iMage: AKD/ Facebook
වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවෙන් කියැවෙන්නේ ඉතාමත් වැදගත්, ප්‍රශස්ත පණිවිඩයකි. නමුත් එම පණිවිඩය සැබවින්ම අර්ථවත් වන්නේත්, එය පුරවැසියාගේ නිදහස සහ සාධාරණත්වය උදෙසා සැබෑ ලෙසම බලපාන්නේත් එම පණිවිඩයට පාදක වූ කුපුකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි මර්දනීය නීතිමය ව්‍යුහයන් සහමුලින්ම අහෝසි කර දැමූ දිනකදී පමණි. එම ‘මෘග නීති’ පද්ධතිය එලෙසම පවතින තාක් කල්, අධිකරණය ලබා දෙන මෙවැනි ප්‍රශස්ත තීන්දු එසේ තිබියදී, ඕනෑම පාලකයෙක් විසින් සිදුකරනු ලබන්නේ මර්දනයේ “තුවාලයට වෙදකම් කිරීමක්” මිස, එම මර්දනීය වසංගතය මෙරටින් තුරන් කිරීමක් නොවේ.
නිදහස යනු “තාවකාලික අවසරයක්” වීම
මර්දනීය නීති රෙගුලාසි නීති පොතේ පවතින තාක්, පුරවැසියා භුක්ති විඳින නිදහස යනු පාලකයාගේ “අනුකම්පාව” මත පදනම් වූ තාවකාලික අවසරයක් පමණි. පාලකයාට අවශ්‍ය ඕනෑම මොහොතක PTA වැනි දරුණු අවියක් අතට ගෙන පුරවැසි නිදහස සිරගත කළ හැකිය. වසර කිහිපයක නඩු විභාගයකින් පසු එම අත්අඩංගුවට ගැනීම වැරදි බව අධිකරණය ප්‍රකාශ කරන විට, අදාළ පුරවැසියාගේ ජීවිතයේ වටිනාම කාලයත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් ඇතුලු බොහෝ දේවල් ඒ වන විටත් පාලකයා විසින් උදුරාගෙන අවසන්ය. මේ සදහා ඕනෑතරම් උදාහරණ මේ දුපත තුළින් සොයාගත හැකිය.
නෛතික සහ දේශපාලනික පරස්පරතාව
එක් පසෙකින් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම්වල උත්තරීතර බව දේශනා කරන අතර, අනෙක් පසින් විධායකය එම අයිතිවාසිකම් මට්ටු කිරීමට PTA වැනි දරුණු නීති මෙවලම් සක්‍රීයව තබා ගැනීම රටේ නීතිය ක්‍රියාත්මක වීමේ බරපතළ පරස්පරතාවයකි. මෙම පරස්පරතාව පවතින තාක්, නඩු තීන්දුවලින් ලැබෙන ජයග්‍රහණ හුදු “සංකේතාත්මක” ජයග්‍රහණ පමණක් වීමේ අවදානමක් පවතී. මෙම අනතුරුදායක අවදානම වළක්වා ගත හැක්කේ මෙවැනි අතිශය මර්දනකාරී නීති ඉවත් කිරීමට යැයි කියා කල්මරමින්, තිබෙන ඒවාටත් වඩා මර්දනීය නීති ගෙන ඒමෙන් නොව තිබෙන මර්දනීය නීති සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පමණි.
නව පාලනයේ සැබෑ පරීක්ෂණය
වර්තමාන ‘පුනරුද’ ආණ්ඩුවට ඇති සැබෑ අභියෝගය වන්නේ, පැරණි පාලනයන් විසින් අවභාවිත කළ, නමුත් නව පාලනයත් තවමත් ක්‍රියාත්මක කරන මෙම මර්දනකාරී නීති ඉවත් කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කිරීමයි. PTA අහෝසි කිරීම වෙනුවට, ඊටත් වඩා මර්දනීය යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) කරළියට ගෙන ඒම යනු, පැරණි මර්දනීය දේශපාලන සංස්කෘතියම අලුත් ඇසුරුමක දමා ඉදිරිපත් කිරීමක් බවද අප අමතක නොකළ යුතුය.
සත්‍ය ලෙසම යුක්තිය ඉටු කිරීම යනු කුමක්ද?
යුක්තිය ඉටු වීම යනු වරදක් වූ පසු ලැබෙන වන්දි මුදල හෝ තීන්දුව පමණක් නොවේ; වරදක් වීමට ඇති ඉඩකඩ නීතිමය වශයෙන් සම්පූර්ණයෙන් අහුරා දැමීමයි. එබැවින්, PTA වැනි කෲර නීති අහෝසි නොකරන තාක් කල්, වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ලබා දුන් ඉතාමත් වැදගත් නඩු තීන්දුවෙන් කියැවෙන “නීතියේ ආධිපත්‍යය” පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. එබැවින් සැබෑ පුනරුදයක් යනු මර්දනයට ඇති සියලුම නීතිමය පදනම් සහමුලින්ම උදුරා දැමීමයි.
එය සිදුකිරීම සදහා දේශපාලන උනන්දුවක් ජාතික ජන බලවේග ආණ්ඩුවට තිබේද?
සම්පත් සමරකෝන් | Sampath Samarakoon