iMage: GenAI

මිනිසුන්ගේ ‘පෞද්ගලිකත්වය’ මර්දනය කිරීමට උත්සහා කරන කිසිදු පාලනයකින් මාධ්‍ය නිදහස අපේක්ෂා කළ නොහැකිය.

පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම්වල මූලික-වැදගත්ම කොටස්වලින් එකකි; එය නිදහස් චින්තනයේ, විවේචනාත්මක අදහස් ගොඩනැගීමේ සහ අධිපති බලයට එරෙහිව නිදහස වෙනුවෙන් වන කතිකාවට/ ක්‍රියාකාරීත්වයට මුළික පදනමක් සපයයි. රාජ්‍යයක් හෝ බලධරයෙක් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය මර්දනය කිරීමට උත්සාහ කරන විට, එය සිදුකරන්නේ තමන්ට අභියෝගයක් විය හැකි ස්වාධීන චින්තනයන් මුලින්ම නිහඬ කිරීමටය. සමාජ මාධ්‍ය තුළ සිදුකරන නිරීක්ෂණය, දුරකථන ඇමතුම් ලුහුබැඳීම, පුද්ගලික දත්ත රැස්කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් එය සිදුකරන විට ඇතිවන්නේ භීතිය රජයන සමාජයකි – එහි දී මිනිසුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතති. මෙවැනි බියකින් යුත් සමාජයක මාධ්‍යවේදීන්ට ද සිය වෘත්තීය කටයුතු නිදහස්ව-බියකින් තොරව සිදුකිරීමට ඇති නිදහස අහුරා දමනු ඇත. ඔවුන්ද ස්වයං-වාරණයට යටත් වෙති. එබැවින් පෞද්ගලිකත්වය මර්දනය කරන හෝ මර්දනය කිරීමට උත්සහා කරන පාලනයකින් මාධ්‍ය නිදහස අපේක්ෂා කිරීම ආත්ම වංචාවකි.

අනෙක් අතට, පෞද්ගලිකත්වය මර්දනයට ගන්නා උත්සහය යනු බලයේ සදාකාලිකත්වය පවත්වා ගැනීමට ගන්නා නරුම උපක්‍රමයකි. එය තොරතුරු ප්‍රවාහය පාලනය කිරීමේ පළමු පියවරයි; මන්ද තමන්ගේ පෞද්ගලික ජීවිතය ආරක්ෂා නොවන තැනක මිනිසුන් බලයේ අකටයුතුකම් හෙළිකරන්නට ඉදිරිපත් නොවෙති. මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර ආරක්ෂාව, විශ්වාසවන්ත තොරතුරු ලබාදෙන්නන්ගේ නිර්ණාමිකත්වය සහ සිවිල් සමාජයේ ස්වාධීන ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන විට, රාජ්‍යයට කැමති “සත්‍යය” පමණක් ඉතිරිවේ. එවිට මාධ්‍ය නිදහස යනු නමට පමණක් තිබෙන වචනයක් වනු ඇත. එසේ වූ විට එය බලයේ ප්‍රචාරණ යන්ත්‍රයක් පමණකි. පෞද්ගලිකත්වය ආරක්ෂා නොකරන පාලනයක මාධ්‍ය නිදහස නැත; ඇත්තේ බලයේ ආධිපත්‍යය තහවුරු කරන නිහඬ-භිතිය සහිත යටත්වැසි සමාජයකි.

ප්‍රභල අනතුරු ඇගවීමක්

වර්තමාන ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) බලයට පත් වූයේ මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍ය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්දනය කිරීමත් වෙනුවෙන් ය. එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිට මැතිවරණ වේදිකාවල සිදුකල අදහස් දැක්වීම්වලින්ද මනාවට තහවුරු වෙයි.

නමුත් එවැනි සමාජ ගිවිසුමක් සහිතව බලයට පත් වූ ආණ්ඩුව මේ වන විට අලුත් පනත් කෙටුම්පතක් හදුන්වා දී ඇත. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(කෙටුම්පත – PSTA) ලෙස එය හදුන්වා දී තිබේ. ඉතාමත් මර්දනිය පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අහෝසි කිරීම ට යැයි පවසමින් කෙටුම්පත් කර ඇති එම පනත, එහි හරයාත්මක අදහස වන්නේ ඉතාමත් බියකරු-මර්දනීය අන්ත්ර්ගතයන් අඩංගු පනතක් බවය.

එම පනත් කෙටුම්පතේ අති සියලු බියකරු-මර්දනීය තත්ත්වයන්(මීට පෙර ලිපියක සමස්ත අදහස මා විසින් ලියා ඇත) තුළ මෙම සටහනින් උත්සහා කරන්නේ ‘පෞද්ගලිකත්වය මර්දනයට’ එම පනත් කෙටුම්පතින්(PSTA) යෝජනා කර ඇති අන්තර්ගතයන් විමසීමට ලක් කිරීමටයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(කෙටුම්පත – PSTA) සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය

“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත, අංක 2026” නමැති නව පනත් කෙටුම්පත මගින් පුද්ගලිකත්වයට ඇති අයිතිය (Right to privacy), විශේෂයෙන්ම ඩිජිටල් සන්නිවේදනය සහ දත්ත රහස්‍යභාවය සම්බන්ධයෙන් දැඩි මර්දනයකට ලක්වීමේ අවදානමක් පවතී. එහි ඇති පෞද්ගලිකත්වය උල්ලංඝනය වන ප්‍රධාන ආකාර කිහිපයක් විමසීමට ලක් කරමු:

1. සන්නිවේදනයට සවන් දීම සහ Decryption කිරීමේ බලතල (55 වැනි වගන්තිය)

මෙම 55 වැනි වගන්තිය මගින් රජයට පුද්ගලයන්ගේ පෞද්ගලික සන්නිවේදනයන්ට සවන් දීමට, වෙනත් යම් මාධ්‍යක් හරහා සිදුකරන සන්නිවේදනයකට බාධා කිරීමට, සහ ඒවායේ රහස්‍යභාවය බිඳීමට (Decrypt) ඉතා පුළුල් බලතල ලබා දෙයි. (ඕනෑම සන්නිවේදනයක E2EE ඉවත් කිරීමට -Decrypt lකිරීමට) මේ යටතේ මහේස්ත්‍රාත්වරයෙකුට නියෝගයක් නිකුත් කරමින් ඕනෑම විද්‍යුත් තැපෑලක් (Email), දුරකථන ඇමතුමක්, අන්තර්ජාල පණිවිඩයක් හෝ වීඩියෝ සාකච්ඡාවකට සවන් දීමට හෝ ඒවා පරීක්ෂා කිරීමට අවසර දිය හැකි අතර, විශේෂයෙන්ම WhatsApp හෝ Signal වැනි Encrypted(ගුප්ත කේතනය) සන්නිවේදනයන් පවා එහි ආරක්ෂිත අගුළු හැර තොරතුරු ලබා දෙන ලෙස සේවා සපයන ආයතනවලට හෝ අදාළ පුද්ගලයන්ට නියෝග කළ හැකිය. “සාධාරණ සැකය” වැනි ලිහිල් පදනමක් මත ලබා ගත හැකි මෙම නියෝග හරහා, පුද්ගලික දත්තවල රහස්‍යභාවය අහෝසි කරමින් ඕනෑම ඩිජිටල් සන්නිවේදනයකට ප්‍රවේශ වීමට බලධාරීන්ට නීතිමය අවසරය මේ මගින් හිමිවනු ඇත.

2. පුද්ගලික උපකරණ සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම (19, 20 සහ 24 වැනි වගන්ති)

19 වැනි වගන්තිය මගින් සන්නද්ධ හමුදා සාමාජිකයන්ට/ වෙරළ ආරක්ෂක නිළදාරීන්ට සාමාන්‍යයෙන් පොලිසිය සතු සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල ලබා දී ඇති අතර, 20 වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදී වැරදිවලට සම්බන්ධ කර ගත්තා යැයි ‘සැක කරන’ ජංගම දුරකථන, ලැප්ටොප් සහ වෙනත් ඩිජිටල් උපකරණ අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට අවසර ලැබේ. මෙම බලතල වඩාත් බරපතල වන්නේ 24 වැනි වගන්තිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසියට භාර දීමට පෙර පැය 24 ක කාලයක් ඔවුන්ගේ භාරයේ තබා ගැනීමට අවසර දීම නිසාය; මෙම කාල සීමාව තුළ, බලහත්කාරය හෝ වධහිංසාව පවා භාවිත කරමින් පුද්ගලික උපකරණවලට පිවිසීමට අවශ්‍ය මුරපද (Passwords) ලබා ගැනීමට හෝ දත්ත පිටපත් කර ගැනීමට අදාළ(හමුදා හෝ වෙරළ ආරක්ෂක) නිලධාරීන්ට අවස්ථාව ලැබීම පුද්ගලිකත්වය සහ තොරතුරු රහස්‍යභාවය දැඩි අනතුරකට ලක් කරයි.

3. රහස්‍ය තොරතුරු පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම (8 සහ 78 වැනි වගන්ති) ‍

78 වැනි වගන්තිය මගින් පනතේ සඳහන් “රහස්‍ය තොරතුරු” යනු මොනවාදැයි ඉතා පුළුල් ලෙස අර්ථ දක්වයි. මෙයට හමුදා හෝ පොලිස් නිලධාරීන් සිටින ස්ථාන (Movements), ඔවුන් කරන රාජකාරි, පවත්වන පරීක්ෂණ සහ ජාතික ආරක්ෂාවට අදාළ මුරපද (Passwords) හෝ Secret code (රහස් කේත) ඇතුළත් වේ. මේ අනුව, හමුදා මුරපොළවල් හෝ වැටලීම්(සිවිල් අවකාශය තුළ) ගැන සමාජ මාධ්‍යවල පළ කරන ඡායාරූප හෝ තොරතුරු පවා මෙම “රහස්‍ය තොරතුරු” ගණයට වැටිය හැකිය. 8 වැනි වගන්තිය (විශේෂයෙන් 8(2) උපවගන්තිය) මගින් පවසන්නේ, යමෙකු මෙම තොරතුරු ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා භාවිත කළ හැකි බව දැන දැනම හෝ එසේ විය හැකි බවට සාධාරණ සැකයක් ඇතිව ඒවා එකතු කිරීම හෝ වෙනත් අයෙකුට ලබා දීම බරපතල අපරාධයක් බවයි. සරලවම, රජය රහසිගත යැයි සලකන තොරතුරු (හමුදා ගමන් බිමන් වැනි) දැනුවත්ව රැස් කිරීම හෝ බෙදා හැරීම මෙම වගන්ති මගින් තහනම් කර ඇත.

නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” හි 8 සහ 78 වැනි වගන්ති මගින් පුද්ගලිකත්වයට (Privacy) දැඩි බලපෑමක් එල්ල වන්නේ, රජය විසින් “රහස්‍ය තොරතුරු” යන්න අතිශය පුළුල් ලෙස අර්ථ දක්වා තිබීම සහ ඒවා රැස් කිරීම අපරාධයක් බවට පත් කිරීම නිසාය.

– පුළුල් අර්ථ දැක්වීම (78 වැනි වගන්තිය): මෙම වගන්තිය යටතේ “රහස්‍ය තොරතුරු” යන්නට යම් තැනැත්තකුගේ “ක්‍රියාකාරකම්, ගමන් බිමන් හෝ සිටින ස්ථානය” (Functions, Movements, or Whereabouts) පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ගමන් බිමන් හෝ ඔහු සිටින තැන පිළිබඳ තොරතුරු පුද්ගලික කරුණු වන නමුත්, මෙම පනත යටතේ ඒවා රජයේ පාලනයට නතු වේ.

– අපරාධයක් ලෙස සැලකීම (8(2) වගන්තිය): යමෙකු එවැනි තොරතුරු ත්‍රස්තවාදයට භාවිත කළ හැකි බවට ‘සාධාරණ සැකයක්’ ඇතිව රැස් කළහොත් හෝ වෙනත් අයෙකුට ලබා දුන්නොත් එය බරපතල අපරාධයකි.

– ඩිජිටල් පෞද්ගලිකත්වය: “රහස්‍ය තොරතුරු” යන්නට “රහස් කේත, මුරපද (Passwords) හෝ Encryption Details (විකේතන විස්තර)” ද ඇතුළත් වේ. මෙයින් අදහස් වන්නේ පෞද්ගලික ඩිජිටල් උපකරණවල මුරපද පවා ජාතික ආරක්ෂාවට අදාළ “රහස්‍ය තොරතුරු” ලෙස නම් කර ඒවා ලබා දීමට බල කළ හැකි බවයි.

උදාහරණයක්: සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හෝ සිවිල් පුරවැසියෙකු තම ප්‍රදේශයේ සිවිල් අවකාශයේ සිදු වන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරීත්වයක්, මුරපොළක් හෝ හමුදා කණ්ඩායම් ස්ථානගත කිරීමක් ඡායාරූප ගත කර Facebook, WhatsApp හෝ Twitter හරහා ප්‍රචාරය කිරීම.

• උල්ලංඝනය වන ආකාරය: මෙවැනි ඡායාරූපයක් පළ කිරීම “නිලධාරීන්ගේ ගමන් බිමන්” හෝ “මෙහෙයුම් පවත්වන ආකාරය” පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් ලෙස සැලකිය හැකිය.

• ප්‍රතිඵලය: එම පුද්ගලයාට ත්‍රස්තවාදය සඳහා තොරතුරු රැස් කළ බවට චෝදනා කරමින් 8(2) වගන්තිය යටතේ නඩු පැවරිය හැකිය. එනම්, විවෘත මහජන අවකාශයක සිදු වන දෙයක් පවා වාර්තා කිරීමට ඇති අයිතිය සහ එම පුද්ගලයාගේ සන්නිවේදන නිදහස “රහස්‍ය තොරතුරු” නාමයෙන් මර්දනය වීමට ලක් වනු ඇත.


4. සන්නිවේදන සේවා සපයන්නන් පාලනය කිරීම (53 වැනි වගන්තිය)

පනතේ 53 වැනි වගන්තිය මගින් රජයට සහ පොලිසියට විදුලි සංදේශ, චන්ද්‍රිකා සහ අන්තර්ජාල සේවා සපයන ආයතන (Internet Service Providers) හරහා පුරවැසියන්ගේ දත්ත-තොරතුරු ලබා ගැනීමට ඇති බලය විස්තර කරයි. සරලව පැවසුවහොත්, 53 වැනි වගන්තිය යටතේ, පොලීසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන දුරකථන සමාගම් (Dialog/Mobitel වැනි), අන්තර්ජාල සේවා සපයන්නන්-දත්ත ගබඩා කරන ආයතනවලින් පුරවැසියන්ගේ තොරතුරු ලබා ගත හැකිය:

• ඔබ ලබාගත් සේවාවන් පිළිබඳ විස්තර.
• එම ආයතනවල ගබඩා කර ඇති හෝ සංරක්ෂණය කර ඇති (Archived) ඔබගේ දත්ත.
• ඔබ අන්තර්ජාලය හරහා දත්ත Downloading හෝ Uploading කර ඇති ආකාරය පිළිබඳ වාර්තා ඇතුලු දත්ත සහ තොරතුරු ලබා ගත හැකිය.

මෙම වගන්තිය 55 වැනි වගන්තිය (Decryption කිරීම) සමඟ සමගාමීව ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ සන්නිවේදන අන්තර්ගතයට අමතරව, සේවා සපයන ආයතන සතු පරිශීලක වාර්තා සහ ගබඩා කළ දත්ත ලබා ගැනීමයි.

5. තොරතුරු වාර්තා කිරීමේ වගකීම (15 වැනි වගන්තිය)

පනතේ 15 වැනි වගන්තිය මගින් ත්‍රස්තවාදී වරදක් පිළිබඳව යම් තොරතුරක් දැනගත් ඕනෑම අයෙකු එම තොරතුරු වහාම පොලිසියට වාර්තා කිරීම නීතියෙන් අනිවාර්ය කර ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වීම අවුරුදු හතක්(07) දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස දක්වා ඇත. මෙමගින් මාධ්‍යවේදීන්, නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් හෝ ආගමික නායකයින් මෙන්ම සමාජ මාධ්‍ය සමූහවල Admins පවා දැඩි අවදානමකට ලක් වන්නේ, තමන්ට ලැබෙන පෞද්ගලික හෝ වෘත්තීය රහස්‍ය තොරතුරු රජයට ලබා දෙන තොරතුරු සපයන්නන් (Informants) ලෙස කටයුතු කිරීමට ඔවුන්ට නීතියෙන් බල කෙරෙන බැවිනි. මෙය පුරවැසියන් අතර පවතින විශ්වාසය සහ සන්නිවේදනයේ රහස්‍යභාවය බිඳ දමනවා සේම, යම් තොරතුරක් දැනගෙන එය වාර්තා නොකර සිටීම පවා පුද්ගලයෙකු අපරාධකරුවෙකු වීමට හේතු වේ.

මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වුවහොත්, මෙම 15වෙනි වගන්තිය අනුව පහත දේවල් සිදුවිය හැකිබවට පුරෝකතනය කළ හැකිය.(පනතේ ඇති විදිවිධාන අනුව)

මාධ්‍යවේදියෙක් සම්බන්ධයෙන් උදාහරණය: ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් උතුරු ප්‍රදේශයේ තොරතුරු සොයා යන අතරතුර, එයට පෙර සන්නද්ධ කණ්ඩායම්වල (උදාහරණයක් ලෙස LTTE) සාමාජිකයෙකුව සිටි අයෙකු පිළිබඳව හෝ යම් තහනම් සංවිධානයකට සහය දක්වන පිරිසක් පිළිබඳ තොරතුරු දැනගත්තේ යැයි සිතන්න.) මාධ්‍ය ආචාරධර්මවලට අනුව තමන්ගේ තොරතුරු මූලාශ්‍ර රහසිගතව තබා ගැනීමට ඔහුට අයිතියක් තිබුණ ද, මෙම පනත යටතේ ඔහු එම තොරතුරු වහාම පොලීසියට වාර්තා කළ යුතුය. එසේ නොකළහොත් එම මාධ්‍යවේදියාට අවුරුදු හතක්(07) දක්වා සිර දඬුවම් ලැබිය හැකිය.

සමාජ මාධ්‍ය සමූහ (WhatsApp/Facebook Admin) උදාහරණය: ඔබ WhatsApp සමූහයක Admin ලෙස කටයුතු කරන විට, එම සමූහයේ සාමාජිකයෙකු විසින් රජය විසින් තහනම් කරන ලද සංවිධානයකට සහය දක්වන හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැකි පණිවිඩයක් පළ කරන්නේ යැයි සිතන්න. ඔබ එම පණිවිඩය දැක එය පොලිසියට වාර්තා නොකළහොත්, තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ඔබ වරදකරුවෙකු විය හැකිය. මෙහිදී ඔබට සිදු වන්නේ සමූහයේ සාමාජිකයා පාවා දීමට හෝ වසර හතක සිර දඬුවමකට මුහුණ දීමටයි.

නීතිඥයෙක්ගේ උදාහරණය: යාපනයේ සිටින නීතිඥයෙක් වෙත පැමිණෙන සේවාදායකයෙකු, තමන් මීට පෙර සන්නද්ධ කණ්ඩායම් සමඟ තිබූ සම්බන්ධතා ගැන රහසිගතව පවසන්නේ යැයි සිතන්න. සාමාන්‍යයෙන් නීතිඥයෙක් සහ සේවාදායකයෙකු අතර පවතින රහස්‍යභාවය (Attorney-Client Privilege) මත මෙය ආරක්ෂා විය යුතු වුවත්, මෙම පනත අනෙකුත් සියලුම ලිඛිත නීති අභිබවා යන බැවින් නීතිඥයාට එම තොරතුරු පොලිසියට ලබා දීමට සිදු වේ. එසේ නොකළහොත් ඔහුටද අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදු වේ.

මෙම වගන්තිය මගින් සිදු වන්නේ යම් පුද්ගලයෙකු තොරතුරු සපයන්නෙකු (Informant) ලෙස කටයුතු නොකිරීම ම අපරාධයක් බවට පත් කිරීමයි.

යෝජිත පනත් කෙටුම්පත හී ‘පෞද්ගලිකත්වය’ සම්බන්ධ අන්තර්ගතය පමණක් කොතරම් බරපතලද? එය අපගේ ජීවිතය ලස්සන-පොහොසත් කරයිද?

මෙම නව පනත මගින් පෞද්ගලිකත්වය යනු හුදු අයිතියක් නොව රජයේ දැඩි නිරීක්ෂණයට නතු වූ “දැඩි අනතුරක්” බවට පත් කර ඇති අතර, ඩිජිටල් සන්නිවේදනයන් Decryption කිරීම (55 වැනි වගන්තිය) සහ සේවා සපයන්නන්ගේ දත්ත ග්‍රහණය කර ගැනීම (53 වැනි වගන්තිය) හරහා පුද්ගලයාගේ අභ්‍යන්තර සන්නිවේදන ලෝකය සම්පූර්ණයෙන්ම විවෘත කර, දැඩි අවදානමකට ලක් කර ඇත. සන්නද්ධ හමුදාවන්ට සිවිල් අධීක්ෂණයකින් තොරව පුද්ගලික උපකරණ සෝදිසි කිරීමට සහ පැය 24ක් රඳවා තබාගෙන (බලහත්කාරයෙන් හෝ – ලංකාවේ සංදර්බය අපි කවුරුත් දනිමු) තොරතුරු ලබා ගැනීමට ඉඩ දීමෙන් (19, 20, 24 වැනි වගන්ති) පුද්ගල නිදහස දැඩි තර්ජනයකට ලක්ව ඇති අතර, රහස්‍ය තොරතුරු පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම් (78 සහ 8 වැනි වගන්ති) මගින් සාමාන්‍ය පුරවැසියෙක්ගේ දෛනික ජීවිතයේ කටයුතු පවා අපරාධයක් ලෙස හංවඩු ගැසීමේ අවදානමක් නිර්මාණය කර තිබේ. වඩාත්ම සංවේදී කරුණ වන්නේ, තොරතුරු වාර්තා කිරීම අනිවාර්ය කිරීම (15 වැනි වගන්තිය) මගින් මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු සියලු දෙනා රජයේ තොරතුරු සපයන්නන් ලෙස බලහත්කාරයෙන් බඳවා ගැනීම වැනි අදහසක් හරහා සමාජයේ පවතින මිනිස් විශ්වාසය සහ මානුෂීය සබඳතාවල පදනම ම බිඳ දැමීමට අඩිතාලම සකස් කිරීමයි.

මිනිසෙකුගේ පෞද්ගලිකත්වය යනු හුදු රහසක් පමණක් ම නොව, ඔහුගේ ආත්මගෞරවයේ සහ නිදහස පිළිබද අත්‍යවශ්‍ය කොන්දේසියකි. යම් පාලනයක් විසින් පුරවැසියාගේ එම පෞද්ගලික අවකාශයට අතපෙවීමට හෝ එය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම්, එහි අරුත වන්නේ ඔවුන් නිදහස් චින්තනයට බිය වන බවයි. පෞද්ගලිකත්වය ගරු නොකරන, මිනිසුන්ව නිරන්තර විමර්ශනයට හා නිරීක්ෂණයට (Surveillance) ලක් කරන එවැනි පීඩිත වටපිටාවක මාධ්‍ය නිදහස යන්න හුදු සිහිනයක්ම පමණි; මක්නිසාද යත්, තනි මිනිසෙකුගේ පෞද්ගලික හඬ, නිහඬ කරන පාලනයක් කිසිවිටකත් සමාජයක සාමූහික සත්‍යය ප්‍රකාශ කරන කිසිදු මාධ්‍යයක නිදහස් හා ස්වාධීන පැවැත්මට ඉඩ නොතබන බැවිනි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) යනු පුරවැසියාගේ පෞද්ගලිකත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද දඩයම් කරන මර්දනීය මෙවලමකි. මෙවැනි අත්තනෝමතික බලතල සහිත කෙටුම්පතක් මඟින් සිදු කරන්නේ නිදහස් චින්තනයේ මරණ වරෙන්තුව ලියා තැබීමයි. මෙම මාරක උගුලට එරෙහිව අප අද සාමූහිකව නැගී නොසිටියහොත්, හෙට දිනයේ අපට උරුම වනු ඇත්තේ අප විසින්ම කපාගත් අපේම නිදහසේ මිනීවලයි. එබැවින්, මෙම මර්දනකාරී පනත් කෙටුම්පත පරාජය කිරීම මේ මොහොතේ මඟ හැරිය නොහැකි ප්‍රමුඛතම පුරවැසි වගකීමකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon