Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තබයි.

552656_115476615316950_424908108_n

ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර මුද්‍රණ අංශයට ඇතුළුවූ බවත්, ඉන් අනතුරුව මුද්‍රණ යන්ත්‍රයට පෙට්‍රල් දමා ගිනි තැබූ බවත් උදයන් ආරංචිමාර්ග පවසයි.

බෙදාහැරීම සඳහා සූදානම් කර තිබුණු පුවත්පත් තොගයක්ද එකී ගින්න‍ටම දමා පුළුස්සා ඇති බවත් වාර්තා වෙයි. මීට පෙර අවස්ථාවන් ගණනාවකදී උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම, පුවත්පත් බෙදාහරින්නන්ට පහරදීම, තර්ජන කිරීම දිගින් දිගටම සිදුවු අතර ඒ සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක් අත් අඩංගුවට ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. ඒත් සමගම දිගින් දිගටම උතුරේ මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදින් ද මේ වන විට බරපතල ලෙස තර්ජනයන්ට මෙන්ම ජීවිත අවධානමකට මුහුණ දෙමින් තිබේ.

අද(13) යාපනයේ උදයන් කාර්යාලයට පහරදී ගිනී තැබීමට පෙර පසුගිය අප්‍රේල් 03වනදා, උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් මෙවැනිම වේලාවක එනම් උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර තිබිණි. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවූ ඇති අතර පුවත්පත් බෙදාහරින සේවකයන් දෙදෙනෙක් සහ එහි කළමනාකරු ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලැබීය.

කෙසේ නමුත් අද උදෑසන යාපනය, උදයන් පුවත්පත් කාර්යාලයට සිදු කල මෙම ගිණි තැබීම පිලිබදව, ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදියකු උපුටා දක්වමින්, අයිතින් සදහා එකමුතුව(NFR) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටින්නේ, ‘‘මේ ප‍්‍රහාරය අයිතීන් සඳහා ජාලයට අදහස් දැක්වූ පුවත්පත් සමාගමෙහි ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදියකු පැවසූයේ මෙම ප‍්‍රහාරය එක්කෝ රජයේ ආරක්ෂක අංශ විසින් හෝ එසේත් නැත්නම් ඒවායේ අනුබලය ලබන සන්නද්ධ කල්ලියක් විසින් කරන්නට ඇති බවයි.

උදයන් පුවත්පතට එරෙහිව එල්ල කරන ලද මෙවැනි ප‍්‍රහාරයන් විසි තිස් ගණනාවක් වන බවත් ඒ කිසිම අපරාධයක් සම්බන්දයෙන් සැකකරුවන් අත් අඩංඟුවට ගැනීමට රජය දිගින් දිගිටම අසමත්වීම පිටුපස ඇති රහස එම ප‍්‍රහාරයන් රජයේ අනුදැනුම ඇතිව සිදු වූ ඒවා වීම බවත් ඔහු තව දුරටත් පැවැසීය.

උදයන් පුවත්පත් ආයතනය හිමිකරු වන පාර්ලිමේන්තු මංත‍්‍රී සරවනබවන් මහතා ප‍්‍රකාශ කළේ කුමණ බාධා පැමිණිය ද උදයන් පුවත්පත් දිගටම උතුරෙහි ප‍්‍රධාන පුවත්පත වශයෙන් සිය සේවය දිගටම කරනු ඇති බවයි. මෙම ප‍්‍රහාරය තව මාස පහකින් පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණ සමයේ දී ජනමාධ්‍ය පාලනය කිරීම සඳහා කල් තබා දරනු ලබන සාහාසික පියවරක් ලෙස සැළකිය හැකි බවත් ඒ මහතා පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනකාරි පිළිවෙත යළි පෙන්වා දෙන මෙම ප‍්‍රහාරය හෙළා දැකින සේ අයිතීන් සඳහා එකතුව ශ‍්‍රී ලංකාවේ සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග කෙරෙන් ඉල්ලා සිටියි.“

උතුරේ මාධ්‍ය මර්ධනය හෙවත් උතුරේ මාධ්‍යට බිය මිලිටරිය

කෙසේ නමුත් මෑත කාලය සිට උතුරේ පුවත්පත් ජනතාව වෙත යෑම වළක්වීම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව පසුගිය කාලය පුරා උතුරේ මාධ්‍යට එල්ලකරන ලද තර්ජනයන් සහ ප්‍රහාරයන්ගෙන් මනාවට පිළිබිබු වේ. විශේෂයෙන් වන්නි ප‍්‍රදේශයේ සැලසුම් සහගත ලෙස පුවත්පත් බෙදාහැරීම වැළැක්වීම සහ බෙදාහරින සේවකයන් තර්ජනය කිරීම දිගටම සිදු වූ අතර, පසුගිය පෙබරවාරී 07 වනදා තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකු වූ එස්. සිවකුමාර්(40)ට, පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර පිරිකගේ ප‍්‍රහාරයකට ලක්විමට සිදුවිය. පහර කෑමට ලක්වූ, සිවකුමාර් ගමන් කරමින් සිටි යතුරු පැදිය ද, එවේලේහි ඔහු ලග තිබූ තිනක්කුරල් පුවත්පත් ද මැර පිරිස ගිනි තබා තැබූහ.

ජනවාරි 10 වනදා උදෑසන උදයන් පුවත්පතේ මාධ්‍ය සේවකයෙකු වන නාගේශ්වරන් ප‍්‍රදීපන්(30) යාපනයේ, මාළු හන්දියේ දී මෝටර් සයිකල් දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් කටු කම්බි එතු යකඩ කම්බියකින් ප‍්‍රදීපන්ට බරපතල ලෙස ප‍්‍රහාර එල්ල කර පසුව ඔහුව අසල තිබූ කාණුවකට තල්ලුකර දමා, පසුව ඔහුගේ මෝටර් සයිකලය සමඟ පුවත්පත් ගිනි තබා විනාශ කර පලා ගියේ ය.

1985 වර්ෂයේදී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 වර්ෂයේ සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ විවධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතබනු ලැබීය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.

2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත ද එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයකට ලක් විය. ඒ හමුදා මුර පොළක පෙනෙන මානයේ දී ය. ඉන් පසු කූගනාදන් මහතාට සිය මාධ්‍ය ජීවිතයෙන් සහ යාපනයේ සිය උපන් බිමෙන් සමුගෙන ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවුනි.

වසර 28 ක කාලසීමාවේ සිට මේ දක්වා උදයන් පුවත්පත් කාර්යාලයට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් ගණන 28 කට වඩා වැඩිය. එහි ආසන්නම සිදුවීම ඊයේ සිදුකල ප්‍රහාරය වුවත්, ඊට මාස කිහිපයකට පෙර යාපනය සරසවියේ සිසුන්ට හමුදාව විසින් පහරදීම වාර්තා කිරීමට ගිය උදයන් පුවත්පතේ මාධ්‍යවේදියකුට ද සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශ විසින් පහර දෙනු ලැබීය. මේ කිසිවකටත් අද දක්වා පිළීගත හැකි, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයක් වත් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වී තිබේ. එපමණක් ද නොවේ උතුරේ පැය 24ම සක්‍රීය හමුදා පාලනයක් තිබෙන තත්ත්වයත් තුල මෙසේ පහරදුන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට එම ආරක්ෂක අංශ වලට නොහැකි වූවේ ඇයි.? එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ප්‍රහාරයකයන් ආරක්ෂක අංශවල පහස ලබමින් මෙම මැර ප්‍රහාරයන් එල්ල කරන්නේ යැයි උතුරේ සමාජය සැක කිරීම මෙවන් සිදුවීම්වලින් සාධාරණීකරනය නොවන්නේ ද?

98

552656_115476615316950_424908108_n

558115_115476808650264_608575047_n

Picture-019

@Image Credit:www.onlineuthayan.com