iMage: MP

රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම වන්නේ ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බව රාජ්‍යයක් විසින් සිහිතබා ගත යුතු පළමු මූලධර්මයයි. කෙසේ වෙතත්, ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (PSTA/ PSTB2) අධ්‍යයනය කිරීමේදී, පළමු කෙටුම්පතට සාපේක්ෂව ඇතැම් තාක්ෂණික සංශෝධන සිදු කර තිබුණ ද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් කෙරෙහි පැවති බරපතල අභියෝගයන් හා තර්ජනයන් එලෙසම පවතින බව පෙනී යයි.

විශේෂයෙන්ම, පනත් කෙටුම්පතේ 3(1)(ආ)[‘යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත අයුතු ලෙස බල කිරීම’] වගන්තිය මඟින් ‘දේශපාලන හෝ මතවාදී අරමුණක්’ වෙනුවෙන් “ආණ්ඩුවකට අයුතු ලෙස බලකිරීමේ” අරමුණින් කෙරෙන ක්‍රියාවන් ත්‍රස්තවාදී වැරදි ලෙස දක්වයි. එමෙන්ම 3(2)(එ) වන වගන්තිය මඟින් “ඉලෙක්ට්‍රොනික, ඩිජිටල් හෝ රැහැන් සහිත/රැහැන් රහිත සන්නිවේදන පද්ධතියකට බරපතළ බාධා ඇති කිරීම” ත්‍රස්තවාදී වරදෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතුළත් කර ඇත. මේ හේතුවෙන් ආණ්ඩුවේ නීති හෝ ප්‍රතිපත්ති වෙනස් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය හරහා දියත් කරනු ලබන Online Campaigns, Online Petitions වැනි ක්‍රියාවන් “ආණ්ඩුවට අයුතු ලෙස බලකිරීමක්” ලෙසත්, ඩිජිටල් අවකාශය හරහා කෙරෙන ඒකරාශී වීම් “සන්නිවේදන පද්ධතිවලට බාධා කිරීමක්” ලෙසත් අර්ථ නිරූපණය වීමේ දැඩි අනතුරක් නිර්මාණය වෙයි.

එපමණක් නොව, 9 වන වගන්තිය මඟින් ත්‍රස්තවාදී වරදක් කිරීමට ජනතාව ඍජුවම හෝ “වක්‍රව පෙළඹවීමේ” චේතනාවෙන් හෝ දැනුමෙන් යුතුව ප්‍රකාශයක් පළ කිරීම, වචන කතා කිරීම, සංඥාවක් හෝ දෘශ්‍ය නිරූපණයක් සිදු කිරීම වසර 15 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබිය හැකි වරදක් කර ඇත. “වක්‍රව පෙළඹවීම” යන්නෙහි නීතිමය සීමාවන් අපැහැදිලි සහ පුළුල් වීම නිසා සමාජ මාධ්‍යවල භාවිත වන පෝස්ටර්, Memes, උපහාසාත්මක නිර්මාණ, වීඩියෝ (TikToks) සහ දේශපාලනික උපහාසාත්මක අනුකරණයන් පවා ත්‍රස්තවාදයට වක්‍රව පෙළඹවීමක් ලෙස අර්ථ දක්වා අපරාධ චෝදනාවලට ලක්කිරීමේ දැඩි අවදානමක් පවතී.

එසේම, සමාජ මාධ්‍ය වේදිකාවල තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන්ද බරපතල සීමා පනවා ඇත. 10 වන වගන්තිය මඟින් ‘ත්‍රස්තවාදී ප්‍රකාශනයක්’ බෙදා හැරීම, සංසරණය කිරීම, ළඟ තබා ගැනීම හෝ එවැනි ප්‍රකාශනයක් ලබා ගැනීමට/කියවීමට පහසුකම් සපයන සේවාවක් සැපයීම වරදක් කර තිබේ.

සංවිධාන තහනම් කිරීම

තවත් විශේෂයක් වන්නේ, 59 වන වගන්තිය මඟින් ජනාධිපතිවරයාට සංවිධාන තහනම් කිරීමටත්, එහි පරමාර්ථ “Online පළ කිරීමක් ද ඇතුළුව” ප්‍රචාරය කිරීම තහනම් කිරීමටත් බලය පවරා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස Facebook, Tweet, WhatsApp වැනි සමාජ මාධ්‍ය වේදිකාවක යම් සංවේදී වාර්තාවක් හෝ පත්‍රිකාවක් Share කිරීම, Retweet කිරීම හෝ Forward කිරීම “ප්‍රකාශන සංසරණය කිරීමක්” ලෙසත්, වෙබ් අඩවියකට හෝ සටහනකට අදාළ URL Link ඇතුළත් කිරීම “පහසුකම් සපයන සේවාවක්” ලෙසත් අර්ථ නිරූපණය විය හැකිය. මෙමඟින් විධායක බලතල හරහා ඔන්ලයින් තුළ සිදුකරන මාධ්‍යකරනයන් වාරණය කිරීමට ආණ්ඩුවට අවකාශයක් නීතිමය ලෙස නිර්මාණය වේ.

මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවය

විශේෂයෙන් මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවයටද මෙම පනත් කෙටුම්පත මගින් දැඩි තර්ජනයක් එල්ල වේ. 15 වන වගන්තිය මඟින් වෙනත් අයෙකු වරදක් කිරීමට සූදානම් වන බව හෝ සිදු කර ඇති බව දනිමින් ඒ පිළිබඳ තොරතුරු පොලිසියට නොසැපයීම වසර 7ක් දක්වා බන්ධනාගාරගත කළ හැකි වරදක් කර ඇත. මේ නිසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන අන්තර්ගත නිර්මාණකරුවන්ට තමන් වෙත තොරතුරු ලබාදෙන මූලාශ්‍රවල (උදාහරණයක් ලෙස Whistleblowers) රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නොහැකිවීමේ අවදානමක් පවතින අතර, එමගින් රාජ්‍යය තුළ සිදුවන අක්‍රමිකතා හා දූෂණ එළිදරව් කිරීමේ ඉඩකඩ මුළුමනින්ම වැසී යාමේ තර්ජනයක් මතුවේ.

පැය 72ක් සඳහා “තහනම් ස්ථාන”

තවද, 51 වන වගන්තිය මඟින් මහජන රැස්වීම්, රැළි, පෙළපාලි සහ එකතු වීම් තහනම් කිරීමට පොලිසියට බලය පැවරීම මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ ‘භෞතික අවකාශය’ සීමා වනු ඇත. එය තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක ලේකම්වරයාට පැය 72ක් සඳහා “තහනම් ස්ථාන” නියම කර එහි ඡායාරූප, වීඩියෝ හෝ තොරතුරු රැස්කිරීම සීමා කිරීමට 61 වන වගන්තියෙන් බලය පැවරෙන අතර, 74 වන වගන්තිය මඟින් ආරක්ෂක අංශවල තොරතුරු, වාහන, ගමන් බිමන් සහ විමර්ශන “රහස්‍ය තොරතුරු” ලෙස අර්ථ දක්වා තිබීම නිසා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය ඇතුළු තොරතුරු දැනගැනීමට ඇති මූලික අයිතිවාසිකම මෙයින් අඩපණ වීමේ දැඩි අවධානමක් නිර්මාණය වෙයි.

ඩිජිටල් ස්වයං-වාරණයක්

පනත් කෙටුම්පතේ ඇති නොපැහැදිලි සහ පුළුල් අර්ථදැක්වීම් නිසා සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්වීමේ භීතියෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටින “ඩිජිටල් ස්වයං-වාරණ” (Digital Self-Censorship) තත්ත්වයකට තල්ලු වීමේ දැඩි අවදානමක් මින් ඉස්මතු වෙයි. එම නිසා, මුල් කෙටුම්පතට සාපේක්ෂව ගැසට් කරන ලද පනත් කෙටුම්පතෙහි යම් යම් සංශෝධන සිදු කර තිබුණද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් කෙරෙහි එල්ල වන බරපතල තර්ජනයන් නව කෙටුම්පතෙහිද එලෙසම පවතී.

කෙසේ නමුත්, කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ මුවාවෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව (NPP) විසින් ගැසට් කරන ලද ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අතිශය මර්දනකාරී ලෙස හිර කරනු ලබන නීතිමය උත්සාහයකි. ආණ්ඩුවේ දෙවසරක ධූර කාලය සපිරෙන මෙම මොහොතේ දී මෙවැනි පනතක් කරළියට ගෙන ඒමේන් ගම්‍ය වන්නේ, කෙතරම් සුබසාධන හෝ සංවර්ධන පියවර පිළිබද කතා කළ ද, විකල්ප අදහස් ඇතුලු විවේචනාත්මක හඩවල්වලට කිසිදු ඉඩක් නොතබන, ‘චීන පන්නයේ’ රාජ්‍ය මොඩලයක් ඔස්සේ “ඩිජිටල් ආඥාදායකත්වයක්” කරා යන ගමන වේගවත් කර ඇති බවයි.

(සටහන – මෙම ලිපියෙහි මූලික අවධානය යොමු වන්නේ යෝජිත පනත් කෙටුම්පත (PSTA – PSTB2) මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වන බරපතල තර්ජනයන් විමසීම කිරීම කෙරෙහි වුවද, ත්‍රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට පොලිස් බලතල පැවරීම ඇතුළු සමස්ත සිවිල් අවකාශයේ නිදහසට එල්ල වන දැඩි අවදානමද මෙහි අන්තර්ගතව පවතින බව විශේෂයෙන් අවධාරණය කරමි.)

සම්පත් සමරකෝන් | Sampath Samarakoon