1983 කළු ජූලිය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණු ලේ ලප සහිත, බිහිසුණු සංහාරයක් සනිටුහන් කළ අඳුරු පරිච්ඡේදයකි. එවකට එක්සත් ජාතික පක්ෂ (UNP) ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ, ආණ්ඩුවේ බලවේග හා සිංහල බෞද්ධ ජාතිවාදීන් මගින් සංවිධානය කරන ලද දෙමළ විරෝධී සංහාරය, දහස් ගණනක ජීවිත විනාශ කළ අතර, දෙමළ ජනතාවගේ දේපළ කෝටි ගණනින් ගිනිබත් කරමින්, ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා ගෞරවය උදුරා ගත්තේය. මෙම සංහාරයේ ඛේදවාචකය තවමත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන හා මානව හිතවාදී භූමිකාවන් තුළ ගැඹුරු තුවාල ලෙස ඉතිරි කර ඇත. මේ වන විට වසර 42ක් ගතවී ඇතත්, එම අපරාධකරුවන්ට එරෙහිව යුක්තිය ඉටුකිරීමට හෝ ඔවුන් හෙළිදරව් කිරීමට බලයට පත්වූ එකම ආණ්ඩුවක්වත් සමත්ව නැත. මෙය ශ්‍රී ලංකාවේ යුක්තිය පිලිබද අදහසේදී දේශපාලන සහ ආයතනික අසමත්කමේ තවත් ප්‍රභල සාක්ෂියකි.

“සහෝදරත්වයේ දිනය” හා JVP හී දුම්රිය චාරිකාව

2025 ජූලි 23 වන දින, ජනතා විමුක්ති පෙරමුණ (JVP) හී එක් පෙරමුණක් වන සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද “සහෝදරත්වයේ දිනය” යනුවෙන් නම් කළ දුම්රිය චාරිකාව, දකුණේ සිට යාපනයට ගිය තරුණ තරුණියන්ගේ උත්සවශ්‍රීයෙන් පිරි ගමනකි. “ආදරය, පොත්පත්, සහෝදරත්වය, සංහිදියාව” යන අදහස් යටතේ ගීත ගයමින්, නටමින් යාපනයට ගිය ඔවුන්ගේ චාරිකාව, දෙස බලන විට සුන්දර ලෙස පෙනුන ද, එහි ගැඹුරු දේශපාලනික හා මනෝවිශ්ලේෂණාත්මක යතාර්තය සාකච්ඡා කිරීම ඉතාමත් වටින්නේය. (කවුරුන් හෝ විනෝදයෙන් ගමනක් යෑම පිළිබද අපගේ කිසිදු විරෝධයක් නැත. එම සුන්දරත්වයට අපට ද ඇත්තේ සතුටකි.) මෙහිදි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රකාශ, මෙම චාරිකාවේ යතාර්තය තව දුරටත් හෙළිදරව් කරයි. ඔහු යාපනය පුස්තකාලය ගිනි තැබීම (1981) පිළිබඳ දීර්ඝ ලෙස කතා කළ අතර, එයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූන්ගේ සම්බන්ධය ගැන චෝදනා එල්ල කළේය. එය ඉතාමත් නිවැරදිය. එම ප්‍රකාශ සමග අප ද සිට ගනිමු. එහෙත්, චෙම්මනී සමූහ මිනීවල, විශේෂයෙන් 1996-98 කාලයේ සිදුවූ බිහිසුණු ඝාතන හා 2025 වන විට හෙළිවෙමින් ඇති සාක්ෂි ගැන ඔහුගේ කතාවේ තත්පර 8කට සීමා වීම, ඔවුන්ගේ “සහෝදරත්වය” යනුවෙන් හඳුන්වන දේශපාලනික ව්‍යාපෘතියේ සීමාවන් හා යතාර්තය පිළිබිඹු කරයි.

“2018 ඉදාල අපි මෙහි ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනත් එක්ක පොර බැදුවා, සම්බන්ධ උනා, ආදරේ කරා, බදා ගත්තා… මෙය ගොඩනැගීමේ අරමුණිනි.” නියෝජ්‍ය අමාත්‍යවරයා තව තවත් කීවේය. ජාතිවාදය පරාජය කර ඇති බවත්, ජාතික සමගිය වෙනුවෙන් අපට දැවැන්ත වගකීමක් ඉතිරි වී ඇති බවත් තව දුරටත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

“අප වර්තමාන ආණ්ඩුව ලෙස චෙම්මනී මිනී වළ විතරක් නෙවෙයි, ඒ ඝාතනයන් පිළිබදව ඒ ඛේදවාචකයන් පිළිබදව අපි අනිවාර්යෙන්ම එහි යුක්තිය අපේ ආණ්ඩුව විසින් ඉෂ්ට කිරීම සදහා අප මැදිහත් වෙනවා කියන පණිවිඩය අප දෙන්න කැමතියි.” නියෝජ්‍ය ඇමතිවරයාගේ යාපන ඇතුලු දුම්රිය ගමන පුරාම සිදුකළ කතා තුළ චෙම්මනී සමූහ මිනී වළ පිළිබද සිය කතාව තුළින් ලබා දී ඇත්තේ තත්ත්පර 8ක් පමණි.

තත්පර 8ක් මදිද?

තත්ත්පර 8ක් හරි, කිව්වා නේද? ඇයි මදි ද? යැයි කෙනෙක් ඇසිය හැකිය. එය ඇත්තය. ඕනෑම බරපතල අපරාධයකට යුක්තිය ඉටු කිරීමට ඇති දේශපාලන වුවමනාව කාලයෙන් මැනිය නොහැකිය. එය තත්ත්පරයෙන් හදුනාගත හැකිය. නමුත් මෙහි ඇති ප්‍රශ්ණය වන්නේ 1981 යාපනය පුස්තකාලය ගිනි තැබීමේ අපරාධය පිළිබද සිය සම්පූර්ණ කතාවම යොමු කරද්දී, 1996-98 කාලයේ සිදුකළ, එහෙත් අපරාධමය සාක්ෂි හෙළිවෙමින් ඇති 2025 වසරේ අපරාධ සාක්ෂි පිළිබද ඔහු විසින් ලබා දී ඇති තත්ත්වය ය.

එපමණක් ද නොවේ කුඩා දරුවන්ගේ ඇටසැකිලි, කිරි බෝතල්, බෝනික්කන් ඇතුලු මිනිස් හදවත් කම්පා කරන සමූහ මිණිවලක් හමුවෙමින් තිබියදී, ඒ දෙස නොබලා, ගීත කියමින් සතුටින් යාපනයට යන්නට හැකිද? ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් ‘ආදරේ’ අරන් අපි යනවා. පොත් අරන් අපි යනවා, සහෝදරත්වය අරන් අපි යනවා. ඔව්! ලෝකයේම අවධානයයට ලක්වෙමින් ඇති ඒ චෙම්මනී සමූහ මිනී වළ දෙස නොබලා ගීත ගයමින් සතුටින් අපිට යාපනයට යන්න පුලුවන් ද? ඔවු පුලුවන්! ඒ කාටද?

එයට අටුවා-ටීකා ලියන්නට අවශ්‍ය වන්නේ නැත. දෙමළ ජනයා මත බර අවි එල්ලකරමින්, යුද්ධය ජයග්‍රහණය කිරීම සදහා මානෙල් මල් අතින් ගෙන, බර අවි අනෙක් අතින් ගෙන, මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් යුද ජයග්‍රහනය වෙනුවෙන් දර දිය ඇදි අයට පමණි. ඊනියා මානුෂික මෙහෙයුම නමින් දෙමළ ජනයා සංහාරයට ලක්කිරීම වෙනුවෙන් දකුණේ ජාතිවාදය ශක්තිමත් කරමින් ‘සිංහල බෞද්ධ ජනයා’ යුද්ධය පිණිස පෙළගස්වමින් දෙමළ ජනයා සංහාරයට පාර හැදූ දේශපාලන ව්‍යාපාරයකට පමණි.

එම දේශපාලන ව්‍යාපාරවලින් එකක් නම් ජනතා විමුක්ති පෙරමුණයි.

