iMage: Vikalpa/ 29 August 2025, Chemmani Mass Grave

චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව තුළ ගිල්වනු ලැබූ ඛේදවාචකයන්ට යුක්තිය ඉල්ලා හඬන බිහිසුණු සාක්ෂියකි. එහෙත්, රජයේ සුපුරුදු නිහඬතාවයත්, දකුණේ බහුතරයක් මාධ්‍යවල උදාසීනත්වයත්, සමාජයේ බහුතරයකගේ නොදැනුවත්කමත් මෙම යුක්තිය හි ඉල්ලීම අඩපණ කරයි! චෙම්මනී අපරාධයන් හී බරපතළකම, රාජ්‍යයේ දණ්ඩමුක්තියේ ආකෘතිය, සහ යුක්තිය ඉල්ලා සිටින තියුණු දේශපාලනික‍ බැල්මක අවශ්‍යතාව තියුණු වෙමින් තිබේ. ඒ අදවන විට(29) බිළිදුන්ගේ ද ඇතුලු මිනිස් ඇටසැකිලි 187කට අධික ප්‍රමාණයක් චෙම්මනී සමූහ මිනී වළෙන් හමුවීමෙන් පමණක් නොවේ. ගණන් තැබීම්වලින් ඔබ්බට ගොස් සත්‍ය සහ යුක්තිය උදෙසා වන සෑබෑ ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාවය පිළිබද බරපතල ඇගවීමක් මේ සමූහ මිනී වළ හරහා ලංකාවටත්, ලෝකයටත් ලබා දෙමින් තිබෙන නිසාය.

චෙම්මනී: රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ සාක්ෂිය

එක් පැත්තකින් චෙම්මනී යනු ම යුද්ධයේ දී උතුරේ ජනතාවට එරෙහිව රාජ්‍යය විසින් සිදුකළ බිහිසුණු අපරාධයක සලකුණකි. එපමණක් ද නොවේ, චෙම්මනී සමූහ මිනී වළ තුළින් බිළිදුන්ගේ ඇටසැකිලි හමුවීම යනු හුදු පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් නොවේ; එය රාජ්‍ය බලයේ අඳුරු අපරාධ මුහුණුවරකි. මෙම ඛේදවාචකය යුක්තිය ඉල්ලා සිටිනවා පමණක් නොව, එය රාජ්‍යයේ වගකීම්වලින් පලායාම, යුද්ධකාලීන ප්‍රචණ්ඩත්වය, සහ පශ්චාත් යුද්ධකාලීන දණ්ඩමුක්තියේ ආකෘතිය ගැන තියුණු ලෙස ප්‍රශ්න කරයි. මෙම මිනී වළ යනු ශිෂ්ට සම්පන්න බවට එරෙහි මනුෂ්‍යත්වයේ බිඳවැටීමකි. එය සමාජයක ආත්මය මත තබා ඇති ලැජ්ජාවකි; එය රාජ්‍යයක බලයේ සදාචාරාත්මක අසමත්කමකි. එහෙත්, මෙම තත්ත්වයන් එසේ වුවද, අනෙක් සියල්ල ගැන සිය අදහස් ප්‍රකාශ කරන රාජ්‍යය තවමත් ඒ ගැන නිහඩ පිළිවෙතක, මුනිවත රකිමින් සිටී.

නිහඬතාවය: යුක්තියට එරෙහිවය

රජයේ නිහඬතාවය යනු යුක්තියට එරෙහි වීමක් බවට පත් වීමට හැකියාවක් තිබේ. එය බලයේ සිටින බලවතුන්ගේ උදාසීනත්වය, බිය, සහ වගකීමෙන් බැහැරවීමේ එක් ප්‍රකාශනයකි. එසේම දකුණේ බොහෝ මාධ්‍ය(කිහිපයක් හැරුණු විට), බොහෝ විට ජාතිකවාදී ආඛ්‍යානයන්ට හෝ රාජ්‍ය/ බහුතර සමාජය පිළිගත් කතිකාවට යටත්ව, චෙම්මනී ගැන කතා කිරීමෙන් වැළකී සිටීමට උත්සහා කරයි. මෙම නිහඬතාවය යනු යුක්තියේ ඉල්ලීම්වලට බාධාවක් පමණක් නොව, එය රාජ්‍යයේ නිහඩ බවට එරෙහිව සමාජයේ ඇති ප්‍රශ්න කිරීමේ හැකියාව දුර්වල කරයි. මාධ්‍යවල, සිවිල් සමාජ සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ප්‍රගතිශීලීන්ගේ වගකීම වන්නේ මෙම නිහඬතාවය බිඳ දැමීමයි. චෙම්මනී ගැන ‘ලිවීම’ යනු හුදු ලිවීමක් නොවේ; එය රාජ්‍යයේ බලයට හෝ නිහඩතාවයට එරෙහිව යුක්තිය ඉල්ලා සිටින තියුණු දේශපාලනික ක්‍රියාවළියක එක් ප්‍රධාන කොටසකි. එබැවින් ‘ලිවීම්’ තුළින් රාජ්‍යයේ දණ්ඩමුක්තියට එරෙහිව බලවත් ලෙස, තියුණු ලෙස, සහ දේශපාලනිකව ප්‍රශ්න කළ යුතුය.

