iMage: Vikalpa File
යාපනයේ චෙම්මනි භූමියේ වළලනු ලැබූ අපරාධ අතීතය, ශ්‍රී ලංකාවේ යුක්තියේ සහ සත්‍යයේ මාවතකට යම් කවුළුවක් විවර කරමින්, සඛේතාත්මක පියවරක් තබා ඇත. යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඉල්ලීමකට පිළිතුරු වශයෙන්, චෙම්මනි සමූහ මිනිවළෙන් හමු වූ භාණ්ඩ හෝ භෞතික අවශේෂ මහජන හදුනාගැනීමට තබන ලෙස තීරණය විය. එනම් හෙට(2025 අගෝස්තු 05 වැනිදා) චෙම්මනී සමූහ මිනී වළෙන් ගොඩගනු ලැබූ සාක්ෂීන් මහජනයාට විවෘත වනු ඇත. පාසල් බෑගයක්, බෝනික්කෙක්, වළලු, ළදරුවෙකුගේ කිරි බෝතලයක්—එක් එක් භාණ්ඩය ජීවිතයක මහපොළව යට සගවනු ලැබූ ඛේදනීය කතාවක් රැගෙන, වේදනාවේ හඬක් ලෙස මහජනතාව හමුවට පැමිණෙනු ඇත. පසුගිය 3වනදා වන විට මිනිස් ඇට සැකිලි 130ක් හමු වූ මෙම භූමිය, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පළමු වරට මහජන සහභාගිත්වයෙන් සමූහ මිනිවළක් හඳුනාගැනීමේ උත්සාහයක සංකේතයකි—එය යුක්තිය වෙනුවෙන් අරගල කරන දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවට යම් ආලෝකයක් හෝ සපයනු ඇති ද?
වේදනාවේ සලකුණු
චෙම්මනි යනු භූමියක් පමණක් නොවේ; එය ආදරය කළ, හීන දුටු, ජීවත්වූ මිනිසුන්ගේ කඳුළු හා වේදනාව රැඳුණු බිමකි. 1998 දී, ශ්‍රී ලංකා හමුදා සෙබළෙකු වූ සෝමරත්න රාජපක්ෂ, ක්‍රිෂාන්ති කුමාරස්වාමි තරුණියකගේ ඝාතනය හා දූෂණය සම්බන්ධ නඩුවකදී, මෙම භූමියේ 300-400කට ආසන්න පිරිසක් අතුරුදන් කිරීම් හා ඝාතනවලට සම්බන්ධ බව හෙළි කළේය. කෙසේ නමුත්, 2025 පෙබරවාරි මාසයේ එම හින්දු සුසාන භූමිය තුළ ඉදිකිරීම්වලදී යළිත් ඇටකටු හමුවීමත් සමඟ, මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පිරනවන් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කැණීම් යළි ආරම්භ විය. ‘අඩවිය-1’ සහ ‘අඩවිය-2’ යන ස්ථානවල දින 29ක් පුරා සිදු කළ මෙම කැණීම්වලින්, ළමුන් හා ළදරුවන්ගේ ඇටකටු ඇතුළු සැකිලි 130ක් දැනට සොයාගෙන ඇති අතර එය ලංකාවේ අපරාධ ඉතිහාසයේ තවත් එක් බරපතල අපරාධ පිටුවක් විවර කරමින්ය.
හදවත් බිඳුණු කතා
චෙම්මනි යනු භූමියකට වඩා වේදනාවේ සලකුණකි, එය හුදකලා සිදුවීමක් නොවේ. ළදරුවෙකුගේ කිරි බෝතලය, පාසල් බෑගය, වළලු—මේ එක් එක් භාණ්ඩය ජීවිතයක වේදනාබර කතාවක් කියයි. ඒවා මවකගේ ආදරය, දරුවෙකුගේ හීන, තරුණියකගේ බලාපොරොත්තු රැගත් සාක්ෂි වනු ඇත. දැන් මහජන ප්‍රදර්ශනය හරහා, එම භාණ්ඩ හඳුනාගැනීමට පවුල්වලට අවස්ථාවක් ලැබේ!! එය ඔවුන්ගේ දශක ගණනාවක් තිස්සේ පැවති වේදනාවට සහනයක් ගෙන දිය හැකි වෙයිද? තම ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමේ බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් ජීවත්වන ඒ සමීපතමයින්ට සත්‍ය සහ යුක්තියේ කුඩා හෝ ආලෝක ධාරාවක් ගෙන ඒමට හැකිවේද?
ජාත්‍යන්තර හඬ සහ යුක්තියේ බැඳීම
චෙම්මනි විමර්ශනය යනු එක් පැත්තකින් ශ්‍රී ලංකාවේ අයුක්ති සහගත යුද්ධයේ තුවාල සුවපත් කිරීමට ගන්නා උත්සාහයක් ලෙසත් හදුන්වති. ඒ කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් 2025 ජුනි මාසයේදී චෙම්මනි නිරීක්ෂණය කරමින්, “මෙම භූමිය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට බලපෑ ඛේදවාචකයන් සිහිපත් කරවයි. සත්‍යය හෙළිකිරීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට ස්වාධීන විමර්ශන අත්‍යවශ්‍යයි,” යැයි අවධාරණය කළේය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (ICRC) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙම විමර්ශනය ජාත්‍යන්තර මිනුම්වලට අනුකූලව, විනිවිදභාවයෙන් හා ස්වාධීනත්වයෙන් යුතුව සිදුකළ යුතු බව බලකර සිටී.
ආර්ජන්ටිනාවේ ආලෝකය
ආර්ජන්ටිනාවේ 1983 CONADEP (National Commission on the Disappearance of Persons) කොමිසම, චෙම්මනි විමර්ශනයට යම් ආදර්ශයක සපයයි. 1976-1983 මිලිටරි ආඥාදායකත්වය යටතේ සිදු වූ අතුරුදන් කිරීම් 9,000කට අධික සිදුවීම් හෙළිදරව් කළ මෙම කොමිසම, “Nunca Más” (Never Again) වාර්තාව හරහා යුක්තිය ඉටුකිරීමටත්, රටේ සමාජීය ස්ථාවරත්වය යළි ගොඩනැංවීමටත් මග පෑදීය. ශ්‍රී ලංකාවටද මෙවැනි ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් යාන්ත්‍රණයක් හරහා චෙම්මනි විමර්ශනය ඉදිරියට ගෙන යා හැකිය.
යුක්තියේ මාවත
ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවට, මෙම විමර්ශනය තුළින් සත්‍ය සහ යුක්තිය ඉටුකරමින් දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට හා ජාතික සංහිඳියාව ගොඩනැංවීමට තවත් අවස්ථාවක් ලැබී තිබෙන බව ද ඇතැම් අයගේ මතයයි. එහෙත්, මන්නාරම (2018)මාතලේ, තිරුකෙතීශ්වරම් වැනි අතීත විමර්ශනවල අසාර්ථකත්වය, ජනතාව අතර අවිශ්වාසයක් ඇති කර ඇත. එම තත්ත්වය තුළ මෙම විමර්ශනයේ ස්වාධීනත්වය, විනිවිදභාවය හා ජාත්‍යන්තර මිනුම්වලට අනුකූලවීම තීරණාත්මක සාධකයක් ලෙස පවතී. එබැවින් චෙම්මනි යනු භූමියක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අතීත තුවාල සුවපත් කිරීමට, යුක්තිය ඉටුකරමින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් පිළිගැනීමට ලක්කිරීමේ එක් මාවතක් විවර කිරීමට තවත් අවස්ථාවකි.
පසු සටහන
මහජන ප්‍රදර්ශනවලදී මිනිස් භාණ්ඩ ඉදිරිපත් කිරීම/ ප්‍රදර්ශනය කිරීම, වින්දිතයන්ගේ හා ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ගෞරවය, සංස්කෘතික සංවේදීතාව, හා යුක්තිය සෙවීමේ අරමුණු සමබර සිදුකළ යුතුයි. චෙම්මනි වැනි සිදුවීමකදී, මෙම භාණ්ඩ ප්‍රදර්ශනය සත්‍යය හෙළිකිරීමට හා පවුල්වලට සහනයක් ගෙන ඒමට උපකාරී විය හැකි නමුත්, එය ජාත්‍යන්තර ආචාරධර්මීය මිනුම්වලට අනුකූලව, වින්දිතයන්ගේ පවුල්වලට ගරු කරමින්, සංවේදී ලෙස සිදුකළ යුතුය. එය එසේ සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
එහෙත්,
එඩ්වඩ් හලේඅලෝහා අයාඕ දිගුකාලීනව මිනිස් අවශේෂ කටයුතු පිළිබදව පෙනී සිටින නීතිඥවරයෙකු ලෙස, දරන්නේ වෙනස් මතයකි. මිනිස් අවශේෂ හෝ ඒවාට සම්බන්ධ භාණ්ඩ ප්‍රදර්ශනයට තැබීමේදී එම පුද්ගලයන්ගේ හෝ ඔවුන්ගේ ප්‍රජාවේ කැමැත්ත(consent) ලබාගත යුතු බව ඔහු අවධාරණය කරයි. ඔහු පවසන්නේ, “පවුල්වල කැමැත්තකින් තොරව මිනිස් භාණ්ඩ ප්‍රදර්ශනයට තැබීම, ඔවුන්ගේ ගෞරවය හා ආත්මීය බැඳීම් උල්ලංඝනය කිරීමකි.” (here)
මෙලනි ක්ලින්ක්නර් (Melanie Klinkner, Professor in International Law, Bournemouth University)
සමූහ මිනිවළවල් හා මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරියක වන ක්ලින්ක්නර්, මහජන ප්‍රදර්ශනවලදී භාණ්ඩ ඉදිරිපත් කිරීම “වින්දිතයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ පවුල්වලට සත්‍යය දැනගැනීමේ අයිතිය ඉටුකිරීම” උදෙසා සිදුකළ යුතු බව පවසයි. ඇය අවධාරණය කරන්නේ, මෙවැනි ප්‍රදර්ශන “සත්‍යය හා සංහිඳියාවේ ක්‍රියාවලියක කොටසක් ලෙස, ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලව හා සංවේදී ආකාරයකින් සිදුකළ යුතු” බවයි.(here)