iMage: GenAI භාවිතයෙන් සංස්කරණයට ලක් කර ඇත
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ‘සංහිඳියාව’ සහ ‘ජාතික සමගිය’ යන වචන නිරන්තරයෙන් ඇසෙන්නට තිබුණද, ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක වන්නේ තවමත් පැරණි, දරදඬු සහ වෙනස්කොට සලකන රාජ්‍ය යාන්ත්‍රණයක් බව පැහැදිලි වෙමින් පවතී. මෙයට ආසන්නතම සහ කම්පිත උදාහරණය සපයන්නේ දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ කෘති 360ක් රේගු භාරයේ රඳවා තබාගැනීමේ සිදුවීමයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ‘පුනරුදය’ පිළිබඳ බලාපොරොත්තු දල්වා ඇති යුගයක, උතුරේ ලේඛකයෙකුගේ පෑනත්, වසර ගණනාවක් සිරගතව සිටින දෙමළ තරුණයන්ගේ ජීවිතත් තවමත් පවතින්නේ පැරණි වර්ගවාදී ‘යකඩ සපත්තුවට’ යටවී නොවේද?
රේගු හිරගෙදර සිරවූ දීපචෙල්වන්ගේ පරිකල්පනය
ලේඛක දීපචෙල්වන් විසින් ඉන්දියාවේ සිට ගෙන්වන ලද කෘති, ‘ජාතික සමගියට’ බාධාවක් යැයි පවසමින් රඳවාගෙන අදට දින 9ක් ගතවී ඇත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යවරයා මේ සඳහා මැදිහත් වන බව ප්‍රකාශ කළ ද, එම පොත් තවමත් නිදහස් කර නැත. මෙය හුදු පරිපාලනමය ප්‍රමාදයක් ලෙස බැහැර කළ නොහැක්කේ, මෙහි යටිපෙළ දෘෂ්ටිවාදය තුළ තවමත් දෙමළ අනන්‍යතාව සහ දෙමළ සාහිත්‍යය කෙරෙහි පවතින ‘සැකය’ සහ ‘භීතිකාව’ මැනවින් නිරූපණය වන බැවිනි. මෙය සෘජුවම ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව ආයතනගතව පවතින කෲර වෙනස්කොට සැලකීමක තවත් එක් දිගුවකි.
පොතක් දින 9ක් හිරකර තබන රාජ්‍යයක් එමඟින් ලබා දෙන්නේ අතිශය භයානක පණිවිඩයකි. එනම්, තවමත් ‘ජාතික සමගිය’ යනු සංඛ්‍යාත්මක සුළුතරයේ හඬ මර්දනය කිරීම සඳහා භාවිත කරන ආයුධයක් බවයි.
වසර 15ක සිරකඳවුර සහ දේශපාලන සිරකරුවන්ගේ ඉරණම
පොත් පවා ‘හිරකරුවන්’ වන රටක, වසර 15කට අධික කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය අතිශය ඛේදනීය ය. අද(07) සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පුරවැසියන් 230+කට අධික පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ලිපිය මඟින් මෙම අමානුෂික තත්ත්වය මනාව පැහැදිලි කරයි. එහි මෙසේ සඳහන් වෙයි:
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි දෙමළ දේශපාලන සිරකරුවන් අතරින් ඉතිරිව සිටින 10 දෙනාගෙන් දෙදෙනෙකු වන, 2009 වර්ෂයේ අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ, සෙල්වරාජ කිරේවාහරන් සහ තම්බයියා ප්‍රගාශ් යන දෙදෙනාට එරෙහිව නඩු තවමත් විභාග කෙරෙමින් පවතී. මෙය සිර දඬුවම් නියම කිරීමටත් පෙර, ඔවුන්ගේ ජීවිතයෙන් දශක දෙකක ආසන්න කාලයක් සිරගත කර තැබීමකට සමාන වේ! තමන්ගේ නඩු විභාග අවසන් වන තෙක් බලා සිටින ඔවුන්ට, ඔවුන්ගේ සම්පූර්ණ තරුණ කාලය සහ වැඩිහිටි කාලයෙන් වැඩි කොටසක් අහිමි වී ඇත.”
වරදකරුවන් බවට පත් නොවී තම ජීවිතයේ වටිනාම කාලය සිරගෙවල් තුළ දියකර හැරීමට සිදුවන මේ මිනිසුන්ගේ ඉරණම සහ රේගුවේ සිරවූ දීපචෙල්වන්ගේ පොත් අතර ඇත්තේ සමීප දේශපාලන සබඳතාවකි. ඒ, මේ දෙකම පාලනය වන්නේ ‘ජාතික ආරක්ෂාව’ සහ ‘ජාතික සමගිය’ යන සංකල්ප අවභාවිත කරමින් ක්‍රියාත්මක වන වර්ගවාදී රාජ්‍ය මානසිකත්වය මත වීමයි.
ජනාධිපතිවරයාට යැවූ අදාළ ලිපිය මඟින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම්:
🔴 සංහිඳියාව ඇතිකිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස, දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
🔴 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අනෙකුත් සියලු රඳවා ගනු ලැබූවන්ගේ නඩු සමාලෝචනය කර කඩිනම් කිරීම හෝ ඔවුන්ව කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
🔴 වසර ගණනාවක් සිරගතව සිට පසුව නිදොස් කොට නිදහස් වූවන් සඳහා සාධාරණ සහ සමානුපාතික වන්දි ලබා දීම. Read in full letter: here
පුනරුද ආණ්ඩුවට ඇති බරපතල අභියෝගය
ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ලබා දුන් පොරොන්දු ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අහෝසි කිරීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සැබෑ සංහිඳියාවක් සඳහා වන අත්‍යවශ්‍ය පියවරකි. එහෙත්, ලේඛකයෙකුගේ පොත් 360ක් රේගුවෙන් නිදහස් කර ගැනීමට පවා අසමත් වන හෝ මැලිකමක් දක්වන රාජ්‍ය පද්ධතියක්, දශක ගණනාවක් සිරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තරම් හෘද සාක්ෂියක් හෝ දේශපාලන සවිමත්භාවයක්/ උනන්දුවක් ප්‍රදර්ශනය කරනු ඇත්ද?
විමර්ශනශීලී පුරවැසියන් ලෙස අප ඉදිරියේ ඇති ප්‍රශ්නය සරල මෙන්ම බැරෑරුම්ය. දෙමළ බසින් ලියවුණු පොතක් නිදහස් කිරීමට දින 9ක් ගත වී තිබියදීත් තවමත් නොහැකි වූ රාජ්‍යකට, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව පසුබට වන රාජ්‍යයකට, වසර 15-30ක් සිරගතව සිටින මිනිසෙකුගේ නිදහසේ අගය සැබවින්ම වැටහෙයිද?
පොතක් නිදහස් නොකරන රාජ්‍යයක සංස්කෘතික නිදහසක් නැතිවා සේම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන රාජ්‍යයක යුක්තියක් ද නැත. ආණ්ඩුවේ පොරොන්දු යථාර්ථයක් වීමට නම්, මුලින්ම මෙම ‘සැකයේ දෘෂ්ටිවාදයෙන්’ රාජ්‍ය ආයතන මුදාගත යුතුය. අකුරු වලටත්, මිනිස් නිදහසටත් බිය වන පාලනයකට කිසිදා සැබෑ පුනරුදයක් උදා කළ නොහැකි බව අප අවධාරණය කළ යුතුය.
