iMage: AKD/ Facebook

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ මුවාවෙන්, වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ (POC) පනත් කෙටුම්පත, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික කුළුණු බිඳ හෙලීමේ බරපතළ අවදානමක් මතු කර තිබේ.

විශේෂයෙන්ම, මෙම කෙටුම්පතේ 4 වන සහ 45 වන වගන්ති එකිනෙකට සබැඳිව අධ්‍යයනය කිරීමේදී, ඒවා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම පුරවැසියාගේ ඩිජිටල් පෞද්ගලිකත්වය දැඩි මර්දනයකට ලක් වන බව පැහැදිලි වේ.

[1] 4 වන වගන්තිය: බාහිර ප්‍රකාශනය අපරාධකරණය සහ පුද්ගලික නිදහසට එල්ල වන තර්ජනය

පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය මගින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු වීම වසර 5 සිට 20 දක්වා බන්ධනාගාරගත කළ හැකි බරපතළ වරදක් ලෙස නිර්වචනය කර ඇති අතර, මෙහි 4(2)(ඇ) උපවගන්තිය මගින් යම් පුද්ගලයෙකු එවැනි කණ්ඩායමක සාමාජිකයෙකුදැයි තීරණය කිරීම සඳහා අදාළ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිත කරන ‘ඇඳුම් විලාසිතා’, ‘හස්ත මුද්‍රා’, ‘විශේෂ භාෂා විලාස’ හෝ ‘පච්ච සටහන්’ (Tatoo) භාවිත කරන්නේද යන්න සාක්ෂියක් ලෙස සැලකීමට බලධාරීන්ට බලය පවරා ඇත.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේ අවදානම: අධිකරණයක් හමුවේ වරදකරු කිරීමට අනෙකුත් සාක්ෂි අවශ්‍ය වුවද, පනතේ 17 වන වගන්තිය යටතේ පොලිසියට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ හුදෙක් “සාධාරණ සැකයක්” පමණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පුරවැසියෙකුගේ ඇඳුම් පැළඳුම් විලාසිතාවක්, කොණ්ඩා මෝස්තරයක්, සිරුරේ ඇති පච්චයක් හෝ උප සංස්කෘතික භාෂා භාවිතයක් පදනම් කරගනිමින් පමණක් වුවද ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අසීමිත බලයක් ලැබෙයි.

සංස්කෘතික සහ ප්‍රකාශන අයිතිය සීමා වීම: මෙමඟින් පුරවැසියෙකුගේ පුද්ගලික අනන්‍යතාවය, කලාත්මක ප්‍රකාශන සහ බාහිර ප්‍රකාශන අයිතිය පවත්වාගෙන යාමේ මූලික නිදහසට සෘජු තර්ජනයක් එල්ල වන අතර, එය පුරවැසියන් අතර අනවශ්‍ය ස්වයං-වාරණ තත්ත්වයක් වර්ධනය වීමට හේතු වීමත්, නිහඩ, බියකරු, නිදහස අභියෝගයට ලක්වන සමාජ පරිසරයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් පවතී.

[2] 45 වන වගන්තිය: ඩිජිටල් පෞද්ගලිකත්වය සහ End-to-End Encryption බිඳහෙළීම

පනතේ 45 වන වගන්තියේ (1)(අ) උපවගන්තිය මගින් දත්ත හෝ සන්නිවේදන කටයුතු සංකේතනය කරමින් (Encrypted) ආරක්ෂි පවත්වාගෙන යන සේවාවන්හි අගුලු ඉවත් කර (Decryption සිදුකර) අදාළ තොරතුරු පොලිසියට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත් ආඥා ලබා ගැනීමට අවසර සලසා ඇත.

ඩිජිටල් ආරක්ෂාව බිඳවැටීම: වර්තමාන ඩිජිටල් යුගයේ WhatsApp හෝ Signal වැනි ප්‍රධාන පෙළේ සන්නිවේදන යෙදවුම් ආරක්ෂා වී ඇත්තේ End-to-End Encryption තාක්ෂණය මතය. මෙම වගන්තිය හරහා එම ආරක්ෂණ පද්ධති බිදහෙළමින් තොරතුරු ලබා දීමට නියෝග කිරීමට ඉඩ සැලසීම මගින්, සමස්ත මහජනතාවගේම ඩිජිටල් අයිතිවාසකම් (Digital Privacy) සහ තොරතුරු ආරක්ෂාව (Data Security) බරපතළ අවදානමකට ලක් වේ.

පුළුල් සන්නිවේදන නිරීක්ෂණය: 45(1)(ආ) උපවගන්තිය මගින් ඊමේල්, දුරකථන සන්නිවේදනය, අන්තර්ජාලය හෝ දෘශ්‍ය සංවාදයන්ට සවන්දීමට, කියවීමට සහ පටිගත කිරීමට පොලිසියට පුළුල් බලය ලබා දී ඇත. මෙය මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර රහස්‍යභාවය (Protection of Sources), වෘත්තීයවේදීන්ගේ රහස්‍ය සන්නිවේදනය මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහිද දැඩි බියගැන්වීමේ බලපෑමක් (Chilling Effect) ඇති කරයි.

සැඟවුණු උපායමාර්ගය සහ අන්තරාය

මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති ඉහත 45 වගන්තිය මගින් සංනිවේදනයේ අගුලු විවෘත කරමින් පසු දොරක් (Backdoor) සඳහා නීති ප්‍රතිපාදන සැපයීම අහම්බයක් නොවේ. මීට පෙර ඉදිරිපත් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හි පළමු කෙටුම්පත’ (PSTA) තුළ ද මෙම ප්‍රතිපාදනය තිබූ නමුත්, එක්සත් ජාතීන් ඇතුළු දේශීය හා විදේශීය සංවිධාන/ පුරවැසියන්ගේ දැඩි බලකිරීම් මත එය එම පළමු කෙටුම්පතින් ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදුවිය.

නමුත්, එම මර්දනීය උපායමාර්ගික උගුල යළිත් වරක් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළට රිංගවා ඇත. එක් පනතකින් ඉවත් කරන ලද මර්දනකාරී ප්‍රතිපාදනයක් තවත් පනතක් හරහා මෙලෙස නැවත ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුවේ සැබෑ දෘෂ්ටිවාදයයි.

කෙසේ නමුත් මෙම වගන්ති දෙකම සමස්තයක් ලෙස විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, 4 වන වගන්තිය මගින් භෞතික අවකාශයේ ප්‍රකාශන නිදහස සහ බාහිර අනන්‍යතාවය පාලනය කිරීමටත්, 45 වන වගන්තිය මගින් ඩිජිටල් අවකාශයේ පෞද්ගලිකත්වය සහ සන්නිවේදන ආරකෂාව ඇතුලු ඩිජිටල් අයිතිවාසිකම් ආක්‍රමණය කිරීමටත් බලධාරීන්ට අසීමිත අවකාශයක් නිර්මාණය වන බවයි.

අපරාධ මර්දනය යන්න සාධාරණීකරණයක් ලෙස ඉදිරිපත් කරමින්, මූලික මානව හිමිකම් සහ ජාත්‍යන්තරව පිළිගත් ඩිජිටල් අයිතිවාසිකම් මෙලෙස සංකෝචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවැත්මට එල්ල වන බරපතළ මර්දනීය තත්ත්වයකි. එබැවින්, මර්දනකාරී මෙම පනත් කෙටුම්පත වහාම හකුලා ගැනීමට බල කිරීම සමස්ත පුරවැසියන්ගේම ප්‍රමුඛ වගකීමකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon