සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – කතෝලික රදගුරු සම්මේලනය


ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි.

කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකළත්, විසඳුම් සොයා යන ක්‍රියාවලියක පදනම ලෙසින් එහි නිර්දේශ වෙත අවධානය යොමු කිරීම වැදගත් බවයි, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය වෙනුවෙන් එම ලිපියට අත්සන් තබා තිබෙන අති පූජ්‍ය මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සහ නෝබට් අන්ද්‍රාදි රදගුරු තුමා පවසන්නේ.

පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා මෙම ලිපිය මඟින් ඉදිරිපත් කෙරෙන මුලික කරුණු බීබීසී දෙමළ සේවයට පැහැදිලි කළ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් අවධාරණය කළේ, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම පත්කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ උනන්දුවක් නොමැති හැඩක් පෙනීයන හෙයින් රදගුරු සම්මේලනය එම ඉල්ලීම කළ බවයි.

“ආණ්ඩුව සත්‍යය පිළිගන්නා තුරු සංහිඳියාව වර්ධනය කරන්න බැහැ”

[මන්නාරම රදගුරු රායප්පු ජෝසප්]

“නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය කැපවී කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. අන්න ඒ නිසයි රජය හැම පැත්තකින්ම දැඩි පීඩනයකට ලක්වෙලා තියෙන්නේ,” රායප්පු ජෝසප් රදගුරු තුමා පැවසූහ.

රටේ සංහිඳියාව ඇති කිරීමෙහිලා උගත් පාඩම් කොමිසම් වාර්තාව සර්ව සම්පුර්ණ එකක් නොවූවද, එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින්ද යුද්ධයෙන් බැට කෑ ජනතාවට කිසියම් සහණයක් ලැබෙනු ඇති බවයි, කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ.

“ආණ්ඩුව සත්‍යය පිළිගන්නා තුරු සංහිඳියාව වර්ධනය කරන්න බැහැ. ඒ සඳහා ආණ්ඩුව වගකීමකින් යුතුව පුනරුත්ථාපන කටයුතු ක්‍රියාත්මක කළ යුතු,” බවද රායප්පු ජෝසප් රදගුරු තුමා වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

By – BBC