එක්සත් ජාතීන්ගේ මහා සභාවේ යෝජනා අංක 48/141 සහ මානව හිමිකම් කවුන්සිලයේ අංක 46/1, 51/1, 57/1 සහ 60/1 යන යෝජනාවන්ට අනුකූලව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට හිමි පොදු වරමට යටත්ව නිකුත් කරන මෙම ලුහුඬු වාර්තාව, විශේෂයෙන්ම 2006 සිට 2009 මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මානුෂීය සේවා කාර්ය මණ්ඩලයට, වෛද්‍ය හා මානුෂීය සේවා යටිතල පහසුකම්වලට සහ සහන සේවා මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර රටාවන් ලේඛනගත කරයි.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) සුරක්ෂිතාගාරය මගින් සම්පාදිත තොරතුරු සහ සාක්ෂි මෙන්ම, 2005 සහ 2009 අතර කාලය තුළ ගැටුම් බලපෑමට ලක් වූ ප්‍රදේශවල මානුෂීය සහ වෛද්‍ය සේවාවන්හි නියුතුව සිටි පුද්ගලයන් 16 දෙනකු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡා පදනම් කරගත් මෙම වාර්තාවෙන් අනාවරණය වන්නේ, මානුෂීය සේවා ක්රියාකාරිකයන්ට සහ දේපළවලට එල්ල වූ ප්රහාරයන් ද, මානුෂීය සහන සේවාවන්ට පනවන ලද ප්‍රවේශ සීමාවන් සහ අත්‍යවශ්‍ය ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම් ද හුදකලා සිදුවීම් හෝ එදිරිවාදිකම්වල අනියම් ප්‍රතිවිපාක නොවන බවයි. ඒ වෙනුවට, ඒවා මානුෂීය සහන සේවාවන්හි ධාරිතාව ක්‍රමානුකූලව බිඳ දමමින්, සිවිල් වැසියන්ගේ පීඩාවන් තවදුරටත් ගැඹුරු කළා වූ ද, විපතට පත් ජනතාවට අවශ්‍ය ජීවිතාරක්ෂක ආධාර සහ ආරක්ෂාව අහිමි කළා වූ ද තිරසාර රටාවක කොටසක් විය.
සමකාලීන සන්නද්ධ ගැටුමකදී වාර්තා වී ඇති මානුෂීය ආරක්ෂාව දැඩි ලෙස බිඳ වැටුණු අවස්ථාවලින් එකකට මෙය දායක විය. දශක දෙකකට පසුව ද, මෙකී අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගඋත්තරදායක වීමක් බොහෝ දුරට සිදුව නැත. නිසි පිළිගැනීමක් හෝ ප්‍රතිකර්මයක් අහිමි වූ, මරණයට පත් හා තුවාල ලැබූවන්ගේ පවුල්වල මෙන්ම ඔවුන්ගේ දිවි ගලවා ගත් සගයන්ගේ ද ජීවිත මත මෙම දණ්ඩමුක්තිය අඛණ්ඩ බරක් වී පවතී.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට වර්තමාන මොහොතේදී සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. මානුෂීය සහන සේවකයන්ටත්, යටිතල පහසුකම් සහ මෙහෙයුම්වලටත් එරෙහි ප්රහාරයන්ට අමතරව, මානුෂීය සේවා සඳහා වන ප්රවේශයන් ප්‍රතික්ෂේප කිරීම හෝ සීමා කිරීම සමකාලීන සන්නද්ධ ගැටුම්වල මුඛ්‍ය ලක්ෂණ බවට පත්ව තිබේ. 2023 සහ 2025 අතර කාලවකවානුව තුළ රටවල් 21ක් පුරා මානුෂීය සහන සේවකයන් 1,010කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කර ඇති අතර, එය ඊට පෙර වසර තුන තුළ වාර්තා වූ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට ආසන්න අගයකි. අන්තර් කාර්යාංශ ස්ථාවර කමිටුව (Inter-Agency Standing Committee) විසින් වර්තමාන කාලපරිච්ඡේදය විස්තර කරනු ලැබ ඇත්තේ “දණ්ඩමුක්ති යුගයක්” ලෙසිනි. මෙම ලුහුඬු වාර්තාව වෙනුවෙන් අදහස් විමසන ලද බොහෝ දෙනෙක්, කිසිදු පෙළඹවීමකින් තොරව සහ කැපී පෙනෙන ආකාරයේ සමාන යෙදුම්වලින්, වෙනත් සමකාලීන ගැටුම් සමඟ පවතින මෙකී සමාන්තර ලක්ෂණය පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන දණ්ඩමුක්තිය ලොව අන් තැන්වල අපරාධකරුවන්ට වඩාත් එඩිතරව ක්‍රියා කිරීමට දිරිය සැපයූ පූර්වාදර්ශයක් ලෙස ද විස්තර කළහ.
සන්දර්භීය පසුබිම
මානුෂීය ප්රවේශයන් සීමා කිරීම ගැටුමෙහි අවසන් අදියරට පෙර සිටම පැවති අතර, ඒවා එකිනෙකට වෙනස් ආකාරයන්ගෙන් වුවද, සියලු පාර්ශ්වයන් විසින් පනවනු ලැබ තිබුණි. අනුප්‍රාප්තිකව බලයට පත් වූ ආණ්ඩු විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) පාලනය යටතේ පැවති ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට සහ මානුෂීය සේවා මෙහෙයුම්වලට සීමා පනවන ලද අතර, මානුෂීය සහන සේවාවන්හි නියැලි සංවිධානවලට ආවේක්ෂණයන්, අත්තනෝමතික සෝදිසි පරීක්ෂාවන්, මුරපොළ ප්‍රමාදයන් හා සැපයුම් සීමා කිරීම්වලට මුහුණ දීමට සිදු විය. LTTE සංවිධානය ද, ස්වකීය අවසර පත් ක්‍රමය ඇතුළු සීමා කිරීම් පැනවීම හරහා සිවිල් වැසියන්ගේ සහ මානුෂීය සහන සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ගමනාගමන කටයුතු පාලනය කළේය. මෙකී ක්‍රියාමාර්ග මානුෂීය සහන සේවා සැපයීමේ ධාරිතාව ක්‍රමානුකූලව දුර්වල කරමින්, සිවිල් ජනයා මුහුණ දුන් අන්තරායයන් උත්සන්න කළේය. 2006ට පෙර පවා, පැවති මානුෂීය සේවා ප්රතිචාරයන් ප්‍රධාන හමුදා ක්රියාන්විතයකට ඔරොත්තු දීමට තරම් ප්‍රමාණවත් ලෙස සූදානම්ව නොතිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඇගයීම් මගින් අනතුරු අඟවා තිබුණි.
2006 වසරේ පටන්, මෙකී සීමා කිරීම් මානුෂීය සහන සේවකයන්ට සහ යටිතල පහසුකම්වලට සෘජුව එල්ල කරන ලද ප්‍රහාර දක්වා උත්සන්න කෙරුණි. විශේෂයෙන්ම දෙමළ ජන බහුතරයක් ජීවත් වූ ප්‍රදේශවල ක්‍රියාකාරී වූ ප්‍රාදේශීය සංවිධාන ද ආවේක්ෂණයන්, වත්කම් අත්හිටුවීම් සහ තහනම් කිරීම් වැනි ක්‍රියාමාර්ගවලට මුහුණ දුන් අතර, මානුෂීය සහන සේවකයන් LTTE හිතවාදීන් ලෙස පෙන්නුම් කළ නිල ආඛ්‍යාන හේතු කොටගෙන ඔවුන්ගේ ආරක්ෂාව තවදුරටත් දුර්වල විය. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලට වන්නි ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි 2008 සැප්තැම්බරයේදී රජය විසින් නියෝග කිරීමත් සමඟ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් උදා විය. ඉනික්බිතිව, අන්තර්ජාතික සහන සේවා කාර්ය මණ්ඩලය ඉවත් වීමත්, 2009 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) සිය ගොඩබිම් මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමත් මගින් මානුෂීය අවශ්‍යතා පෙරදැරි කරගත් ප්රවේශයන් බරපතළ ලෙස සීමා කරන ලද අතර, තීරණාත්මක ආරක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සඳහා රැඳී සිටීමේ හැකියාව ද අහිමි කෙරුණි.
අවසාන යුද ක්‍රියාන්විතයන් අතරතුර වෛද්‍ය පහසුකම් සපයන ස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාර උත්සන්න කෙරුණි. ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් වූ සීමා කිරීම් තීව්ර කෙරුණු අතර, තක්සේරු කළ අවශ්‍යතාවන්ට වඩා සැපයුම් ප්‍රමාණය බෙහෙවින් පහළ ගියේය. අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය මෙවලම් සම්බන්ධයෙන් පැවති බරපතළ හිඟය වෛද්‍ය ප්‍රතිකාර අඩාල කළ අතර, මන්දපෝෂණය සහ සාගතය තීරණාත්මක මට්ටම් කරා ළඟා විය. අවසාන සති කිහිපය වන විට, අඛණ්ඩ ෂෙල් ප්‍රහාර මැද වෙරළාශ්‍රිත පටු බිම් තීරයකට කොටු වී සිටි සිවිල් වැසියන්ට මානුෂීය සහනාධාර සඳහා වූ ප්‍රවේශය සහමුලින්ම අහිමිව තිබූ අතර, අවසාන සක්‍රීය රෝහල ද සිය මෙහෙයුම් නතර කර තිබුණි.
මෙම ලුහුඬු වාර්තාව, සුවිශේෂී සිදුවීම් හතරක් පරීක්ෂාවට ලක් කරයි:
1. 2006 ජනවාරි 29 සහ 30 වැනි දිනවල දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (TRO) කාර්ය මණ්ඩල සාමාජිකයන් අතුරුදන් වීම;
2. 2006 අගෝස්තු මාසයේ මුත්තූර්හිදී Action Contre la Faim (ACF) සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනකු ඝාතනය කිරීම;
3. 2009 ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ “Convoy 11” සැපයුම් රථ පෙළට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හා එය අවහිර කිරීම; සහ
4. 2009 ජනවාරි සහ පෙබරවාරි කාලය අතරතුර පුදුකුඩියිරුප්පු රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම.
මේ කිසිදු සිදුවීමකට අදාළව කවර හෝ පුද්ගලයකු සාපරාධී ලෙස වගකිව යුතු බවට තීරණය කර නැත. පවතින සාක්ෂිවලින් පෙනී යන්නේ, සිවිල් ජනයාට සහ මානුෂීය සහන සේවාවන්ට බලපෑ ප්රහාරයන්, සීමා කිරීම් සහ අහිමි කිරීම් සිදු වූයේ, සිවිල් වැසියන් රැඳී සිටින ස්ථාන සහ මානුෂීය අවශ්‍යතා කවරේද යන්න පිළිබඳව රජය දැනුවත්ව සිටියදීම බවයි.
වෛද්‍ය හා මානුෂීය සහන සේවා සැපයීමට ආධාරක වන දේපළවලට ප්‍රහාර එල්ල කිරීම සහ මානුෂීය ආධාර වැළැක්වීම මගින් සිවිල් වැසියන් හාමත් කිරීම ඇතුළු යුද අපරාධ රජයේ හමුදා විසින් සිදු කර ඇති බවට විශ්වාසදායක චෝදනා පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලය විසින් සොයා ගන්නා ලද අතර, සියලුම පාර්ශ්වයන් විසින් සිදු කරන ලද බරපතළ උල්ලංඝනය කිරීම් රැසක් යුද අපරාධ වශයෙන් සැලකිය හැකි බව විශ්වාස කිරීමට සාධාරණ පදනම් පවතින බව ශ්‍රී ලංකාව පිළිබඳ OHCHR විමර්ශන වාර්තාව (OISL) මගින් අනාවරණය කර ගන්නා ලදී.
කෙසේ වුවද, වසර ගණනාවක් තිස්සේ රැස් කර ගත් විස්තීර්ණ ලේඛනගත සාක්ෂි තිබියදීත්, අර්ථාන්විත වගඋත්තරදායක වීමක් මෙතෙක් සිදුව නොමැත. මෙම ලුහුඬු වාර්තාවේ විමර්ශනයට භාජනය කර ඇති සිදුවීම් මගින් රාජ්‍ය වගකීම ප්‍රතික්ෂේප කිරීම, අකාර්යක්ෂම විමර්ශන හා අභිචෝදනයන්, වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂණයක් නොමැති වීම සහ සාපරාධී වගඋත්තරදායකත්වය වෙනුවට විමර්ශන කොමිෂන් සභා මත රඳා පැවතීම ඇතුළු දණ්ඩමුක්තියට හේතු වන අඛණ්ඩ සාධක හෙළිදරව් කරනු ලබයි.
මෙම ලුහුඬු වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිචාරය ද විමර්ශනය කෙරේ. කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් තනි තනි පුද්ගලයන් වශයෙන් පෙන්නුම් කළ ධෛර්යවන්තභාවය තිබියදීත්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත්, පූර්ව අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමටත්, මානුෂීය සහ මානව හිමිකම් මූලධර්ම පදනම් කරගත් ක්‍රියාමාර්ග සහතික කිරීමටත් අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය වගකීම් ඉටු කිරීමට අසමත් වූ බවට මහ ලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩලය එළඹි නිගමනය ද මෙමගින් සිහිපත් කෙරේ. කෙසේ නමුත්, බරපතළ උල්ලංඝනයන් විමර්ශනය කිරීමේ සහ ඒවාට එරෙහිව අභිචෝදනා ගොනු කිරීමේ මූලික වගකීම රජයට පැවරෙන්නේය යන කරුණ ඉහත අසමත් වීම් මගින් කිසිසේත් හීන නොකරයි.
මානුෂීය සහන සේවකයන්ගේ හඬ
සිදු කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ගැටුමෙහි අවසාන අදියර සහ එහි දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව කැපී පෙනෙන ලෙස එකිනෙකට අනුකූල වූ විස්තර අනාවරණය කෙරුණි. හුදු මානුෂීය සහන සේවාවන්හි නියැලීමම සැකයට සහ බියගැන්වීම්වලට හේතුවක් වූ ආකාරය පිළිබඳව සාකච්ඡාවලට සහභාගී වූ පිරිස් විස්තර කළ අතර, විශේෂයෙන්ම දේශීය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඊට බරපතළ ලෙස නිරාවරණය වූ බව ද ඔවුහු සඳහන් කළහ. 2008 සැප්තැම්බර් මාසයේදී අන්තර්ජාතික සංවිධාන ඉවත් වීම, සිවිල් ජනයාට මානුෂීය ආධාර පමණක් නොව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇසින් දැක ලේඛනගත කිරීමේ හැකියාව සහිත ජාත්‍යන්තර නියෝජනය ද අහිමි කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඔවුහු හඳුනා ගත්හ.
මානුෂීය ආධාර ක්‍රමානුකූලව සීමා කිරීම සහ හැසිරවීම, ගැටුම් කලාපය තුළ කොටු වී සිටි සිවිල් වැසියන්ට වඩ වඩාත් දැරිය නොහැකි තත්ත්වයන් නිර්මාණය වීමට හේතු වූ බව බොහෝ දෙනා විස්තර කළහ. අත්‍යවශ්‍ය සැපයුම් හිඟව තිබියදී, තුවාල ලැබූ සහ බරපතළ ලෙස අසාධ්‍ය වූ රෝගීන් සුවිශාල ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා දීමට සිදු වූ බවත්, බොහෝ අවස්ථාවලදී දිවි බේරා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දිය නොහැකි වූ බවත් වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිහිපත් කළහ.
තමන් මුහුණ දුන් ගැඹුරු අසරණභාවය පිළිබඳව මානුෂීය සහන සේවාවල නියුතු වූවන් කතා කළ අතර, තමන් විසින් අත්විඳින ලද දෑ පිළිබඳ සාක්ෂි දරා සිටීමේ වගකීම පිළිබඳ කල් පවත්නා හැඟීමක් ද ඔවුන් තුළ විය. සත්‍යය, පිළිගැනීම සහ වගඋත්තරදායකත්වය වෙනුවෙන් වසර ගණනාවක් දැරූ අසාර්ථක පරිශ්රමයන් හේතුවෙන් ඇති වූ චිත්තවේගී කම්පනයන් සහ මානසික පීඩාවන් බොහෝ දෙනකු තුළ තවමත් නොනැසී පවතී. අඛණ්ඩ දණ්ඩමුක්ති පිළිවෙත හේතුවෙන් හානියට පත් වූවන්ට සත්‍යය හෝ සහනයක් ලබා දී නොමැති අතර, එවැනි උල්ලංඝනයන්ට ප්‍රතිකර්ම ලබා දීමට අපොහොසත් වීම වෙනත් ස්ථානවලදී ද එකී සිදුවීම් පුනරාවර්තනය වීමේ අවදානම පිළිබඳ පවතින කනස්සල්ල තවදුරටත් තහවුරු කරයි.
නිගමන සහ නිර්දේශ
මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජය සමඟ බෙදා ගනු ලැබූ අතර, ඒ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලද නමුත් ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් රජයෙන් කිසිදු පිළිතුරක් ලැබී නොතිබුණි.
රාජ්‍ය ආරක්ෂක හමුදාවන් සම්බන්ධ වූ ප්‍රහාර ඇතුළු මානුෂීය සහන සේවකයන්ට හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම ඔවුන් සේවය කළ ස්ථානවලට සහ ඔවුන්ගේ මෙහෙයුම්වලට එල්ල කරන ලද ප්‍රහාර රජය විසින් විධිමත්ව පිළිගනිමින්, ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමකින් ආරම්භ විය යුතු, සත්‍යය, වගඋත්තරදායකත්වය සහ පුනරාවර්තනය වැළැක්වීම සඳහා වූ පැහැදිලි කැපවීමක් ද, ඒ සමඟම ඝාතනයට ලක් වූ හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සහ දිවි ගලවා ගත් සගයන්ට ප්‍රමාණවත් හා විස්තීර්ණ හානි පූර්ණයක් ලබා දීම ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉල්ලා සිටිනු ලැබේ.
කඩිනම්, ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන මගින් තනි තනි සිදුවීම් පිළිබඳව පමණක් නොව, මානුෂීය සහන සේවා කටයුතුවල නිරත වූ පාර්ශ්වයන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර සහ මානුෂීය ආධාර සැපයීම සඳහා පැනවූ සීමා කිරීම් පුළුල් ප්රතිපත්තියක හෝ සැලැස්මක කොටසක් වීද යන්න පිළිබඳව ද සොයා බැලීමට අවධානය යොමු කළ යුතුය. මේ සඳහා අභිචෝදක ආයතනවල ස්වාධීනත්වය සහ ධාරිතාව ශක්තිමත් කිරීමත්, ස්වාධීන අභිචෝදන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමත්, රෝම ප්රඥප්තිය ඇතුළු අදාළ අන්තර්ජාතික නෛතික මෙවලම් පිළිගැනීමත් අවශ්‍ය වේ.
ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු කරමින්, බරපතළ උල්ලංඝනයන්ට සම්බන්ධ නිලධාරීන් දැඩි පසුබිම් පරීක්ෂාවකට (vetting) ලක් කිරීම සහතික කර, වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ඵලදායී ලෙස ශක්තිමත් කිරීම සහ වින්දිතයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත්, මානව හිමිකම් ආරක්ෂකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ටත් එරෙහි නිරීක්ෂණ කටයුතු, බියගැන්වීම් සහ පළිගැනීම් අවසන් කිරීම මගින් පුනරාවර්තනය වැළැක්වීමට රජය විසින් සංයුක්ත ක්‍රියාමාර්ග ගත යුතුය.
අඛණ්ඩ අන්තර්ජාතික අධීක්ෂණයක් පවත්වා ගෙන යාම OHCHR විසින් නිර්දේශ කරනු ලබන අතර, දේශීය වෑයම් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අන්තර්ජාතික විමර්ශන, අභිචෝදන, ඉලක්කගත සම්බාධක සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් මානව හිමිකම් මුල් කරගත් දැඩි පසුබිම් පිරික්සීම් සිදු කිරීම හරහා වගඋත්තරදායක වීම තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම ද නිර්දේශ කර සිටියි. ශ්‍රී ලංකාවේ මානුෂීය සහන සේවා ක්‍රියාකාරකම්වලට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් වගඋත්තරදායක වීම, ආරක්ෂක මණ්ඩලයේ 2730 (2024) යෝජනාව සහ මානුෂීය සහන සේවකයන්ගේ ආරක්ෂාව සඳහා වූ 2025 ප්රකාශනය යටතේ ක්‍රියාවට නංවන ප්රයත්න ද ඇතුළුව, එවැනි උල්ලංඝනයන්ට එරෙහි පුළුල් අන්තර්ජාතික ප්‍රතිචාරයේ අවියෝජනීය කොටසක් විය යුතු අතර, ශ්‍රී ලංකාවේ පැවති දණ්ඩමුක්තිය වෙනත් ගැටුම් සඳහා පූර්වාදර්ශයක් නොවනු ඇති බවට සහතික කිරීමට එය ඉවහල් වනු ඇත.
(එක්සත් ජාන්ගේ සංවිධානයේ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති “I died many times” – Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 years on – OHCHR Report නවතම වාර්තාවේ සංස්කරණය කළ විධායක සාරාංශයයි)