The relevant photograph was altered using GenAI.
සමාජ මාධ්‍ය ජාලයක පළ කළ එක “ඉමොජි” (Emoji) සටහනකට, අදහසකට හෝ පින්තූරයකට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් මාස 9ක වටිනා කාලයක් උදුරා ගත හැකි යැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? මාවනැල්ලේ 21 හැවිරිදි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල්ගේ අත්දැකීම හුදෙක් අවාසනාවන්ත සිදුවීමක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ ඇති මර්දනීය ස්වභාවය සහ පාලකයන්ගේ ද්විත්ව පිළිවෙත මැනවින් නිරාවරණය කරන කැඩපතකි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේ යැයි පවසමින් 2024 වසරේ ඔක්තෝබර් 25 වනදා අත්අඩංගුවට ගත් මොහොමඩ් සුහෙල්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කළේය. පසුව මොහොමඩ් සුහෙල් නිදොස් කොට නිදහස් කිරීමට (නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින්), 2025 සැප්තැම්බර් 16 වනදා ගල්කිස්ස අධිකරණය නියෝග කළේය.
ඉන්පසු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිගහැරුණු මෙම නඩුව, වින්දිතයෙකුට යුක්තිය ඉටු වූ අවස්ථාවකට වඩා, රාජ්‍ය මර්දනය හමුවේ තාරුණ්‍යය බිලිදෙන ආකාරය පිළිබඳ බරපතල සංවාදයකට මග පාදයි. මෙම සිදුවීම හරහා අප කියවා ගත යුතු පාඩම් 5ක් මෙසේ පෙළගැස්විය හැකිය.
1. PTA: කුරිරු පනතක දේශපාලන අවභාවිතය
සමාජ මාධ්‍ය තුළ ඊශ්‍රායලයට විරෝධය දක්වන ආකාරයේ සටහනක් දැමූ බවට චෝදනා කරමින් සුහෙල්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA) යටතේය. මෙහි ඇති බරපතලම උත්ප්‍රාසය වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස “ත්‍රස්තවාදයක්” ලෙස අර්ථකථනය කිරීමයි. PTA පනත යනු ඕනෑම පාලකයෙකුට තමන්ට රුචි නොවන මතයක් දරන ඕනෑම පුරවැසියෙකු මර්දනය කිරීමට ඇති ‘සුවච කීකරු මෙවලමකි’. නීතිපතිවරයා පවා පසුව පිළිගත් පරිදි, සුහෙල්ට එරෙහිව කිසිදු නඩු නිමිත්තක් නොතිබීමෙන් පැහැදිලි වන්නේ පොලිසිය මෙම පනත භාවිත කර ඇත්තේ නීතිය රැකීමට නොව, මිනිසුන් බිය වැද්දීමට බවයි.
2. නිල ඇඳුමට යටින් සැඟවුණු වැරදි සහ සමාව
මෙම නඩුවේ සුවිශේෂීම සංසිද්ධිය වූයේ, එවකට දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා (එච්.එම්.ඒ.බී. හේරත්) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවෘතව සමාව අයැද සිටීමයි.
“මා අතින් වරදක් විය. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය.”
යනුවෙන් පොලිස් නිලධාරියෙකු පිළිගැනීම දුර්ලභ තත්ත්වයකි. එබැවින්, මෙම සමාව අයැදීම පිටුපස ඇත්තේ සැබෑ පසුතැවීමක්ද, නැතිනම් නීතිමය දඬුවමෙන් ගැලවීමට ගැසූ උපක්‍රමයක්ද යන ප්‍රශ්නය ඉතිරිව පවතී. නිලධාරීන්ගේ “ක්‍රියාපටිපාටික දෝෂ” නිසා විනාශ වන්නේ මිනිස් ජීවිත බව පොලිස් නිලධාරීන්ද ආණ්ඩුවද තවමත් තේරුම් ගෙන නැත.
3. රජයේ මුදලින් නොව, තමන්ගේ සාක්කුවෙන් වන්දි ගෙවීම
සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් නඩුවලදී වන්දි ගෙවන්නේ රජය හෙවත් මහජන බදු මුදලිනි. එහෙත් මෙම නඩුවේදී රුපියල් මිලියන දෙකක වන්දිය අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පෞද්ගලිකව ගෙවීමට එකඟ විය. මෙය වැදගත් පූර්වාදර්ශයකි. ඉහළින් එන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් දැනගත යුතු වන්නේ, හිරේ විලංගුවේ වැටෙන විට හෝ වන්දි ගෙවීමට සිදුවන විට තමන් තනි වන බවයි.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය සහ පුරවැසි අයිතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය හරහා ලබා දී ඇති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය, කඩදාසියට පමණක් සීමා වී ඇති බව සුහෙල්ගේ සිදුවීම පෙන්වා දෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම මෙම නඩුව හරහා තහවුරු කළේ, රාජ්‍යය කෙතරම් බලවත් වුවත්, දැනුවත් පුරවැසියෙකුට අධිකරණය හරහා තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කළ හැකි බවයි. නමුත් ප්‍රශ්නය වන්නේ PTA වැනි කුරිරු නීති තිබෙන තාක් කල් ඕනෑම පුරවැසියෙක් මෙයට ගොදුරු විය හැකි බවයි. එබැවින් එවැනි නීති සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු මෙවැනි ප්‍රශස්ත නඩු තීන්දු පවා පවතින්නේ අවදානමකය.
5. “වන්දි” මගින් පියවිය නොහැකි මානුෂීය හානිය
නඩුව සමථයකට පත් විය. වන්දි මුදල් ද ගෙවනු ඇත. නමුත් අප ඇසිය යුතු සදාචාරාත්මක ප්‍රශ්නය මෙයයි. 21 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතයෙන් උදුරා ගත් මාස 9ක කාලය, ඔහුගේ තාරුණ්‍යය සහ ඔහුගේ පවුල විඳි මානසික පීඩාව රුපියල් මිලියන දෙකකින් පියවිය හැකිද? සිරගෙදර ගෙවුණු සෑම තත්පරයක්ම, සමාජයෙන් එල්ල වූ “ත්‍රස්තවාදියා” යන ලේබලය සහ අහිමි වූ නිදහස මිල කිරීමට හැකිද? පොලීසියෙන් සේම අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුවෙනුත් ඇසිය යුත්තේ එයයි.
දේශපාලන හෘදසාක්ෂියට ඇඟිල්ල දිගු කිරීමක්
මෙහි ඇති උත්ප්‍රාසාත්මක සහ කණගාටුදායකම කරුණ වන්නේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී මසක් ගත වන්නටත් පෙර මොහොමඩ් සුහෙල් PTA පනත යටතේම අත්අඩංගුවට ගැනීමයි.
වසර ගණනාවක් පුරා PTA පනතට එරෙහිව හඬ නැගූ, එම පනතෙන් තමන්ද බැට කෑ බව කියන “මාලිමා” පාලනයක් යටතේම, කිසිදු වරදක් නොකළ තරුණයෙකු එම මර්දනීය පනත යටතේම සිරගත කිරීම ලැජ්ජා සහගත නොවේද? පොලිසිය සමාව ගත් පමණින් ආණ්ඩුවටද තම වගකීමෙන් මිදිය නොහැක.
“වෙනස” වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වූයේ, පැරණි මර්දනීය යාන්ත්‍රණයම නව මුහුණුවරකින් ක්‍රියාත්මක වීම නොවේ. මොහොමඩ් සුහෙල්ගේ සිදුවීම පාලකයන්ට දෙන පණිවිඩය පැහැදිලිය. නම වෙනස් වූ පමණින් හෝ නායකයා වෙනස් වූ පමණින් “නීතියේ මර්දනය” වෙනස් නොවන තාක්, පුරවැසියාට සැබෑ නිදහසක් නැත. පොලිසිය වන්දි ගෙවා අත සෝදා ගත්තද, ආණ්ඩුවේ දේශපාලන හෘදසාක්ෂිය මෙම මාස 9ක අසාධාරණය වෙනුවෙන් ජනතාවට පිළිතුරු දිය යුතුව ඇත.
පසුගිය සතියේ ලිපියක වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව ගැන මා මෙසේ ලීවේය:
“….යුක්තිය ඉටු වීම යනු වරදක් වූ පසු ලැබෙන වන්දි මුදල හෝ තීන්දුව පමණක් නොවේ; වරදක් වීමට ඇති ඉඩකඩ නීතිමය වශයෙන් සම්පූර්ණයෙන් අහුරා දැමීමයි. එබැවින්, PTA වැනි කෲර නීති අහෝසි නොකරන තාක් කල්, වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ලබා දුන් ඉතාමත් වැදගත් නඩු තීන්දුවෙන් කියැවෙන ‘නීතියේ ආධිපත්‍යය’ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකය.”
පසු සටහන
‘……ආණ්ඩුව නිහඬයි; නැත, නිහඬ නැත.’ යනුවෙන් මාතෘකාව ලෙස මා සඳහන් කළේ ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොව, කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා යැයි පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව, එය අහෝසි කිරීමට යැයි පවසමින්, තවත් ඉතාමත් මර්දනීය පනත් කෙටුම්පතක් වන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ නමින් ‘ඩිජිටල් අයිතිවාසිකම්’ පවා දැඩි මර්දනයකට ලක්කරන තවත් අතිශය මර්දනීය පනතක් යෝජනා කිරීමය. එබැවින් ඇත්තටම ආණ්ඩුව නිහඬ නැත!
සම්පත් සමරකෝන් | Sampath Samarakoon