යුක්තිය: දේශපාලනික අභියෝගය

යුක්තිය යනු හුදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොවේ; එය රාජ්‍ය බලයේ ස්වභාවය, එහි වගකීම, සහ එය ජනතාවට එරෙහිව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ ගැඹුරු දේශපාලනික-දාර්ශනික විමර්ශනයකි. චෙම්මනී වැනි අපරාධයන්ට යුක්තිය ඉටුකිරීමට නම්, රජයේ යුද්ධකාලීන ප්‍රතිපත්ති, එහි පශ්චාත් යුද්ධකාලීන උදාසීනත්වය, සහ දණ්ඩමුක්තියේ ආකෘතිය ගැන තියුණු ලෙස ප්‍රශ්න කළ යුතුය. තවත් පැත්තකින් යුක්තිය ලබාගැනීමට නම්, රාජ්‍ය බලය, වගවීම, සහ සත්‍යය ගැන ගැඹුරු සංවාදයක් ඇති කළ යුතුය. චෙම්මනී සමූහ මිනී වළට අදාළව ‘වර්තමානය’ ප්‍රශ්න නොකරන ජනමාධ්‍ය භාවිතාවන් මෙම අභියෝගයට සෘජු පිළිතුරු නොවේ. ඒවා රාජ්‍යයේ බලයට එරෙහිව තියුණු, විවේචනාත්මක, සහ දේශපාලනිකව බලවත්ව ඉදිරිපත් විය යුතුය.

යුක්තියේ සටන

චෙම්මනී යනු අතීතයේ සිදුකරන ලද ඛේදවාචකයක් පමණක් නොව, එය වර්තමානයේ යුක්තියේ අභියෝගයකි. රජයේ නිහඬතාවය, මාධ්‍යවල උදාසීනත්වය, සහ සමාජයේ බහුතරයකගේ නොදැනුවත්කම යනු යුක්තියට එරෙහි බලවේගයන්ය. මෙම බලවේග බිඳ දැමීමට නම්, ජනමාධ්‍ය ක්‍රියාවලීන් රාජ්‍යයේ නිහඩතාවයට/බලයට සහ දණ්ඩමුක්තියට එරෙහිව තියුණු ආයුධයක් විය යුතුය. එය රජයට බලපෑම් කළ යුතුය, එහි වගකීම් පිළිබඳ ප්‍රශ්න කළ යුතුය, සහ යුක්තියේ ඉල්ලීම ඉදිරියට ගෙන යාමට සහාය විය යුතුය. එබැවින් තවදුරටත් චෙම්මනී යනු රාජ්‍ය බලයේ අපරාධයන්ට එරෙහි අඛණ්ඩ සටනකි. එය සත්‍යය, යුක්තිය, වගවීම, සහ මනුෂ්‍යත්වය ගැන විසදුම් ඉලක්ක කරගත් සංවාදයකි. එම සටන ජයගැනීමට නම්, චෙම්මනී ගැන අප තියුණු ලෙස, දේශපාලනිකව කතා කළ යුතුය. එවිට පමණක් චෙම්මනීහි විලාපයන් නිහඬ වනු ඇත, සහ යුක්තියේ ආලෝකය ඒ හරහා බබළනු ඇත.

පසු සටහන

චෙම්මනී සමූහ මිනී වළේ වින්දිතයන්ට සත්‍යය සහ යුක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් පිළිබඳ දීර්ඝකාලීන සංවාදය ක්‍රියාශීලීව ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක පියවරක් ලෙසද ඉදිරියට ගෙන ඒම, විශේෂයෙන් නැවත වරක් එවන් අපරාධයන් ඇතිවීම වැළැක්වීමට ඇති එක් පියවරක් බවත් අවබෝධ කර ගතයුතුය. යුක්තිය ඉටුකිරීම තුළින් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්, බලය බෙදාහැරීම ආදී තත්ත්වයන් පිළිබදව ගැඹුරු සාකච්ඡාවක් ඇති කළ යුතුය. මෙම සංවාදය තියුණු සහ බලවත් ලෙස ගොඩනැගිය යුතුය; එවිට පමණක් චෙම්මනී වැනි අපරාධයන්ට යුක්තිය ඉටුවනවා පමණක් නොව, දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන්ට සවන්දෙන ‘තිරසාර සාමයක්’ ගොඩනැගිය හැකිය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon