රේමයක් ඇති බව මගේ හිත කියයි. ඔවුන්ගේ ගමන, ආහාර හෝ ඖෂධ පමණක් නොව, මිනිසත්බවේ ගෞරවය හා යුක්තිය වෙනුවෙන් ලෝකයේ හදවත් එක් කිරීමේ බලාපොරොත්තුවක් ඇති බව මේ දවස් 7තුළ මා දුටුවෙමි.

එහෙත්, මෙම ගමනේ අභියෝග බහුලය. ඊශ්‍රායලයේ ආරක්ෂක අවශ්‍යතා හා ගාසාවේ මානුෂීය අර්බුදය අතර ගැටුම මෙවැනි මෙහෙයුම්වල සංකීර්ණතාව පෙන්වා දෙයි. එය ‘මාවි මර්මරා ෆ්ලොටිල්ලා’ සිදුවීමේදී ඛේදජනක ලෙස ඔප්පු විය. එවැනි අවස්ථාවන්, මානුෂීය ආධාර ලබා දීමේ උත්සාහයන්හි අවදානම් හා සීමාවන් පිළිබිඹු කරයි. එසේ වුවත්, මැඩ්ලීන් නැවේ ගමන් කරන්නන්ගේ ධෛර්යය, එවැනි බාධක හමුවේ පවා, යුක්තිය හා සහකම්පනය වෙනුවෙන් ඔවුන්ගේ අධිෂ්ඨානය පෙන්වයි.

මැඩ්ලීනා නැවේ ගමන් කරන සියලු දෙනා, තම දෑත්වල ආධාර පෙට්ටි රැගෙන යනවා පමණක් නොව, ඔවුන්ගේ උරහිස් මත ගාසාවේ දරුවන්ගේ හැඬුම්, මවුවරුන්ගේ ශෝකය, හා මිනිසුන්ගේ යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම නිදහස පිළිබද බලාපොරොත්තු ද රැගෙන යති. ඔවුන්ගේ යාත්‍රාව, සමුද්‍රයේ රළ මත ගමන් කරන ‘බලාපොරොත්තුවේ දැවැන්ත රුවලකි’

මෙම ‘ගමන’ අතිශය මානුෂීය හැඟීමකින් ආලෝකමත් වෙමින් තිබේ. ලක්ෂ සංඛ්‍යාත මිනිස් හදවත් මේ ‘නෞකාව’ වටා ගොනුවෙමින් තිබෙනු දැකීම ම බලාපොරොත්තුවේ ගිණි පුළිගු තවත් අවුලවන්නේය. එය ඉතිහාසයේ අඳුරුතම අවස්ථාවන්—සමූල ඝාතන, සාගින්න, හා දරුවන්ගේ මරණ—ඉදිරියේ නිහඬව සිටීමට එරෙහි වූ යුක්තිගරුක කැඳවීමකි. මැඩ්ලීන් නැවේ ගමන් කරන්නන්, තම ජීවිත අවදානමට ලක් කරමින්, ලෝකයේ මිලියන ගණනක හෘදයන් තුළ යුක්තියේ ගිනිපුළිඟුවක් ඇති කරන බව ඔවුන් විශ්වාස කරති. අපද විශ්වාස කරමු. ඔවුන්ගේ ක්‍රියාව, ගාසාවේ ජනතාවට ආධාර සැපයීම පමණක් නොව, ලෝකයේ අවධානය ගාසාවේ අර්බුදය වෙත ‘මානුෂවාදී දේශපාලන දැක්මකින්’ යොමු කිරීමේ උත්සාහයක් ද වන්නේය. ඔවුන්ගේ ධෛර්යය, බලවත් බාධක හමුවේ පවා, මිනිසත්බවේ ජයග්‍රහණයකි. එය ගාසාවට පමණක් සී නොවන්නේය. ලංකාව ද ඇතුලු ලෝකය පුරාම එවැනී කෲර පීඩනයන්ට ලක්වෙමින් ඇති, ලක්කරනු ලැබු සියලු මිනිස් ප්‍රජාවන් වෙත හෙළනු ලබන යුක්තියේ ආලෝකයකි.

ඊශ්‍රායලයේ සමුද්‍රීය අවහිරය, ආරක්ෂක බාධක, හෝ ජීවිත හානිවීමේ අවදානම මැද,(දැන දැනම) මැඩ්ලීන් නැවේ ගමන ලෝකයේ ම හෘද සාක්ෂියන් අවදි කරයි. ඔවුන් බිඳ දැමීමට උත්සාහ කරන්නේ බාධක පමණක් නොව, නිහඬතාවය සහ උදාසීනත්වයයි. ඔවුන්ගේ ධෛර්යය, මිලියන ගණනක හදවත් තුළ යුක්තියේ ගිනිපුලිඟුවක් ඇති කරමින්, මනුෂ්‍යත්වයේ අලෝකය සංඛේතවත් කරනු ඇත. එය අපේ කාලයේ, අපව තව තවත් අවදි කරන යුක්තියේ ගිණිපුළිගුවකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon