එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු හැරි ඒ දෙසට ගමන් කිරිමට සිත් වූයේ, එම දුරකතනය කොරෝනා සමය තුළ අප විසින් සේවකයින්ට හදුන්වා දී තිබු හදිසි ඇමතුම් අංකයෙන් නිසාවෙනි. එහිදී කතාකළ ඇය කියා සිටියේ, තමන් ඉතාමත් බරපතල ගැටළුවක ඉන්නා බවත්, මෙම දුරකතන අංකය ඒ මොහොතේ දන්නා හදුනන කෙනෙකුගෙන් ලැබුනු බවත්, අපව මුණ ගැසීමට අවශය්‍ය බවත්ය.

එම හඩෙහි වූ දුක්බර බව නිසාම අප හැකි ඉක්මනින් එන ලෙස ඔවුන්ට පවසා, ඔවුන් වෙනුවෙන් තවත් මිනිත්තු 20 ක් පමණ බලා සිටියෙමු.

එහිදී වයස අවුරුදු 02 නොයික්මවු දරුවන් දෙදෙනකු කර පින්නා ගත් වයස අවුරුදු 23 ක හා 21 ක තරුණ කාන්තාවන් දෙදෙනකු වැස්සෙන් බේරීමට, කූරු කැඩී ගිය කුඩ දෙකක වාරුවෙන් කාර්යාලයට ගොඩ විය.

”…..මිස් මම වැඩකළ ෆැක්ට්‍රියෙන් මට මීට සතිදෙකකට කලින් වැඩට එන්න කීවා. ඒ වෙනකල් දෙවෙනි කොරෝනා රැල්ලෙන් පස්සේ වැඩට එන්න කීවෙම නෑ. ඉතිං ඒ කාලේ මට ගෙව්වෙ මගේ පඩියෙන් බාගයයි. හැම දෙයක්ම කැපිල කෙටිල මගේ අතට ආවේ රුපියල් 7,500 ක් වගේ ගානක්. මම ඒකෙන් බෝඩිමට 4000ක් ගෙවල, ඉතිරි මුදලෙන් තමයි කෑවෙ, බිව්වෙ. බඩිගින්නේ හිටපු වේල් ගාන, කාල හිටපු වේල් ගාණට වඩා වැඩියි. පහු ගිය ටිකේම මම යෝගට් කොප්පයකින් එක හාල් කෝප්පයක් උයල, දරුවට කවලා ඉතිරි වන ටික තමයි කෑවෙ. රජයෙන් කියල කිසිම දෙයක් ලැබුනේ නැහැ. අපේ ෆැක්ට්‍රිය මේ වෙනකල් අපිව උන්නද මලාද කියල හොයල බැලුවෙ නෑ. එක පාරක් ඔයාල වගේ ආයතනයකින් බඩු මල්ලක් ලැබුනා. අපි ජීවත් වෙන විදිහ දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.”

ඉන් අනතුරුව ඇයගේ ඉකි බිදුම වචන වලට පෙරලු ඇයගේ කතාව මදකට නතර කර දැමු අතර මද වේලාවකින් නැවතත් ඇය කතාවේ ඉතිරි කොටස අප හා බෙදාහදා ගත්තාය.

”..මේ දරුවගේ තාත්තා අපිව අතෑරලා ගොඩාක් කල්. මම දරුවත් එක්ක තනියම ජීවත් වෙන්නේ. දැන් මට වැඩට එන්න කිව්වට, එයාලා කියන්නේ හොස්ටල් එකට ආවොත් විතරයි වැඩට ගන්න පුළුවන් කියල. මම මගේ දරුවා කාට දාල ද වැඩට යන්නේ. ඉස්සර වැඩට යද්දී ඇන්ටි කෙනෙක් දරුවා බලා ගත්තා. ඒත් මේ විදිහට දරුවා දාලා යන්න කෙනෙක් නැහැ. ඉතිං ෆැක්ට්‍රි එකෙන් කියනව, ඔයාලගේ පුද්ගලික ප‍්‍රශ්න අපට අදාල නෑලූ. මේ වෙනකල් ගෙව්ව පඩි බාගෙටවත් වැඩ දීල තියෙද්දීත් එන්නේ නැතිනම් ගෙවන්න බැරි වෙයිලූ.

හෙට අළුත් අවුරුද්දක් ලබනවා, මගේ දරුවට බත් කටක් දෙන්න හාල් ඇටයක්වත් නෑ. ණයට බඩු ටිකක් අරන් හිටිය කඩෙන් කියනවා තව දුරටත් ඒක කරන්න බැරිලූ. තේ කහට ටිකක්වත් දරුවට දෙන්න නෑ. බැරිම තැන , මම අඩ අඩා අල්ලපු බෝඩිමේ කට්ටියත් එක්ක කියනකොට තමයි, ඔයාලගේ නම්බර් එක තියෙන කොලයක් ස්මාර්ට් ෂර්ට් එකේ වැඩ කරන ළමයෙක් දුන්නේ. මේ අක්කත් මම වගේම කර කියාගන්න දෙයන් නැතිව ඉන්නේ. එයත් හැමදාම එයාගේ ප‍්‍රශ්න මට කියනවා. ඉතිං අපි දෙන්නම ආවේ ඒ නිසයි.”

අනතුරුව, පුංචි කොලු පැටියෙකු කර පින්නාගත් ඉතා කෙසග සිරුරක් සහිත වයස අවුරුදු 23ක් පමණ වූ අනෙක් කාන්තාව ඇයගේ කථාව දිග හරින්නට විය.

”මිස් දරුවා ලැබුනට පස්සේ මම වැඩට ගියේ නෑ. මහත්තයා විතරයි වැඩට ගියේ. ඒත් එයා දැනට මාස ගනනක ඉදලා මාවයි දරුවයි හරියට බැලුවෙ නෑ. ඔහොම ඉන්නකොට එයාට හොස්ටල් එකකට යන්න සිද්ධ වුනා. දැන් මාස දෙකක් වෙනවා. මාත් එක්ක කථා කරන්නෙත් නෑ. මොන හොස්ටල් එකේ ඉන්නවද කියල මම දන්නෙත් නෑ. මම දන්න විදිහට හොයල බැලූවා. ඒත් හොයාගන්න බැරි වුනා. මට මේ දරුවත් එක්ක හොය හොය යන්නත් බෑ. මට දැන් කර කියාගන්න දෙයක් නෑ. මම මෑන්පවර් හරි වැඩට යන්න හෙව්වා. ඒත් දරුවා බාර ගන්න කෙනෙක් නෑ. ඩේ කෙයාවලට අළුත් ළමයි ගන්නේ නෑ. මේ තියෙන කොරෝනා ප‍්‍රශ්න නිසා. අපේ දරුවෝ බලන්න කව්රුත් කැමති නෑ. මොනව කරන්නද කියල හිතා ගන්න බැරිව ඉද්දි තමයි මේ නම්බර් එන ලැබිල අපි කතා කලේ. ඔයාල ආන්සර් නොකෙරුව නම් අපි හෙට දවසේ මොනව කර ගනිවීද කියල අපිවත් දන්නේ නෑ.”

මෙවැනි කථා නිදහස් වෙළද කළාපයේ සේවකයන්ගේ ජීවිත පිටුපස ඇති පොදු අදෝනා බවට මේ වන විට පත්ව ඇත. අප වැනි කණ්ඩායම් දිගින් දිගටම පාලකයින්ට කියා සිටියේ, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කිරීම හා සේවකයින් සදහා සාධාරණ පිළිවෙතක් සහිත වැඩ රටාවක් යොජනා කරන ලෙසයි. ඔවුන් මේ වනවිට ඒ සදහා කදිම පිළිතුරක් ලබා දී ඇත. මේ වන විට කටුනායක නිදහස් වෙළද කළාපය අවට ඇති විශාල ප‍්‍රමාණයේ පුද්ගලික නේවාසිකාගාර ආයතන පාළකයින් විසින් කුලියට ගෙන, එක් එක් ආයතනයන්ට අදාල හොස්ටල් බවට පත්කර ඇත. ඒ අනුව රෝස්ටරයකට අනුව සේවකයින් සේවයට කැදවන අතර, ඔවුන් සේවයට වාර්ථා කිරීමට නම්, මේ වන විට සිටින නේවාසිකාගාරයේ තමන් සතු බඩුභාණ්ඩ තබා, ඇදුම් බෑගය පමණක් රැගෙන යෝජිත නේවාසිකාගාරයට පැමිණිය යුතුය.

එහිදී දැවැන්ත ප‍්‍රශ්ණ රාශියක් පැණ නැග ඇති අතර, ප‍්‍රායෝගිකව එම හොස්ටල් වලට යා හැකි සේවකයින්ට තමා සිටි නවාතැනෙහි තමන් සතු අනෙකුත් බඩු භාන්ඩ තබා යෑමට සිදු වන බැවින්, එම නවාතැනටද කුළි ගෙවීමට සිදු වී ඇත. හොස්ටල් සදහාද පඩි පතෙන් කපා ගනී. මෙම සේවකයින් උදෑසන, ආයතනය විසින් දෙන වාහනයක රැගෙන යන අතර, නැවත හොස්ටල් එක වෙන රැගෙන එන වෙලාව තීරණය කරන්නේ ආයතනය විසිනි. එහිදී මෙම සේවකයින් අමතරව තබා ගන්නා වේලාව සදහා අතිකාල ගෙවනවාද නැද්ද යන්නවත් සමහර සේවකයින් නොදන්නා අතර, සමහරකුගේ අතිකාල, මින් පෙර කොරෝනා සමය තුළ සේවයට නොපැමිණි දිනයන් සදහා හිලව් කරමින් සිටී. සමහර නේවාසිකාගාරයන්හි ඇදුම් අයන් කර ගැනීම සදහා එක් අයන් එකක්ද, ආහාර පිස ගැනීම සදහා එක් ලිපක් පමණක් ලබා දීම නිසා, මෙම සේවක පිරිස් අතර බරපතල අර්බුධ ගණනාවක් හටගෙන ඇති අතර ඔවුන්ගේ නිදහස හා නිදා ගන්නා පැය ප‍්‍රමාණයද, මේ පිළිවෙලක් නැති ක්‍රියාවන් හේතුවෙන් පොළිමි ගැසී සිටීමට සිදු වීම නිසා සීමා වී ඇත. හදිසියේ හෝ ආහාර පිස ගැනීමට නොහැකි වූයේ නම, ආයතනය ආහාර සපයන අතර ඒ සදහා රුපියල් 150 ක් වැනි මුදලක් සමහර ආයතන විසින් සේවකයින්ගේ පඩිපතින් කපා ගනිමින් සිටී. එය සේවකයින්ට මාසිකව ලැබෙන සොච්චම් මුදලට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්වයකි. එසේම සමාජ දුරස්ථභාවට වැනි කරුණු පාදක කර ගනිමින් සේවයේ යොදවන පිරිස සීමා කර ඇති හෙයින් සේවයේ යෙදෙන පිරිස අධික ශ‍්‍රම සූරා කෑමට ලක් වෙමින් සිටීන අතර හොස්ටල්කරනය තුළ එය වඩාත් තීව්‍ර වී ඇත්තේ ප‍්‍රවාහණය පිලිබද තීන්දු ආයතනය විසින් ගන්නා නිසාවෙනි. එමෙන්ම ඔවුන්ට තමන්ගේ රාජකාරියට පරිභාහිර රාජකාරියන්හි නියැලීමට සිදු වී ඇති නමුත් ඒ පිලිබද විරුද්ධ වීමට නොහැකි වන මටිටමට මෙම සේවකයින් අසරණ කර ඇත.

පුද්ගලික නිදහසද අධික ලෙස සීමා කර ඇති අතර, ආයතනය තුළ තමාගේ දුරකථනය භාවිතා කිරීම සපුරා තහනමි වේ. මෙම හොස්ටල්කරණය තුළ බස්රථයේදීවත් හොස්ටල් එකතුළ දී වත් තමන්ට දැනෙන ඇත්ත ගැටළු පිලිබද අප වැන්නවුන්ට විනා පවුලේ සාමාජිකයින් සමගින්වත් හුවමාරු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත්තේ ආයතනයට හිතෛයිෂී එක්කෙනෙක් හෝ හොස්ටලයේ තනර කර සිටින හෙයිනි.

අනෙක් අතින් තනි මව්වරු, විවාහක සේවකයින්, දරුවන් සමග සිටින්නන් හට මේ වන විට රැකියාව අහිමි වන තත්වයක් මෙම හොස්ටල් කරණය තුල උදා වී ඇත්තේ ප‍්‍රායෝගිකය ඔවුන්ට මෙම හොස්ටල් වෙත යාමට නොහැකි වී ඇති තත්වයක් තුළයි. එම ගැටළුව පිලිබද ආයතන හිමියන් සමග කරන ලද සාකච්ඡාවන් වළදී ඔවුන් කියා සටියේ, එසේ නම්, තනි වැසිකිලියක්, නාන කාමරයක් සහිත ඇනෙක්ස් එකක් හොයා ගන්නා ලෙසත්, ඉන් අනතුරුව සේවයට වාර්ථා කරවා ගැනීම පිලිබද සලකා බලන බවය. මෙම ප‍්‍රදේශයේ ඇනෙක්ස් එකක් රුපියල් 15,000 ක් ඉක්මවු මුදලක් වන අතර සේවකයන්ට එය කෙසේවත් ඔරොත්තු දෙන තත්වයක් නොවේ. අනෙක් අතින් සේවකයන්ට පොදු නවාතැන් පොලක සිටිනවා නම්, තමන්ටම කියා වැසිකිලියක් හා ස්නානය සදහා ස්ථානයක් වෙන් කරවා ගන්නා ලෙසත් එය තමාගේ බවට අනන්‍යතාවට තහවුරු කර ගැනීමට තමාගේ නම සහිත පුවරුවක් සවිකර පිංතූරයක් ආයතනයට ලැබෙන්නට සලස්වන ලෙස සේවකයින්ට දැනුම් දී ඇත. මෙ වන විට සේවකයින් තම සෞඛ්‍යය ආරක්ෂාව පසෙක ලා තම රැකියාව රැක ගැනීමේ අටියෙන් එකම වැසිකිලියට එක් එක් සේවකයින්ගේ නම් අලවා පිංතූර ගෙන පාලකයින්ට යවන තත්වයක් උදා වී ඇත.

පීඩිත පන්තියේ මිනිසුන්ට මේවා හුදෙක් ගැටළු පමණක් නොවන අතර ජීවිත පරදුවට තැබූ මානුෂික වටිනාකමි වලපල්ලට යැවු අධීපතිවාදයේ අමානුෂිකත්වය මොනවට සහතික කරන සාක්ෂි වේ.

පාලකයින් ඔවුන්ගේ ලාභය කිසිසේත් පහළ යැවීමට ඉඩ නොදෙන තත්වයක් තුළ, සේවකයින්ගේ ඇත්ත ගැටඑ සෑම පැතිකඩකින්ම අනාවරණය වන කාල වකවානුවක් මේ සමය තුළ උදාවී ඇත. සමහර පාළකයින් සේවකයින්ගේ නවාතැන් පොළවල්හි තිබෙන මෙම අවම පහසුකම්වත් නොමැති තත්වය, හදුනාගෙන ඇත්තේ මෙම සමය තුළයි. දරුවන් සමග සිටින අම්මාවරුන් සේවයට වාර්ථාකරන බව දැනගෙන ඇත්තේද මෙම පසුබිම තුළයි. තනි මව්වරුන් දහසක් පීඩා විදිමින් බොහෝ කැපවීම් මැද සේවයට වාර්ථා කර ඇති බව දැන ගන්නේද ආයතනයේ වර්ථමාන සේවක ප‍්‍රමාණය අඩු වූ තත්වයක් තුලයි. නමුදු ආයතන වල දැඩි ලාභ ඉපැයීම පිනිස මෙසේ දෛනික අරගලය වෙනුවෙන් අංෂු මාත‍්‍රයක වටිනාකමක් ලබා නොදීම හා ඉතා අඩු සේවක ප‍්‍රමාණයකින් වැඩි ලාභයක් උදෙසා මෙසේ සිදු කරන මෙම ශ‍්‍රම සූරා කෑම ඔවු නොවුන්ගේ කෝණයෙන්, කොරෝනා තත්වය තුළ පැන නැගී ඇති වර්ථමාන ගැටළුවට ලබා දී ඇති විසදුමයි.

නමුත් සෙෘභාග්‍ය කරා ගෙන යනවා යැයි කියන පාලකයින් අන්ත අසරණ තත්ත්වයක සිටින මේ ශ්‍රමිකයන්ගේ වේදනාවන්, දුක්ෂ්කරතාවයන් නොදැක්කා සේ සිටියි. සෞභාග්‍යට යන මාර්ගය එයද? අපට ඇසිය යුත්තේ එයයි.

අශිලා දන්දෙනිය | Ashila Dandeniya