චෙම්මනී හා යුක්තියේ බරපතල අඩුපාඩුව

චෙම්මනී සමූහ මිනීවල, කුඩා දරුවන්ගේ ඇටකටු, කිරි බෝතල්, බෝනික්කන් ආදිය හමුවෙමින් ඇති මේ මොහොතේ, එවැනි බිහිසුණු ඛේදවාචකයකට යුක්තිය ඉටුකිරීමට දේශපාලන උනන්දුවක් නොපෙන්වීම ලක්ෂණ, JVP හි දේශපාලනික හැසිරීමේ ගැටලුකාරී ස්වභාවය හෙළි කරයි. ඔවුන්ගේ ඉතිහාසය බලන විට, 2009 යුද්ධය අවසන් වන තෙක්, JVP යුද්ධයට හා රාජ්‍ය බලවේගවල බිහිසුණු මර්දනකාරී ක්‍රියාවන්ට ඍජුව සහාය දුන් බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂගේ යුද්ධයට ජනතාව උද්‍යෝගිමත් කිරීම, සිංහල ජාතිවාදය ශක්තිමත් කිරීම, හා දෙමළ ජනතාවට එරෙහි “මානුෂික මෙහෙයුම” යනුවෙන් හඳුන්වන ලද සංහාරයට දායකත්වය සැපයීම, JVP හි ඉතිහාසයේ කළු පැල්ලමකි.

මෙම ඉතිහාසය තුළ, “සහෝදරත්වයේ දිනය” යනු JVP හි වරදකාරී හැඟීම් (Collective Guilt) මකාගැනීමට ගත් උත්සාහයකි. මනෝවිශ්ලේෂණාත්මකව බලන විට, ඔවුන්ගේ ගීත, නැටුම්, හා “ආදරය, සංහිදියාව” යන වචනවලින් යුත් උත්සවශ්‍රී ගමන, ඔවුන්ගේ ඉතිහාසයේ බරපතල අපරාධවලට එරෙහිව යුක්තිය ඉල්ලා සිටින දෙමළ ජනතාවගේ කෑ ගැසීම්වලින් බේරීමට ගත් උත්සාහයකි. මෙය ඔවුන්ගේ “ක්ෂිතිමය තත්ත්වය” ආවරණය කිරීමට යොදාගත් ක්‍රියාකාරීත්වයකි.

යුක්තිය නැති “සංහිදියාව” හා දේශපාලනය

JVP හි “සහෝදරත්වයේ දිනය” මගින් ඉදිරිපත් කරන “ආදරය, බදා ගැනීම, සහෝදරත්වය” යන ආඛ්‍යානය, දෙමළ ජනතාවගේ දේශපාලනික ගැටලුවට හෝ ඔවුන්ට එරෙහිව සිදුකළ බිහිසුණු අපරාධවලට යුක්තිය ඉටුකිරීමට ඇති දේශපාලන උනන්දුවක් නොපෙන්වයි. ඒ වෙනුවට, එය ඔවුන්ගේ ඉතිහාසයේ වරදකාරීත්වය යටපත් කිරීමට යොදාගත් මුහුණුවරකි. මනෝවිශ්ලේෂණාත්මකව, මෙම චාරිකාව යනු JVP හි ආත්ම ආරක්ෂක යාන්ත්‍රණයකි. (Defense Mechanism). ඔවුන්ගේ ඉතිහාසයේ යුද්ධයට හා ජාතිවාදයට දායකත්වය පිළිබදව ඇති වරදකාරී හැඟීම, ඔවුන් “සංහිදියාව” යනුවෙන් හඳුන්වන බාහිර රංගනීය හැඩයකින් යටපත් කරයි. එහෙත්, යුක්තිය නැති සංහිදියාවක් යනු, තවත් යුක්ති විරෝධී බලවේගයකට සහාය දීමකි.

දේශපාලනික විසඳුමක් සඳහා යුක්තියේ අවශ්‍යතාව

දෙමළ ජනතාවගේ දේශපාලනික ගැටලුවට විසඳුමක් සැපයීමට නම්, යුක්තිය යනු මූලික පියවරකි. චෙම්මනී, කළු ජූලිය, හා යුද්ධයේ අනෙකුත් අපරාධවලට යුක්තිය ඉටුකිරීම, වචනවලින් පමණක් සිදුවන දෙයක් නොව, ඒ සඳහා ඇති දේශපාලන උනන්දුව හා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කැපවීමක අවශ්‍යතාවයකි. JVP හි “සහෝදරත්වය” යනුවෙන් හඳුන්වන චාරිකාව, මෙම යුක්තියේ අවශ්‍යතාව යටපත් කරමින්, ඔවුන්ගේ ඉතිහාසයේ වරදකාරීත්වය වසන් කිරීමට යොදාගත් උපායකි. එය එසේ වන්නේ, මේ මොහොතේ චෙම්මනී සමූහ මිනී වළ පිළිබදව අමතක කර හෝ ඒ සමූහ මිනී වළ සරල අර්ථයකට ළඝු කරමින්, ආදරය, ප්‍රේමය, සහෝදරත්වය වැනි වචනවලින් සෞන්දර්යකරනයට ලක් කරමින් අපරාධය පිළිබදවත්, අපරාධයට යුක්තිය ඉටු කිරීම පිළිබදවත් වන අත්‍යවශ්‍ය වෑයම මගහැරවීමට පස සකස්වීම නිසාය.

මෙම තත්ත්වය තුළ, ශ්‍රී ලංකාවේ සැබෑ සංහිදියාවක් ගොඩනැගීමට නම්, පළමුව යුක්තිය ඉටුකළ යුතුය. එය යනු, අපරාධකරුවන් හෙළිදරව් කිරීම, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, හා රාජ්‍ය බලවේගවල ඉතිහාසයේ බිහිසුණුකම් ගැන විවෘතව කතා කිරීමයි.

‘යුක්තිය නොමැති සහෝදරත්වය’ යනු,

“කළු ජූලිය” හා “චෙම්මනී” යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තුවාලවලට එක්වන බරපතල තුවාලය. ඒවා සුවපත් කිරීමට “ආදරය, සහෝදරත්වය” යන වචනවලින් පමණක් සෑහීමකට පත්විය නොහැක. JVP හි “සහෝදරත්වයේ දිනය” යනු, ඔවුන්ගේ ඉතිහාසයේ වරදකාරීත්වය යටපත් කිරීමට ගත් බොළඳ උත්සාහයක් යැයි පවසන්නේ ඒ නිසාය. යුක්තිය නැති සංහිදියාවක් යනු, තවත් සහකම්පන විරෝධී (Anti-Empathetic) හා යුක්ති විරෝධී (Anti-Justice) බලවේගයකට සහාය දීමකි. ශ්‍රී ලංකාවේ සැබෑ සංහිදියාවක් ගොඩනැගීමට නම්, චෙම්මනී හා කළු ජූලිය වැනි ඛේදවාචකවලට යුක්තිය ඉටුකිරීම, ඒ සඳහා දේශපාලන උනන්දුවක් හා ඒ සදහා වන ක්‍රියාමාර්ග ‘පෙන්වීම’ අත්‍යවශ්‍යය.

එපමණක් ද නොවේ, ‘යුක්තිය නොමැති සහෝදරත්වය’ යනු, සංහාරයේ වින්දිතයින්ට එරෙහිව රාජ්‍යයේ බරපතල අකාර්යක්ෂමතාවය පෙන්වන කැඩපතකි. එය, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ බිහිසුණු බව හා එයට වගකිව යුත්තන්ට දඬුවම් නොලැබීම හා සමාජ ගිවිසුම බිඳවැටීමකි. දේශපාලනිකව, එය රාජ්‍යයේ යුක්තිය ඉටු කිරීමේ අධිෂ්ඨානයේ ඌනතාවකි; එය සදාචාරාත්මක යුතුකමක අසමත්කමකි. යුක්තිය-සත්‍යය-සාධාරණත්වය ඉටු කිරීම තුළින් පමණක්, සැබෑ සංහිඳියාව හා සහෝදරත්වය ඇති කළ හැකිය. එසේ නොවුණහොත්, ‘සහෝදරත්වයේ දිනය’ යනු, වින්දිතයින්ගේ වේදනාවට හා ඔවුන්ගේ යුක්තිය ඉල්ලීමට අවමානයකි. “යුක්තිය යනු සංහිඳියාවේ හදවතයි. එය නොමැතිව, සහෝදරත්වය හිස් වචනයකි.