රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද ‘ඔන්ලයින් ආරක්ෂාව’ පිළිබද පනත් කෙටුම්පත එළැබෙන ජනවාරි 23 සහ 24 දිනයන්හී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ‘මහජන ආරක්ෂක’ අමාත්‍යවරයා ය. එපමණක් නොව එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය විසිනි. මහජනයාගේ සන්නිවේදනයට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සෘජුවම බලපෑමක් ඇති එවැනි පනත් කෙටුම්පතක් ‘ආරක්ෂක අමාත්‍යංශය’ විසින් මුලීකත්වය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළම මෙහි ඇති සැගවුනු අර්තය හෙළිවීම වැළැක්විය නොහැකිය. පොලිස් රාජ්‍යක් තුළ එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වුවද, යම් ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් පිළිබදව උනන්දුවන පුරවැසියන් යම් ප්‍රමාණයක් හෝ සිටින ලංකාවේ එසේ විය නොහැකිය. නමුත් වික්‍රමසිංහ සහ ටිරාන් ඇතුලු නරුම දේශපාලකයන් විසින් එය සිදුකරමින් ඇත.

ටිරාන්ගේ චණ්ඩි කතා

“ දේශීය සංවිධාන, පුද්ගලයින්, විදේශීය සංවිධාන ඇතුලු පිරිස් මේ පනතට විවේචන ඉදිරිපත් කරලා තියනවා. කවුරු විරුද්ධ උනත් මේ පනත ගේනවා” පසුගිය දිනක මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසා තිබිණි. මේ ‘නූගත් ඇමති ශරීරයක’ චණ්ඩි ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම් ඇතුලු මිනිස් අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන නීතියක් සම්මත කර ගැනීමේදී මහජනයාගේ අදහස්, විවේචන සැලකිල්ලට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මූලික ලක්ෂනයකි. විශේෂයෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවේචන සියල්ලම ආවාට ගියාට හුදු ආණ්ඩු විරෝධයකින් ඉදිරිපත් වූ ඒවා නොවේ. එම විවේචන බොහෝමයක් ඉදිරිපත් වී ඇත්තේ සහ ඉදිරිපත් වෙමින් පවතින්නේ, මානව අයිතිවාසිකම් පදනමින් මෙන්ම විෂයානුබද්ධ තත්ත්වයක් මත පිහිටා බව ඇමතිවරයා දැනගත යුතු ය. එම විවේචන ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ශක්තිමත් කිරීම සදහා අත්‍යවශ්‍ය මගපෙන්වීම් සහ අදහස්ය. නමුත් මේ පනත් කෙටුම්පත ගෙන එනු ලබන ‘මහජන ආරක්ෂක’ ඇමති ටිරාන් අලස්ට ඒ බව තේරුම් ගැනීමට තරම් කුඩා හෝ මොළයක් නැති බව පෙනී යයි. මොළයක් තිබුණත් ඒ දියුණු අදහස් පිළිබද විමසා ගැනීමට තරම් අවබෝධයක්, දැනුමක්, බුද්ධියක් නැති බව එයින් වැටහී යයි. ඊටත් වඩා ටිරාන් අලස් වැනි ඇමතිවරුන් කෙසේ හෝ ලබා ගත් බලය රැකගැනීමත්, ඔවුන් එම බලය අභ්‍යාස කිරීමේදී විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළින් මතුවන විවේචන, විසම්මුතික අදහස් මර්දනය කිරීමත් මොහුගේ ඒ සියලු චන්ඩි පාට්වලින් පෙනී යයි. එබැවින් මෙම මෝඩ, චන්ඩි ඇමතිවරුන්ට ඡන්දය භාවිතා කරන ජනතාව ද ඉදිරියේදීවත් මෙවැනි ‘චන්ඩි ශරීරවලට’ ඡන්දය භාවිතා කිරීමේදී දෙවරක් නොසිතා මොවුන් ප්‍රතික්ෂේප කිරීම සෞඛ්‍යයට ඉතාමත් හොදය. විශේෂයෙන් සෞඛ්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදයකට වඩාත් යහපත්ය.

පනත් කෙටුම්පත් ගැන නැවත නැවතත්..

යෝජිත Online safety පනත් කෙටුම්පත තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සම්බන්ධයෙන් දරුණු තත්වයක් ඇති කරන, පමණ ඉක්මවා යන සහ නොපැහැදිලි විධිවිධාන ඇතුළත් වී ඇති බව ඒ පිළිබද අධ්‍යනය කරන ඕනෑම කෙනෙක්ට පෙනී යයි. ඔන්ලයින් අන්තර්ගතයන් සහ විවරණ සම්බන්ධයෙන් අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් කුරිරු පියවරක් බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙටුම්පතේ විධිවිධාන පුළුල් ලෙස සකසා ඇති අතර, නොපැහැදිලි සහ නොමග යවන සුළු කොටස්, විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි නෛතික ආවරණයක් යටතේ අවභාවිතා කිරීමටත් ඒකාධිපති පාලනයටත් තුඩු දෙයි. පුද්ගලික හෝ වරප්‍රසාද ලත් සන්නිවේදනයන් ආක්‍රමණශීලී ග්‍රහණය කර ගැනීම්වලට ලක් වීම වැඩිවීම සාමාන්‍යකරණය කරමින්, ශ්‍රී ලංකාවේ පවතින නිරීක්ෂණ (Surveillance) රාජ්‍ය රාමුව මත මෙම නීති කෙටුම්පත ගොඩනැගෙන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ‘ඔන්ලයින් ආරක්ෂාව’ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් ගොඩනගනවා වෙනුවට සිදුකරන දණ්ඩමුක්තිය, ප්‍රචණ්ඩත්වය සහ නිරීක්ෂණ මගින් දැනටමත් විනාශ වී ඇති තත්වයක් ආමන්ත්‍රණය කිරීම සඳහා අර්ථවත් උපදේශන හෝ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඇති වී ඇති තත්ත්වයන් තවදුරටත්, මෙම කෙටුම්පත තුළින් වර්ධනය කරනු ලබයි.

කෙටුම්පත තුළ එය බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන මූලික වැරදි අවබෝධයක් ඇත. නිදසුනක් වශයෙන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ විය හැකි අත්තනෝමතික නියෝගවලට ගෝලීය සහ ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ආයතන අනුකූල වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නැත. එහි යථාර්ථවාදී ස්වාභාවයක් පෙනුමටවත් නැත. 2013 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව අත්හදා බලා ඇති සහ බොහෝ දුරට බලයේ සිටින්නන්ට සේවය කරන සම්බන්ධීකෘත අසත්‍ය හැසිරීම් (Coordinated Inauthenticated Behaviors) හරහා ඇති වන සැබෑ හානි මෙම කෙටුම්පතෙන් ආමන්ත්‍රණය නොකරයි. කෙටුම්පතේ භාෂාව මගින් වේගයෙන් වෙනස් වන සංකීර්ණ සම්බන්ධීකෘත අසත්‍ය හැසිරීම්හි ගතිකත්වයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහ සන්දර්භාත්මක අවබෝධය නොමැතිකම පෙනී යයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් කතිකාව සම්බන්ධයෙන් සැළකිය යුතු බලපෑමක් ඇති කරන බවට අධ්‍යයනය කර ඇති චීනයෙන් ආදී එල්ලවන බලපෑම් මෙහෙයුම් ආමන්ත්‍රණය කිරීමට කෙටුම්පත අසමත් වේ.

තවද, ශ්‍රී ලංකාවේ මෙම කෙටුම්පත සහ සිංගප්පූරුවේ Protection from Online Falsehoods and Manipulation Act සංසන්දනය කරන විද්වත්හු ජාතීන් දෙක අතර ඇති දේශපාලන, තාක්‍ෂණික සහ සමාජ සන්දර්භයන්හි ඇති විශාල වෙනස සැළකිල්ලට නොගෙන නීති සම්පාදනය කිරීමේ නුසුදුසුකම පෙන්වා දෙති. විවේචකයන් විසින් පෙන්වා දෙන, සිංගප්පූරු පනතෙහි ඇති ගැටලුකාරී බව, වේගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හීන වෙමින් යන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා සම්පූර්ණයෙන්ම ව්‍යසනකාරී වනු ඇත.

යෝජිත නීතිය මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, ඩිජිටල් නිර්මාණකරුවන්ට සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයකි. පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මෙම නීතිය නොවරදවාම රාජ්‍ය අනුමැතිය ලත් විසම්මුතිය මර්දනය කිරීමේ මෙවලමක් බවට පත්වනු ඇත. එබැවින් සියලු පුරවැසියන් විසින් අදාළ කෙටුම්පත අවිවාදයෙන්ම ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය. විශේෂයෙන් එය නිවැරදි කළ නොහැකි දෝෂ සහිත පනත් කෙටුම්පතකි. සෑම අවස්ථාවක මෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩා පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම සඳහා, මූලධර්ම ආරක්ෂා කරමින්, ඔන්ලයින් ආරක්ෂාව සඳහා වඩාත් සමබර, යෝග්‍ය, අර්ථවත්, විනිවිද පෙනෙන ‍ ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටීමත් මෙහිදි වැදගත් වනු ඇත. නමුත් ‘ආරක්ෂාව’ යන වචනය පෙරට යොදා ගනිමින් ‘මර්දනය’ අරටුව කරගත් මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් තිබෙන සීමිත ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සියල්ලටම පහර එල්ලවනු ඇත‍. තවද, සෑම දෙයකටම ඉදිරියට දමා ගෙන බණක් දෙසනවා මෙන් ‘දෙසන’ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ව්‍යාපෘතිය යම් ප්‍රමාණයකට සාර්ථක වුවත්, ඉහත කී ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මර්දනය කිරීමට, අදාළ පනත හරහා පරිසරය සකස්කිරීමේන් සිදුවන්නේ ලැබෙනවා යැයි කියන ආර්ථික වෙනස්කම්වල ප්‍රතිලාබද ජනතාවට නොලැබී යාමයි. එය කෙටියෙන් කිවහොත්, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මර්දනය කරමින් ආර්ථික සංවර්ධනයක් කරා ළගා වීමටවත් නොහැකි බවය.

සම්පත් | Sampath Samarakoon