iMage: VIKALPA file/ 18 May 2026, Mullivaikkal, Sri Lanka
පසුගිය 23 වනදා, මුල්ලිවෛක්කාල් හී ඒ ලේ වැකි ඝාතක බිමෙහි මරා දැමුණු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ආත්මයන් සිහි කරමින්, ඒ සාමුහික මතකය යළි අවදි කරනු වස්, ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය විසින් කොළඹදී ස්මරණීය වැඩසටහනක් සංවිධානය කර තිබුණි. එහිදී සිය අත්දැකීම් ඔස්සේ මූලික අදහස් දෙකක් ඉදිරිපත් වූ අතර, ඉන් එක් අදහසක් ඉදිරිපත් කළේ කින්දූජන් නම් තරුණ දෙමළ සහෝදරයාය.
ඔහු අප හදවත් පසාරු කරමින් දිගහරින ලද්දේ තවත් එක් කතාවක් පමණක් නොවේ. උතුරු-නැගෙනහිර ‘ඊනියා මාණුෂික මෙහෙයුම’ නම් යුද්ධයෙන් බැට කෑ මිනිසුන්ගේ වේදනාබර කඳුළු කතා සිය ගණනක් අසා ඇති මට ද, කින්දූජන්ගේ ආත්මීය ප්‍රකාශනය හුදු අතීත ආවර්ජනයක් නොවීය. එය සර්වාංගයම වෙව්ලුවාලන, යළි යළිත් කම්පනයට පත් කරන සජීවී ‘ලේ සාක්ෂියක්’ විය.
යුද්ධයේ සාහසිකත්වයට කිසිදු අයුරකින් උර නොදුන්, එහි බිහිසුණුම අවදියේ පවා යුද විරෝධී මතවාද වෙනුවෙන් පෙනී සිටි අප වැනි මිනිසුන්ව පවා, අදටත් බරපතල “වරදකාරී හැඟීමකින්” පීඩාවට පත්කරවන්නට කින්දූජන්ගේ වචන සමත් විය. ඔහුගේ දෑස් අග රැඳි නිහඬ වේදනාවත්, දෙතොල් අතරින් ගිලිහුණු කම්පනයත්, එදා සිදු වූ, අදත් වෙනත් ආකාරයකට සිදුවන ව්‍යුහාත්මක සංහාරයට සහ යුද අපරාධවල බලගතුම තවත් එක් “ලේ සාක්ෂියක්” වන්නේය.
කින්දූජන්ගේ ඒ “ලේ සාක්ෂියෙන්” බිඳක්:
“මම 2009 වසරේ සිදුවූ ඒ මහා ජන සංහාරයේදී, මුල්ලිවෛක්කාල් මරණයේ භූමියෙන් බේරුණු ‘ලේ සාක්ෂිකරුවෙක්’ විදිහට මගේ ජීවිතයේ අමිහිරිම මතකයන් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට කැමතියි.
2009 මාර්තු 15 වනදා, අලුයම 3:30 ට විතර එල්ල වුණු හමුදා වෙඩි ප්‍රහාරයකින් මගේ දණහිස දරුණු ලෙස තුවාල උනා. ඒ වෙනකොට ප්‍රදේශයේ පාසලක තාවකාලිකව පවත්වාගෙන ගිය රෝහලකට මාව උදේ 6:00 ට විතර අරන් ආවත්, දවල් 2:00 වනතුරුත් මාව සැත්කමකට ගන්න පෝලිමේ ඉඩක් තිබුණේ නැහැ. මොකද, මා වගේම බරපතල තුවාල ලැබූ සිය ගණනක් අසරණ සිවිල් වැසියන් මරණීය වේදනාවෙන් පෝලිම්වල කෙඳිරිගාමින් සිටි අතර, ඒ රෝහල් සීමාවට පවා නොනවත්වාම ෂෙල් වෙඩි වර්ෂාවක් පතිත වෙමින් තිබුණා.
අවසානයේ මගේ සැත්කම සිද්ධ කළේ කිසිදු ‘නිර්වින්දන ඖෂධයක්’නැතිවයි. ඒ වෙනකොට රෝහලේ කිසිදු නිර්වින්දන බෙහෙතක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. බරපතල ඖෂධ හිඟය සහ තුවාලය වෙලන්නට වෙළුම් පටි පවා නොමැති වීම නිසා, මගේ බිඳුණු කකුල තල්පෙති දෙකක් තබා බැඳ තබන්නට එදා දොස්තරලාට සිද්ධ වුණා.
ඉන්පසු රජය විසින් ‘ආරක්ෂිත කලාප’ (No Fire Zones) ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශවලට යන ලෙස අපට උපදෙස් දුන්නා. නමුත් සිදු වූයේ අනෙකක්, ඒ ආරක්ෂිත කලාප වෙත කොටු වූ දහස් සංඛ්‍යාත නිරායුධ මිනිසුන්ව ඉතා අමානුෂික ලෙස ඝාතනය කෙරුණා. මගේ මවගේ පපුව පසාරු කරගෙන ගිය හමුදා වෙඩි පහරකින් ඇය බරපතල තුවාල ලැබුවා. පසුව ඇයව රෝහල් ගත කළත්, ඇයට ජීවත් වීමේ වාසනාව තිබුණේ නැහැ. ඇය සදහටම දෑස් පියාගත්තා.
යුද්ධය අපේ මුළු පවුලම විසිරුවා හැරියා. මගේ අවුරුදු හතරක පුංචි නංගි පුල්මුඩේ සරණාගත කඳවුරක තනි වුණා. මා සහ මගේ පියා යුද්ධයේ අවසාන මරණීය කලාපයේ සිරවී සිටි අතර, අපේ මුළු පවුලම සුණු විසුණු වී ගියා.
මේ සාහසික කරුණු මම අද මෙතැනදී පවසන්නේ, තමන්ගේම රටේ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටින රජයක්, ඉතා සූක්ෂ්ම සහ සැලසුම් සහගත ලෙස සිවිල් වැසියන්ගේ මූලික මානුෂීය අවශ්‍යතා සහ ඖෂධ අවහිර කළ නිසයි. ඒ බිම තුළ අසරණ මිනිසුන් 350,000 කට අධික පිරිසක් කොටුවී සිටියදී, රජය ලෝකයට බොරු ප්‍රචාරය කරමින් කියා සිටියේ එහි සිටින්නේ 70,000 ක් පමණක් බවයි. එසේ පවසමින් ඔවුන්ට ලැබෙන්නට තිබූ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සීමා කළා.
අවසානයේ, මැයි 16 වන දින ‘අවි නිහඬ කිරීම’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා, ජාත්‍යන්තරව තහනම් කරන ලද පොකුරු බෝම්බ (Cluster Bombs) සහ පොස්පරස් (Phosphorus) වැනි අවි භාවිත කරමින් අපේ මිනිසුන්ව සමූහ වශයෙන් ඝාතනය කළා. පාලකයන් විසින් තමන්ගේම රටේ වැසියන් මත මෙවැනි මහා පරිමාණ ජන සංහාරයක් දියත් කළ බව දකුණේ සිටින අපේ සිංහල සහෝදර සහෝදරියන් දැන්වත් සැබෑ ලෙසම වටහා ගත යුතුයි.”
යුක්තියෙන් තොර සාමයක මිථ්‍යාව
යුද්ධය නිමාවෙන් වසර 17ක් වැනි දීර්ඝ කාලයක් ගතවී තිබියදීත්, දකුණේ බහුතර සමාජය සහ ආණ්ඩුව මේ අපරාධයන් දෙස තවමත් බලන්නේ කුමන ඇසකින්ද? මතකයන් බලහත්කාරයෙන් වළලා දැමීමෙන් හෝ, අතීතය අමතක කරන ලෙස වින්දිතයන්ට විවිධ අන්දමින් ප්‍රකාශ කිරීමෙන් සැබෑ “සාමය” හෝ “සංහිඳියාව” ගොඩනැඟිය හැකිද?
කින්දූජන්ලාගේ පරම්පරාවට අහිමි කළ ජීවිත සහ බිඳ දැමූ අනාගතය වෙනුවෙන් ‘යුක්තිය’ ඉටු නොකර, හුදු ‘ආදර සටන් පාඨවලින්’ පමණක් සංහිඳියාව උදා කළ හැකි යැයි ආණ්ඩුව තවමත් කල්පනා කරන්නේ නම්, එය මුලාවකි. මන්ද, කින්දූජන්ලාගේ සාමූහික මතකය වෙඩි උණ්ඩයකින් හෝ මිලිටරි බලයකින් කිසිදා මරා දැමිය නොහැකි බැවිනි. වින්දිතයන්ට සාධාරණත්වය හා යුක්තිය ඉටු නොකරන තාක් කල්, මේ පොළොව මත කල්පවත්නා සාමයක් නොව, අයුක්තිසහගත සමාජ වටපිටාවක් පමණක් ඉතිරි වනු ඇත.
වර්තමාන ව්‍යුහාත්මක අර්බුදය
එපමණක් ද නොවේ, කින්දූජන්ලාගේ දෑස්වලින් ගලායන මේ ‘ලේ සාක්ෂි’ හුදෙක් අතීතයේ තුවාලයක් පමණක් නොව, වර්තමාන ලාංකීය දේශපාලන දේහයේ පවතින සැබෑ ව්‍යුහාත්මක අර්බුදයයි. “2009න් පසු අවි නිහඬ වුවද, අදටත් පාලකයන් අපේ භූමිය මත වෙනත් මුහුණුවරකින් ව්‍යුහාත්මක ජන සංහාරයක් සිදු කරමින් සිටී. කුරුන්දුර්මලෙයි, තෛයිඩ්ඩි වැනි දෙමළ ජනයාගේ පාරම්පරික බිම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින්, කිසිදු බෞද්ධයෙක් නැති තැන්වල පවා බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික න්‍යාය පත්‍රය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. අප සිංහල ජනතාවට හෝ බුදු දහමට විරුද්ධ නැත. නමුත් ආගම, දේශපාලන ආයුධයක් කරගනිමින් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් සහ උරුමයන් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම අපට බරපතල ගැටලුවක වී ඇත.” කින්දූජන් තවදුරටත් පවසයි.
කෙසේ නමුත්, දෙමළ මිනිසාගේ මේ සාමූහික වේදනාව, ජන සංහාරක අතීතය සහ අදටත් වෙනත් ආකාරයකට ක්‍රියාත්මක ව්‍යුහාත්මක සංහාරික තත්ත්වයන් ව්‍යාජ ප්‍රචාරවලින් හා නීතිමය තහංචිවලින් වසා ගැනීමට උත්සාහ කරන තාක්, මේ පොළොව මත සැබෑ නිදහසක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති සමාජ දේහයක් ගොඩනැඟිය නොහැක.
එබැවින්, මුල්ලිවෛක්කාල් අනුස්මරණය යනු හුදෙක් වසරක් පාසා පවත්වන චාරිත්‍රානුකූල ශෝකී සැමරුමක් නොවේ. එහිදී කින්දූජන්ලා ඉල්ලන යුක්තිය යනු මතු පරම්පරාවට යළි මෙවන් ලේ වැගිරීම් සිදු නොවන, එකිනෙකාගේ අයිතිවාසිකම්, දේශපාලන අභිලාෂයන් සහ අනන්‍යතාවයන් ගරු කරන සැබෑ යුක්තිගරුක දේශපාලන ක්‍රමවේදයක් සඳහා වන අත්‍යවශ්‍ය පදනමයි. එහි ප්‍රභලම දේශපාලන සංඛේතය වී ඇත්තේ ‘මුල්ලිවෛක්කාල් සහ මුල්ලිවෛක්කාල් කැඳ‘ ය.
එබැවින් මුල්ලිවෛක්කාල් බිමේ සහ අනිකුත් තැන් හී මරා දැමුණු සහ පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉටු විය යුතු අතර, ඒ වෙනුවෙන් දකුණේ සමාජයද නිර්භයව කතා කිරීමද වැදගත් වනු ඇත. මක්නිසා ද යත්, නැවත නැවත් කියා සිටින්නේ මෙයයි. සත්‍යය සහ යුක්තිය නොමැතිව කල්පවත්නා සාමයක් හෝ සැබෑ සංහිඳියාවක් කිසිදා ගොඩනැඟිය නොහැක.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon