මීගමුව බන්ධනාගාරයේ සිට වැලිගඩ බන්ධනාගාරයේ #YO_Cell (තරුණ රැදවියන්ගේ අංශය) වෙත මාරු කරන ලද රැඳවියන් 150 කට අධික පිරිසක් අඛණ්ඩව සහ ක්‍රමානුකූලව ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ ප්‍රකාශ කරයි. බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම රැඳවියන්ට දිනකට තෙවරක් ක්‍රෑර ලෙස ප්‍රහාර එල්ල කරන බව වාර්තා වන අතර, ඉන් විශාල සංඛ්‍යාවක් දරුණු ලෙස තුවාල ලබා ඇවිදීමට පවා නොහැකි තත්ත්වයට පත්ව ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ගොනු කළ පැමිණිලි හේතුවෙන් කෝපයට පත් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම නිර්දය ප්‍රහාර සිදු කරන බව පැවසේ.

මේ පිළිබඳව රජය සහ අදාළ අමාත්‍යවරයා වහාම මැදිහත් විය යුතුය. මෙම ගැටූම්වලදී ගොදුරුබවට පත්වූවන් සහ සාක්ෂිකරුවන් ආණ්ඩුවේ පළිගැනීම්වලින් ආරක්ෂා කිරීම තීරණාත්මක නීතිමය මෙන්ම මානවීය යුතුකමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

නීතිඥයන්ට බාධා කරමින් සත්‍යය වසන් කිරීමේ ක්‍රමානුකූල වෑයම

බන්ධනාගාරය තුළ සිදුවන මෙම අමානුෂික වධහිංසනයන් බාහිර ලෝකයෙන් වසන් කිරීමට බන්ධනාගාර පරිපාලනය දැඩි උත්සාහයක නිරත වන බව පැහැදිලි වන්නේ, නීතිඥවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝනය කරමිනි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුලු නීතිඥ පිරිසක් ඊයේ (13) වැලිකඩ බන්ධනාගාරය වෙත, සිය සේවාදායකයන්ගේ තොරතුරු විමසීමටත්, නීතිමය උපදෙස් ලබා දීමට ගිය අවස්ථාවේදී එයට බන්ධනාගාර පරිපාලනය විසින් බාධා කර ඇත.

මේ සම්බන්ධයෙන් නීතිඥ සේනක පෙරේරා මහතා විසින් අදාළ බලධාරීන් වෙත යොමු කරන ලද නිල ලිපියේ මෙසේ සඳහන් කර ඇත:

‘අංක B/1650 සහ B/4500 දරන නඩු වාර්තාවලට අදාළ රැදවියන් වෙත නීති උපදෙස් ලබාදීමට විදිමත් ඉල්ලීමක් සිදුකිරීමෙන් පසු අවසර ලබා දෙන බව දන්වා සිටියද, එකී නීතිමය උපදෙස් ලබා දීම බන්ධනාගාර නිළධාරීන්ගේ අධීක්ෂනය යටතේ සිදුකර බවට දන්වා සිටින ලදි.

තවද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමේදී අධීක්ෂණය යන්නට නීති උපදෙස් ලබා දීම ‘නිළධාරීන් විසින් ඇහුම්කම් දීම ද’ ඇතුලත් වන බව අප විසින් නිරීක්ෂණය කරන ලදි. එබැවින් නීති වෘත්තීයේ අයිතිවාසිකම් සහ රැදවියන්ගේ අයිතිවාසිකම් සැළකිල්ලට ගෙන අද දින මෙම නීති උපදෙස් ලබා දීම ට නොහැකිය’

(අදාළ ලිපිය බලන්න)

මෙම නීතිමය බාධාවලට අමතරව, පවුලේ සාමාජිකයන්ට තම ඥාතීන් සිටින ස්ථානය හෝ ඔවුන්ගේ සුවදුක් සොයා බැලීමට ඇති අවස්ථාව ද බන්ධනාගාර බලධාරීන් විසින් අවහිර කර ඇත. මේ වන විට පවුල් 10ක් පමණ තම ඥාතීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකිව පැමිණිලි කර තිබීම බන්ධනාගාරය තුළ පවතින බියකරු රහස්‍යභාවය මොනවට කියාපායි.

CPRP (සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව) ඉදිරිපත් කරන හදිසි ඉල්ලීම්:

🟢 මහේස්ත්‍රාත් අධිකරණය හරහා වැලිකඩ Y.O. සිරමැදිරිය පිළිබඳ හදිසි පරීක්ෂණයක් පැවැත්වීම.

🟢 විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ සඳහා වහාම මැදිහත් වීම.

🟢 තුවාල ලැබූ රැඳවියන් සඳහා ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් සහ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු (JMO) මගින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම.

🟢 නීතිඥවරුන්ට සහ පවුලේ අයට රැඳවියන් හමුවීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් දැඩි නියෝග නිකුත් කිරීම.

ව්‍යූහාත්මක ප්‍රචණ්ඩත්වය සහ මගහරිමින් සිටින “රාජ්‍යයේ වගකීම”

නෛතික රාමුවට අනුව බන්ධනාගාරගත කර සිටින ඕනෑම පුද්ගලයෙකුගේ ශාරීරික ආරක්ෂාව සහ ජීවත්වීමේ අයිතිය සුරැකීමේ අවසන් වගකීම පැවරෙන්නේ රාජ්‍යය වෙතය. එහෙත්, පළමුව දක්වා ඇති දරුණු තත්ත්වයත්, දෙවනුව දක්වා ඇති බන්ධනාගාර තුළ ඇති කාලයක් පුරා පවතින සහ පෝෂණය කරන ව්‍යූහාත්මක ප්‍රචණ්ඩත්වය තුළත් වඩාත්ම ජීවිත අවදානමට ලක්ව ඇත්තේ රැඳවියන්ය. සියලු රැඳවියන්ගේ ආරක්ෂාව අවසාන වශයෙන් ආරක්ෂා කළ යුත්තේ රාජ්‍යය විසිනි. දැන් එම වගකීම රාජ්‍යය විසින් මඟහරිමින් සිටින්නේද යන බරපතළ ප්‍රශ්නය සිවිල් සමාජය හමුවේ මතු වී තිබේ.

අපරාධ මැඬලීම හෝ නීතිය ක්‍රියාත්මක කිරීම යන ලේබලය යටතේ බන්ධනාගාර පවුරු තුළ සිදුවන රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම අනුමත කළ නොහැක. මීගමුවේ සිදු වූ දරුණු ගැටුමෙන් පසුව වුවද, තවදුරටත් එවැනි සිදුවීම් වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් සහ තවදුරටත් බන්ධනාගාර තුළ මානව හිමිකම් ස්ථාපිත කිරීමට කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදන්නේ නැතිනම්, මීගමුවෙන් ආණ්ඩුව ගා ගත් කළු පැල්ලම තවත් කළු වනවා හැර සුදු වන්නේ නම් නැති බව වත්මන් පාලකයන් මතක තබා ගත යුතුය.

සියලු සිරකරුවන් ද මනුෂ්‍යයන් වන බවට බිත්තියෙට් ලියා තිබුණත්, නීතිය සහ මානව හිමිකම් කෙළෙසන බවට චෝදනා ලබා ඇති බන්ධනාගාර නිලධාරීන්ගේ අත්තනෝමතිකත්වයට තවදුරටත් ඉඩ නොදී, වත්මන් විෂය භාර අමාත්‍යවරයා සහ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වී වගවීම සහතික කළ යුතුය!

අපට නැවත, නැවතත් පවසන්නට ඇත්තේ මෙයයි!

රැදවියෙකු යනු නිදහස අහිමි වූවෙකු මිස, මනුෂ්‍යත්වය හෝ අයිතිවාසිකම් අහිමි වූවෙකු නොවේ. බන්ධනාගාර තුළ රඳවා සිටින සෑම මිනිසෙකුගේම ජීවිතයේ අවසන් භාරකරුවා සහ ආරක්ෂකයා වන්නේ රාජ්‍යයයි. රාජ්‍යය එම නෛතික හා මානුෂීය වගකීමෙන් අත සෝදාගන්නා විට, එය දඩයම් බිමක් බවට පත්වීම වැළැක්විය නොහැක. එහෙත්, මෙම නිහඬ වදහිංසාවන් දෙස නෑසුණාක් මෙන් බලා සිටීමට අපට නොහැකිය. මන්ද, බන්ධනාගාර ඇතුළත බිඳවැටෙන්නේ අප සැමගේම පොදු මානව හිමිකම්වල ආරක්ෂාවයි. පීඩිතයන් වෙනුවෙන් හඬක් නැඟීමත්, රාජ්‍යයේ වගවීම ප්‍රශ්න කිරීමත් සෑම ශිෂ්ටසම්පන්න පුරවැසියෙකුගේම මඟහැරිය නොහැකි සදාචාරාත්මක වගකීමකි. එම වගකීම යනු මනුෂ්‍යත්වයේ වගකීමකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon