iMage:reuters.com
මීගමුව බන්ධනාගාරයේ පසුගිය 5වනදා (ජූලි) ආරම්භ වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අද (07) වන විට 27 දෙනෙක් ඝාතනයට ලක් වී ඇති අතර එයින් 7දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව වාර්තා වෙයි. කෙසේ නමුත් මරණ/ඝාතන ගණන් කිරීම පසෙකලා, තවදුරටත් මරණ/ඝාතන සිදුවීම වළක්වා ගැනීමත් ඒ සඳහා ඇති කර ගත යුතු ප්‍රමුඛ ක්‍රියාකාරීත්වයත් වර්තමානයේ ඉතාමත් වටිනා සහ වැදගත් අවශ්‍යතාවක් වෙයි.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ වරින් වර සිදු වූ රැඳවියන්ගේ ඝාතන පිළිබඳ ඉතිහාසය, දේශපාලන පාලන තන්ත්‍රයන්ගේ වෙනස්වීම්වලින් ඔබ්බට ගිය දීර්ඝකාලීනව පවතින ව්‍යුහාත්මක අර්බුදයක් නිරූපණය කරයි. අතීත පාලනයන්හි සිට වත්මන් පාලන සමය දක්වාම බන්ධනාගාර තුළ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම, රාජ්‍යයේ වගවීම පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.
ලංකාවේ බන්ධනාගාර ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ, පාලන තන්ත්‍රයන් මාරු වුවද බන්ධනාගාර තුළ රැඳවියන්ගේ ජීවිත අනාරක්ෂිත වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති ඇති බව සහ තවමත් පවතින බවයි. උදාහරණ ලෙස:
⚫️ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලය (1983): වැලිකඩ බන්ධනාගාරය තුළ දෙමළ රැඳවියන් 53 දෙනෙක් ඝාතනය කිරීම.
⚫️ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලය (2000 ඔක්තෝබර් 24/25): බිඳුණුවැව රැඳවුම් මධ්‍යස්ථානයට කඩා වැදුණු මැර පිරිසක්, එහි රඳවා සිටි 26ක් වූ (සමහර ඇස්තමේන්තු අනුව 27-29 දෙනෙකු) දෙමළ දේශපාලන රැඳවියන් ඝාතනය කිරීම.
⚫️ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලය (2012): වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27ක් ඝාතනය කිරීම.
⚫️ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය (2020): මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11ක් ඝාතනය කිරීම.
දැන්, මෙම ලේඛනය ලියැවෙන මොහොත වන විට මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් 27 දෙනෙක් ඝාතනයට ලක්ව ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාලන කාලය (2026) තුළය. එබැවින්, වත්මන් පරිපාලනය යටතේත් මීගමුව බන්ධනාගාරය තුළ වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලිවම ගම්‍ය වන්නේ, දේශපාලන නායකත්වයන් වෙනස් වුවද, බන්ධනාගාර පද්ධතියේ මුල් බැසගෙන ඇති ක්‍රමවේදයන්ගේ බිඳවැටීම තවමත් නිසි ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැති බවයි.
ව්‍යවස්ථාපිත පදනම සහ රාජ්‍යයේ වගකීම
නීතියේ ආධිපත්‍යය පවතින ශිෂ්ට සම්පන්න සමාජයක, ඕනෑම පුද්ගලයකු රාජ්‍ය භාරයට (State Custody) පත් වූ මොහොතේ සිට ඔහුගේ ජීවත්වීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ පූර්ණ වගකීම පැවරෙන්නේ රජයටයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය (වධහිංසාවලින් නිදහස් වීමේ අයිතිය) සහ 3 වන පරිච්ඡේදයේ 13 වන වගන්තිය මෙහිදී අතිශය තීරණාත්මක වේ.
සිරකරුවකු/ රැදවියකු යනු නිදහස අහිමි වූවකු මිස, අයිතිවාසිකම් අහිමි වූවකු නොවේ.
එබැවින් බන්ධනාගාරයක් තුළ සිදුවන ඕනෑම අස්වාභාවික මරණයක් හෝ ඝාතනයක් හෝ පද්ධතියේ බිඳවැටීමක් රාජ්‍යයේ බරපතළ අසමත් වීමක් ලෙස සැලකේ.
ඇමතිවරයාගේ වගකීම සහ ‘The Carltona Principle’
කුමන ආණ්ඩුවක ඇමතිවරයෙක් වුවත් ඔහුට වගකීමක් මෙන්ම වගවීමක් ද තිබේ. දේශපාලන මතිමතාන්තර සහ සමාජ මාධ්‍ය සංවාදවලින් ඔබ්බට ගිය, පරිපාලන නීතියේ සහ ව්‍යවස්ථාපිත නීතියේ පිළිගත් ප්‍රධාන මූලධර්මයක් ඔස්සේ අමාත්‍යවරයාගේ වගකීම විශ්ලේෂණය කළ හැකිය.
‘The Carltona Principle’ (කාල්ටෝනා මූලධර්මය) ඉන් ප්‍රධානයි. Carltona Ltd v Commissioners of Works (1943) සුප්‍රකට බ්‍රිතාන්‍ය නඩු තීන්දුවෙන් ප්‍රකාශිත මෙම මූලධර්මයට අනුව, අමාත්‍යවරයකුට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල ඔහුගේ නිලධාරීන් ලවා ක්‍රියාත්මක කරවීමට හැකියාව ඇතත්, එම නිලධාරීන් කරනු ලබන සියලු ක්‍රියාවන් සහ සිදුවන වැරදි සඳහා අවසාන සහ සෘජු වගකීම පාර්ලිමේන්තුව සහ ජනතාව ඉදිරියේ දැරිය යුත්තේ විෂය භාර අමාත්‍යවරයාම ය. එයින් ගම්‍ය කරනු ලබන්නේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කර අමාත්‍යවරයාට තම වගකීමෙන් මිදිය නොහැකි බවය.
පාඩම් ඉගෙන නොගැනීමේ ඛේදවාචකය
රජයක සහ රාජ්‍ය පාලනයක මූලිකම වගකීමක් වන්නේ බන්ධනාගාරගත කර සිටින සෑම රැඳවියකුගේම ජීවිත ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම බව නැවත නැවත ලියන්නට සිදුවීමත් බරපතළ ඛේදවාචකයකි. කෙසේ නමුත් ඉහතින් දක්වන ලද ඉතිහාසය දෙස හැරී බැලීමේදී, 1983 වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ අපරාධය ජේ.ආර්. ජයවර්ධන පාලන සමයටත්, බිඳුණුවැව සිදුවීම චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයටත්, පසුව සිදු වූ වැලිකඩ ගැටුම් මහින්ද රාජපක්ෂ පාලන සමයටත්, මහර සහ අඟුණකොළපැලැස්ස සිදුවීම් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයටත් දැඩි කළු පැල්ලමක් එල්ල කළේය. එම පාලකයන්ට එදා තම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඉතිහාසය හමුවේ චෝදනා එල්ල වූයේ බන්ධනාගාර ආරක්ෂාව යනු රාජ්‍යයේ සෘජු වගකීමක් වන බැවිනි.
එලෙසම, වත්මන් පාලන සමය තුළ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ බරපතළ සිදුවීම ද දේශපාලන ඉතිහාසය තුළ සනිටුහන් වන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාලන කාලයට එල්ල වන බරපතළ කළු කැළලක් වශයෙනි. පාලකයා කවුරුන් වුවත්, රාජ්‍ය භාරයේ සිටින මිනිස් ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම ඉතිහාසය විසින් කිසිසේත් සමාව නොදෙන කරුණක් වන අතර, මෙම සිදුවීමේ වගකීමෙන් මිදීමට වත්මන් නායකත්වයට ද හැකියාවක් නැත. එබැවින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිදුකළ අපරාධවලින්, එවැනි අපරාධ නැවත සිදුවීම වැළැක්වීම සඳහා කිසිදු පාඩමක් වත්මන් පාලනය විසින් ද ඉගෙන ගෙන නොමැති බවයි.
වත්මන් රජය සහ විෂය භාර අමාත්‍යවරයා ඉදිරියේ ඇති වෘත්තීයමය ප්‍රශ්නාවලිය
ඕනෑම රජයකට බලයට පත්වීමෙන් පසු පද්ධතියේ පවතින දෝෂයන් සඳහා පෙර පාලනයන්ට පමණක් ඇඟිල්ල දිගු කරමින් සිටීමට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැත. විශේෂයෙන්ම, පවතින ගැටලු පිළිබඳ පූර්ව අවබෝධයක් සහ විවේචනයක් සහිතව බලයට පත් වූවා යැයි පවසන වත්මන් ආණ්ඩුව සහ විෂය භාර අමාත්‍යවරයා, ගත වූ වසර එකහමාරකට අධික කාලය තුළ පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි දක්වා ඇති ප්‍රගතිය කුමක්දැයි අප ප්‍රශ්න කළ යුතුය.
🔴 බන්ධනාගාර පරිපාලනය තුළ පවතිනවා යැයි කියන දූෂණය, නීතිවිරෝධී ජාවාරම් සහ නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් නව අධීක්ෂණ යාන්ත්‍රණ මොනවාද?
🔴 බන්ධනාගාර ආරක්ෂාව සහ කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය (උදා: ස්මාර්ට් නිරීක්ෂණ පද්ධති වැනි) භාවිත කිරීමට ගෙන ඇති පියවර කවරේද?
🔴 බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා නීතිමය පද්ධතිය (ඇප දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම, විකල්ප දඬුවම් ක්‍රම) සමඟ ඒකාබද්ධව ගත් ක්‍රියාමාර්ග මොනවාද?
🔴 රැදවියන්ගේ මූලික සෞඛ්‍ය, මානසික සහ සනීපාරක්ෂක පහසුකම් ආදී අයිතිවාසිකම් ඉහළ නැංවීමට ගෙන ඇති ප්‍රායෝගික පියවර මොනවාද?
🔴 බන්ධනාගාර තුළ සිදුවූ මරණ/ ඝාතන සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළ කුමක්ද?
ආදී ප්‍රශ්නවලට ඇමතිවරයා ජනතාව හමුවේ පිළිතුරු දිය යුතුය. එසේ නොවුණහොත් වත්මන් පාලනයත්, පැරණි පාලකයන්ගේ ගොඩට වැටීම වළක්වා ගත හැකි වන්නේ නැත.
වත්මන් ජාතික ජන බලවේග රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු 209 හි “බන්ධනාගාර තුළ සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම” ආදී වශයෙන් පැහැදිලි පොරොන්දු ඇතුළත් කර ඇත. දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන මෙකී ප්‍රතිපත්ති ප්‍රායෝගික තලයක ක්‍රියාවට නැංවීමට නම්, බන්ධනාගාර ක්ෂේත්‍රයේ රැඩිකල් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, මීගමුව බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය හුදෙකලා සිදුවීමක් ලෙස නොව, පද්ධතියේ පවතින බරපතළ රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගෙන, ඒ සඳහා වත්මන් පාලනය සහ විෂය භාර අමාත්‍යවරයා ගෙන ඇති සහ ගැනීමට අපේක්ෂා කරන නිශ්චිත ක්‍රියාකාරී සැලැස්ම රටට හෙළි කළ යුතුව ඇත.
වගකීම සහ සැබෑ වගවීම (Responsibility vs Accountability)
කෙසේ නමුත්, අවසාන වශයෙන් කිව යුතු වන්නේ, විෂයභාර ඇමති, හර්ශණ නානායක්කාර විසින් ‘වගකීම භාරගැනීම’ (Responsibility) සමගම ‘වගවීම’ (Accountability) පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවයි. බන්ධනාගාරයක් වැනි රාජ්‍ය පරිපාලන ව්‍යුහයක සිදුවන බරපතළ බිඳවැටීමකදී (විශේෂයෙන් මිනිස් ජීවිත පිළිබඳ තත්ත්වයකදී) විෂය භාර අමාත්‍යවරයා “මම මෙහි වගකීම භාරගන්නවා” යැයි ප්‍රකාශ කිරීම පමණක් නීතිමය හෝ සදාචාරාත්මක වශයෙන් ප්‍රමාණවත් නොවේ.
තමන් යටතේ ඇති ආයතනයක සිදුවන බරපතළ බිඳවැටීමකදී ප්‍රකාශ ලෙවල් එකෙන් වගකීම භාරගැනීමෙන් පමණක් ඇමතිවරයකුට නිදහස් විය නොහැක. සැබෑ වගවීම තහවුරු වන්නේ පද්ධතිය නිවැරදි කිරීමට සහ සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට ගන්නා ප්‍රායෝගික සහ දෘශ්‍යමාන ක්‍රියාමාර්ග හරහා පමණි.
පසු සටහන: ව්‍යුහාත්මක අපරාධකාරීත්වයේ ප්‍රබල සාක්ෂියක්
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී, නිළධාරියෙක් විසින් කිසිදු සෙවීමක්, විමසීමක් හෝ හෘද සාක්ෂියක් නැතිව, බන්ධනාගාරයේ වසා ඇති දොරේ සිදුරකින්, බන්ධනාගාරයේ ඇතුළට ඍජුවම වෙඩි තබන දර්ශනයක් ප්‍රසිද්ධ වූ අතර, ඉන් අපට පෙන්වන්නේ කුමක්ද? රජයේ රැකවලුන් විසින් ‘අවම බලය’ නාමයෙන් සිදු කරන මේ අත්තනෝමතික ක්‍රියාව, ව්‍යුහාත්මක අපරාධකාරී රාජ්‍යයක ඇති ම්ලේච්ඡ සහ අමානුෂීය ස්වභාවය ලොවටම හෙළි කරන තවත් එක් කළු පැල්ලමක් බව නොවේද? ඒ ප්‍රබල සාක්ෂිය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?
සම්පත් සමරකෝන් | Sampath Samarakoon