iMage: GenAI

රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ දැඩි විවේචනයට ලක්වූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ (ATA) 65 වන වගන්තියත්, වත්මන් අනුර කුමාර දිසානායක ආණ්ඩුව යෝජනා කරන PSTA හි 55 වන වගන්තියත් දෙස බැලීමේදී(මා විසින් මීට පෙර එහි පැහැදිලි කිරීමක් සිදුකර ඇත) පෙනී යන්නේ, පාලකයින් කවුරුන් වුවද, ඩිජිටල් අවකාශය සම්බන්ධයෙන් ඔවුන්ගේ මර්දනකාරී මනෝභාවය එකම කාසියක දෙපැත්තක් බවයි. (වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව විශේෂයෙන් ‘චීන ලැදියාවක්’ දක්වන බව පෙනෙන්නට තිබීම මෙම තත්ත්වය තවත් තහවුරු වෙයි.)

ATA සහ PSTA වගන්ති දෙකෙහිම(65 – 55) පොදු අරමුණ වී ඇත්තේ End-to-End Encryption (E2EE) හෙවත් පෞද්ගලික පණිවුඩ හුවමාරුවේ පවතින ආරක්ෂිත ආවරණය බිඳ දැමීම සඳහා බලධාරීන්ට බලය ලබා ගැනීමයි. මෙය හුදු නීතිමය තත්ත්වයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මාරක ප්‍රහාරයකි.

ප්‍රතිපත්තිමය බිඳවැටීම

විපක්ෂයේ සිටියදී මර්දනකාරී නීතිවලට එරෙහිව හඬ නැඟූ සහ පුරවැසි නිදහස වෙනුවෙන් දැඩිව පෙනී සිටි ‘මාළිමා’ දේශපාලනය, බලය ලැබුණු පසු එම මර්දන උපකරණම තවදුරටත් මුවහත් කරමින් සිටියි. මෙය අතීතයේ ඔවුන් කළ ප්‍රකාශ සහ ක්‍රියාකාරීත්වයන් ‘රාජ්‍ය බලය’ හමුවේ ‘සතපහකට මායිම් නොකරන’ බවට දිය හැකි හොඳම සාක්ෂියයි.

පෞද්ගලිකත්වයේ මරණ වරෙන්තුව

E2EE ආරක්ෂාව කඩා දැමීම යනු සෑම පුරවැසියෙකුගේම පෞද්ගලික සංවාද, මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර සහ දේශපාලන විවේචන රජයේ නිරන්තර නිරීක්ෂණයට (Surveillance) නතු කිරීමයි.

බලය රැකගැනීමේ අභිලාෂය

යෝජිත පනත් කෙටුම්පත හි ඇති ‘ත්‍රස්තවාදය වැලැක්වීම’ යන ලේබලය යටතේ රජය උත්සාහ කරන්නේ තාක්ෂණය මෙවලමක් කරගනිමින් විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමටත්, තමන්ගේ දේශපාලන බලය ඕනෑම මිලක් ගෙවා රැකගැනීමට සූදානම් බවට පෙන්වන නීතිමය සාක්ෂියකි.(යෝජනාවක් වුවත් – කිසියම් යෝජනාවක් කවුරුන් හෝ විසින් සිදුකරන්නේ ඔවුන් එම යෝජනාවට ඇති කැමත්ත, ලැදියාව, උවමනාව, අත්‍යශව්‍යතාවය ආදී හේතු නිසාය.)

මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ පාලකයා මාරු වුවද පාලන තන්ත්‍රයේ ස්වරූපය වෙනස් වී නැති බවය. එපමණක් ද නොවේ. මෙම පනත් කෙටුම්පත තුළින් ජාතික ආරක්ෂාව නාමයෙන් පුරවැසියාගේ ඩිජිටල් අවකාශය ආක්‍රමණය කිරීමට දරන මෙම උත්සාහය, ශ්‍රී ලංකාව තුළ නව ආකාරයක ‘ඩිජිටල් ඒකාධිපතිවාදයකට’ මඟ පාදන්නකි. කෙසේ නමුත්, ‘පද්ධතිමය වෙනසක්’ වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුවක්, පැරණි මර්දනකාරී මාවතේම ගමන් කිරීමට උත්සහා කිරීම ජනවරමට කරන ලද බරපතල නිග්‍රහයකි.

*ඩිජිටල් ඒකාධිපතිවාදය යනුවෙන් සරලව සැලකීමේදී, රජයන් විසින් නූතන දියුණු-තියුනු ඩිජිටල් තාක්ෂණය – නිරීක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, දත්ත විශ්ලේෂණය, අන්තර්ජාල පාලනය – භාවිතා කරමින් පුරවැසියන් නිරීක්ෂණය, පාලනය, සහ මර්දනය කිරීමයි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon