iMage: Thyagi Ruwanpathirana

2014 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ අලුත්ගම, දර්ගා නගරයේ සිදු කළ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය, එහි මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහල බෞද්ධ ජාතිවාදී මැරයින් විසින් සිදු කළ බිහිසුණු විනාශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තවත් අඳුරු පිටුවකි. මෙම සිදුවීම, “කළු ජූනිය” ලෙස අප විසින් එවකට හැඳින්වුණු අතර, එය ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ සහ දණ්ඩමුක්තියේ (Impunity) තවත් එක් කළු සලකුණක් බව අප කීවේය. දැන් වසර 11ක් ගෙවී අවසන්ය. ප්‍රචන්ඩත්වයට චෝදනා ලැබූවන් කහ සිවුරු ඇද බණ දේශනා කරමින් තවමත් යහමින් ජීවත් වෙති. බරපතල අපරාධ ගැන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවලට අභියෝග කරති. කැමරා ඉදිරියේ වෛරය මුසු වචන මුදා හරිමින්, ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ යැයි කියූ බුද්ධ වචනය කිලිටි කරති. ඇතැම් අය ඉස්ලාම් දහමට අපහාස කළ බවට වන චෝදනා ලැබ අධිකරණයට යති. සිරදඩුවම් ද නියම වෙයි. පසුව ඇප මත මුදා හැරෙයි. නැවත අධිකරණයට යයි. නැවත සිරදඩුවම් ලැබෙයි. නමුත් දර්ගාව තවමත් බලා සිටී.

දර්ගාවේ ඛේදවාචකය: සිදුවීම් පිළිබඳ ආපසු හැරීම

2014 ජූනි 15 වැනිදා, ගලගොඩඅත්තේ ඥාණසාර නමැති භික්ෂුවගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා සංවිධානය(BBS) විසින් දර්ගා නගරයේ පැවැත්වූ රැස්වීමක්, මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෛරී ප්‍රකාශනයන්ගෙන් පිරි එකක් විය. මෙම රැස්වීමෙන් පැය කිහිපයකට පසු, සිංහල බෞද්ධ මැරයින් පිරිසක් විසින් අලුත්ගම, දර්ගා නගරයේ හී මුස්ලිම් ජනතාවගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, යාන වාහන ඇතුළු දේපළවලට ගිනි තබමින්, බරපතල විනාශයක් සිදු කරන ලදී. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, සිය ගණනක් තුවාල ලැබූහ. එම බරපතල ප්‍රචණ්ත්වයන් දියත් කරන ලද්දේ එම ප්‍රදේශයට ඇදිරීනීතිය දමා තිබියදී වීමත්, වඩාත් බිහිසුණු කරුණ වන්නේ, මෙම ප්‍රචණ්ඩත්වය සිදුවන අතරතුර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ‘බලා සිටියා’ යැයි කිවහොත්, නිවැරදිය. එපමණක් ද නොව එහිදී පොලීසිය හැසුරුණු ආකාරය පිළිබදව ද වචනයක් හෝ කීමෙන් වැළකීමට එවකට ආණ්ඩුබලයේ සිටි රාජපක්ෂ පාලනය පරිස්සම් විය. රාජපක්ෂලාගේ ‘පරිස්සමේ තක්කඩිකම’ හදුනාගත් පුරවැසියන් විසින් රාජපක්ෂලා 2015 ජනවාරි 8 වෙනිදා පරාජය කළේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්වන තෙක් මෙම මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී අපරාධකරුවන් හෙළිදරව් වී ඔවුන්ට දඩුවම් හිමිවූයේ නැත. මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීනව පවත්වාගෙන යමින් ඇති දණ්ඩමුක්ති සංස්කෘතියේ (Culture of Impunity) තවත් එක් උදාහරණයකි.

යුක්තිය පිළිබඳ බලාපොරොත්තු සහ බිඳුණු පොරොන්දු

එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී ආ ජාතික හා ජාත්‍යන්තර විරෝධතා හමුවේ, “අලුත්ගම මැරයන් අපි හඳුනනවා” යැයි එවකට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. එහෙත්, 2015-2019 කාලය තුළ ඔහු අගමැති ධුරය දැරූ ආණ්ඩුව, දර්ගාවට යුක්තිය ඉටුකිරීමට කිසිදු බරපතල උත්සාහයක් ගනු ලැබුවේ නැත. ඒ වෙනුවට අපරාධකරුවන් නිදැල්ලේ සැරිසැරූ අතර, යුක්තිය ඉල්ලා සිටි, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණි. එම ආණ්ඩුව තුළත් චෝදනා ලැබූවන් නිදැල්ලේ සැරිසැරුවා පමණක් නොව ඇතැම් විට රාජ්‍ය අනුග්‍රහය ද ලැබුණේය. එය කොතෙක් ද යත් එම අදාළ රටේදී ‘ජනාධිපති සමාව’ පවා ලැබිණි.

දණ්ඩමුක්තිය: ශ්‍රී ලංකාවේ ගැඹුරු ගැටලුව

දර්ගාවේ සිදුවීම, ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව යුක්තිය ඉටුකිරීමේ අසමත්කමේ එක් උදාහරණයක් පමණි. 1983 “කළු ජුලිය” සිට 2009 මැයි යුද්ධයේ අවසානය දක්වාත්, ඊට පසුවත්, ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතල අඩුපාඩුවක් පවතී. මෙම දණ්ඩමුක්ති සංස්කෘතිය නිසා ජාතිවාදීන්ට බියකින් තොරව ප්‍රචණ්ඩත්වයේ නිරත වීමට ඉඩ සලසන අතර, එය තවදුරටත් පැවතුනහොත් සමාජය තුළ බෙදීම් තවදුරටත් උත්සන්න වනු ඇත.

දැන්, 2024 සැප්තැම්බරයේ බලයට පත්වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේග යේ (NPP) වත්මන් ආණ්ඩුව, ආර්ථික දුෂණයට එරෙහිව වැදගත් පියවර ගනිමින් සිටින බවක් පෙනෙන්නට ඇත. එය ඉතාමත් හොද ප්‍රවණතාවයකි. එහෙත්, ජාතිවාදී, වර්ගවාදී ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තවමත් පැහැදිලි නැත. මෙය, ආණ්ඩුවේ මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ දැක්ම පිළිබඳ ප්‍රශ්න මතු කරනු ඇත. මේ දිනවල බරපතල ලෙස සාකච්ඡාවට ලක්කරමින් සිටින යාපනයේ චෙම්මනී සමූහ මිනීවළ පිළිබද ආණ්ඩුවේ මුනිවත රැකීමෙන් එය තවදුරටත් සනාත වනු ඇත. නමුත් ජාජබ ආණ්ඩුවට එම බරපතල වගකීමෙන් මිදීමට නොහැකිය. ඒ ඔවුන්ට ලැබී ඇති විශාල ජනවරමේ බර නිසාය. ඒ බර තුළ ලංකාව තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් සත්‍ය සහ යුක්තිය නියෝජනය වන බව ආණ්ඩුව අවබෝධ කර ගත යුතුය.

යුක්තිය නොමැති සමාජයක අනාගතය

යුක්තිය ඉටු නොකිරීම, ඒ සදහා වන දේශපාලන උනන්දුවක් නොමැතිකම ආදී තත්ත්වයන්, සමාජයේ බහුත්වවාදී (Pluralistic) වටිනාකම් ගොඩනැගීමට බරපතල ලෙස බාධා කරයි. උදාහරණයක් ලෙස, චීනය, සිය ආර්ථික වර්ධනයට ප්‍රමුඛත්වය දෙමින්, මානව හිමිකම් ඇතුලු වටිනාකම් පිළිබද දක්වන නොසැලකිල්ල සහ ඒ හරහා මතුව ඇති මානව අයිතීන් පිළිබද ප්‍රශ්ණ ලෝකය හමුවේ දැවැන්ත ලෙස විවේචනයට ලක් වෙමින් ඇත. ශ්‍රී ලංකාව ද ආර්ථික ගැටලුවලට පමණක් අවධානය යොමු කරමින්, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයන් වැනි බරපතල මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් ඇතුලු අපරාධයන්ට සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවමින්, වින්දිදයන්ට ‘යුක්තිය’ ඉටුකිරීම අමතක කරන්නේ නම්, එය සාමකාමී, ශිෂ්ට සමාජයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවට බලවත් බාධාවක් වනු ඇත.

(ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සදහා චීනයේ අත්දැකීම් ඉවහල්වනු ඇති බවට, පසුගිය දා චීනයේ සංචාරයකින් පසු ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබිණි.)

අඳුරට එරෙහි ආලෝකයක් අත්‍යවශය ය.

(දර්ගාවේ) “කලු ජූනිය” යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තවත් එක් අඳුරු පිටුවක් බව ලෝකය හමුවේ නිරාවරණය වී අවසන්ය. එහෙත්, එය අමතක කිරීම හෝ නොසලකා හැරීම, තවත් එවැනි ඛේදවාචකයන්ට ඉඩ සලසනු ඇත. යුක්තිය ඉටුකිරීම යනු, ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට සාධාරණත්වය ලබාදීම පමණක් නොව, සමාජය සුවපත් කරමින්, නිදහස්, සාමකාමී, බහුත්වවාදී අනාගතයක් ගොඩනැගීමේ පදනම දැමීමයි. පාර්ලිමේන්තුවේ 2/3 කක බලයක් සහිත වත්මන් ආණ්ඩුවට, මෙම ඓතිහාසික වගකීම ඉටුකිරීමේ අවස්ථාව තිබේ. එය ඉටු කරන තුරු, දර්ගාව යුක්තිය වෙනුවෙන් බලා සිටිනු ඇත—වසර 11කට පසුවත්, තවමත්….

වර්ගවාදී, ප්‍රචණ්ඩ ඉතිහාසය හිතාමතාම අමතක කරමින්, ඒ ඉතිහාසය පුරා සිදුකළ අපරාධයන්ට යුක්තිය ඉටු නොකර, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී, බහුත්වවාදී වටිනාකම්වලින් යුතු සමාජයක් ගොඩනැගීම දුෂ්කරය. එම දුෂ්කරත්වය පරාජය කිරීමට නම් දණ්ඩමුක්තිය අවසන් කර යුක්තිය ලැබිය යුතුමය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon