iMage: AKD/Facebook
ශ්‍රී ලංකාව සිය ’78 වන නිදහස් සමරුව’ පසුගිය පෙබරවාරි 4 වනදා, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පවත්වනු ලැබුවේ යටත් විජිත පාලනයෙන් නිදහස් වීම සංකේතවත් කරමිනි. මෙවර උත්සවයේදී යුදකාමී දර්ශන ඉවත් කර තිබීමත්, සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම ‘ජාතික ගීය’ ගායනා කිරීමත් සමාජයේ පැසසුමට ලක්විය. (ජාතික ගීය ගායනා කිරීමෙන් පමණක් සිදුකරණ ලද අපරාධවලට යුක්තිය, දේශපාලන ඉල්ලීම් ඇතුලු තත්ත්වයන්ට සාධාරණත්වය ඉටුවන්නේ නැති බව අප සිහිතබා ගත යුතුව ඇත) එහිදී ජාතිය ඇමතූ අනුර කුමාර දිසානායක ජනාධිපති විසින් නිදහස සහ අනාගත අභියෝග පිළිබඳව අදහස් දැක්වූ අතර, ඒ පිළිබඳව ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබිණි:
“ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවති අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගි වීමි.
මව්බිමේ සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සියලු විරුවන් වෙනුවෙන් ජාතියේ උත්තමාචාරය සහ ගෞරවය පුද කරමින් අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු’යි සියලු දෙනාට ආරාධනා කළෙමි.
අප ජාතියක් ලෙස ලැබූ නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් බවත්, ඒ සඳහා “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක්, ජාතික සමගිය, නීතියේ ආධිපත්‍යය, පාරිසරික සුරක්ෂිතතාව, ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාව යන කුලුනු පහ මත පදනම් වූ නව පරිවර්තනීය යුගයක් කරා රට මෙහෙයවන බවත්, රට ආර්ථික වශයෙන් ලබන ජයග්‍රහණවල ප්‍රතිලාභ ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම් දක්වා ගලා යාමට සැලැස්වීම රජයේ ප්‍රමුඛ අරමුණ බවත් සඳහන් කරමින් ඒ සඳහා වූ දිගු ගමන එකට එක්ව යාමට සියලු දෙනාට ආරාධනා කළෙමි.”
සැමරුම සහ යථාර්ථය අතර ගැටුම
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත්, සංකේතීය සැමරුමත් පසෙක තිබිය දී, ජනාධිපති දිසානායක ප්‍රමුඛ වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින්ම පුරවැසියාගේ මූලික නිදහස බරපතල ලෙස අභියෝගයට ලක් කරන නීතිමය ප්‍රතිපාදන යෝජනා කර තිබීම මෙහි ඇති විශාලතම උභතෝකෝටිකයයි. විශේෂයෙන්ම, යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’(PSTA) නම් කෙටුම්පත හරහා ඉතාමත් බියකරු නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට ආණ්ඩුවේ සැළැස්ම ගැන දැන් කිසියෙකුටවත් රහසක් නොවේ. එක් අතකින් නිදහස සහ නීතියේ ආධිපත්‍යය ගැන රමණීය – උත්තුංග කතා පවත්වන අතරතුර, අනෙක් අතින් පුරවැසියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, පෞද්ගලිකත්වය සහ විවේචනය කිරීමේ අයිතිය අහුරා දැමිය හැකි මර්දන නීති හඳුන්වා දීම පරස්පර විරෝධී ක්‍රියාවකි.

(මෙය දළ සාරාංශයක් පමණි. මෙයට වඩා PSTA මර්දනීය අන්තර්ගතයක් සහිත බව මා මීට පෙර මෙම වෙබ් අඩවයටම ලියා ඇත)
ආර්ථික නිදහස සහ සිවිල් නිදහස
ජනාධිපතිවරයාගේ අදහස පරිදි පරිපූර්ණ නිදහස ආර්ථික නිදහස මත පදනම් වන බවක් හැගවේ. එහෙත්, ආර්ථික යුක්තිය ඉල්ලා ජනතාව හඬ නගන විට එය මර්දනය කිරීමට නීති සම්පාදනය කිරීම හරහා සිදුවන්නේ නිදහස තවදුරටත් කප්පාදු වීමයි. සැබෑ නිදහස යනු රජයක් විසින් ජනතාවට ලබා දෙන “ප්‍රසාද දීමනාවක්” නොව, ජනතාව සතු බිදහෙළිය නොහැකි අයිතියකි. නිදහස් චතුරශ්‍රයේ අභිමානයෙන් නිදහස සමරන අතරතුරම, පිටුපස දොරෙන් මර්දනකාරී නීති ගෙන ඒම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම දැඩි ලෙස දුර්වල කිරීමකි. සැබෑ ලෙසම “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව සාක්ෂාත් කරගත හැක්කේ බියෙන් තොරව අදහස් ප්‍රකාශ කළ හැකි, තමන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත යැයි හැගෙන, එය ප්‍රායෝගිකව අත්විදිය හැකි පුරවැසියෙකු බිහි වූ විට පමණි.
නිදහසේ හෙට දවස
මෙවැනි තත්ත්වයක් තුළ ‘නිදහස’ ගැන අභිමානයෙන් කතා කිරීම යනු කුමක්ද? එය ජනතාව හමුවේ රඟපාන දේශපාලන විහිළුවක්ද? එසේත් නැතිනම් PSTA වැනි බියකරු බවේ යක්ෂයින් බැටළු හමකින් වසා පරිස්සමට, අයිසින් තවරා සමාජගත කිරීමක්ද? එසේම ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ‘රාජ්‍ය ආරක්ෂාව’ යන ලේබලය බොහෝ විට භාවිතා වී ඇත්තේ ජනතාවගේ නිදහස් අදහස් මර්දනය කිරීමටය. නිදහස පිළිබඳව මෙතරම් ගැඹුරු අර්ථකථන සපයන ආණ්ඩුවක්, මර්දන නීති හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අත්තිවාරම ම දෙදරවා හැරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයකි. මර්දන නීති කරළියට එන මොහොතක, නිදහස් සමරුවේ වර්ණවත් බවින් පමණක් එම බියකරු යථාර්ථය යටපත් කළ නොහැකි වනු ඇති.
අවසාන වශයෙන් අප අපෙන්ම විමසා ගත යුත්තේ මෙයයි – අප සමරන්නේ මර්දන නීති මගින් කොටු කරන ලද අනාගත පොළිස් රාජ්‍යක් තුළ ‘නිදහසක් ද?’ නැතහොත් අපට අවශ්‍ය වන්නේ බියෙන් තොරව ප්‍රශ්න කළ හැකි සහ අභිමානයෙන් හුස්ම ගත හැකි ‘සැබෑ නිදහසක් ද’
සම්පත් සමරකෝන් | Sampath Samarakoon