Banner iMage: Generate by “AI”
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පොලිසියේ ‘දර්ශනය’ ලෙස මෙසේ සටහන් කර ඇත.
“Towards a Peaceful environment to live with confidence, without fear of Crime and Violence.
අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් කරා”(පරිවර්තනය ලියුම්කරු විසිනි).
පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධාන කුළුනක් ලෙස සැලකේ. කෙසේ වෙතත් එම තත්ත්වය තුළ වුව ද, පොලිසිය විසින් අපරාධයකට සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුගේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැරීම එම සැකකරුගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සැලකීමට සමහරු මැලිකමක් දක්වති. Ex: here මෙය මූලිකවම බරපතල වන්නේ එම පුද්ගලයා තවමත් “සැකකරු” ලෙස පමණක් සලකනු ලබන අතර, අධිකරණයකින් ඔහු වැරදිකරුවෙකු ලෙස තහවුරු කර නොමැති බැවිනි. එසේ තිබියදී, පොලිසිය හා මාධ්‍ය මගින් එම පුද්ගලයාව අපරාධකරුවෙකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීම යනු නීතියේ ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වයට හා මානව හිමිකම්වලට එල්ල වන බරපතල තර්ජනයකි.
දේශපාලනික දෘෂ්ටිකෝණය
මෙම තත්ත්වය දේශපාලන දෘෂ්ටිකෝනයකින් විමසුවහොත්, පොලිසිය යනු රාජ්‍ය බලයේ ප්‍රධාන මෙවලමකි. එහි මූලික කාර්යය වන්නේ නීතිය, සාමය ආරක්ෂා කිරීම සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ඔවුන්ගේ දර්ශනය තුළින්ම අර්ථගන්වන්නේ නම්, බියෙන් තොර සමාජයක් කරාය… එහෙත්, සැකකරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැරීම මගින් පොලිසිය සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් සමාජය බියට පත්කිරීමක් නොවේද?. එසේම මෙය අධිකරණයේ කාර්යභාරය වෙනත් ආකාරයකින් අභ්‍යාස කිරීමට ගන්නා උත්සහයක් ලෙස ද ඇතැමෙක් ට අර්ථගැන්විය හැකිය. එසේ වූ විට තත්ත්වය තවත් පැත්තකින් බරපතලය. සැකකරුවෙකුගේ වරදකාරිත්වය තහවුරු කිරීම යනු අධිකරණයට පමණක් ඇති විශේෂිත බලයකි. එහෙත්, පොලිසිය හෝ මාධ්‍ය මගින් සැකකරුවෙකු “අපරාධකරුවෙක්” ලෙස ලේබල් කිරීම යනු බලය අවභාවිතා කිරීමක් වනවා පමණක් නොව රටක ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ද එල්ලකරන තර්ජනයකි.
මෙවැනි ක්‍රියාකාරකම් රාජ්‍ය බලයේ විනිවිදභාවය හා වගවීම බිඳ වැටීමට හේතු විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, රාජ්‍ය බලය නීතිමය රාමුවකට යටත් විය යුතු යැයි පැවසෙන්නේ ඒ නිසා ය.. එසේම, අධිකරණයක දී වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී බවට ඇති මූලික මූලධර්මය ද මෙහි දී ඉතාමත් වැදගත් වනු ඇත.මෙම මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂනයකි. එහි සරළ අර්තය නම් කිසිම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල වූ පමණින් “වැරදිකරු” යැයි සලකන්නේ නැත. ඔහුගේ ‘වරද’ අධිකරණයක දී සාක්ෂි මගින් තහවුරු වන තුරු ඔහු නිර්දෝෂී යැයි සලකනු ලැබේ.(නිර්දෝෂීභාවයේ උපකල්පනය) මෙම මූලධර්මය උල්ලංඝනය කිරීම මගින් පොලිසිය රාජ්‍ය බලයේ ආචාරධර්මීය භාවිතය අභියෝගයට ලක් කරයි. එසේම, මෙය ජනතාව, රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසයට හානි කරන අතර, එය දේශපාලනිකව අස්ථාවරත්වයට හේතු විය හැකිය.
මානව හිමිකම් දෘෂ්ටිකෝණය
මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන්, සැකකරුවෙකුගේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැරීම යනු ඔහුගේ පෞද්ගලිකත්වයට, ගෞරවය ට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශනයේ (UDHR) 12 වන වගන්තියට අනුව, “කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතයට(රහස් භාවයට) පවුලට, නිවසට හෝ ලිපි ගොනුවලට බලෙන් ඇගිලි ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත්භාවයට පහර ගැසීම හෝ නොකළ යුතුය. එබදු ඇගිලි ගැසීම හෝ පහර ගැසීම්වලට විරුද්ධව නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය සෑම පුද්ගලයෙකු සතුව ඇත. (here) මෙම වගන්තිය මෙන්ම, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) 17 වන වගන්තිය ද පෞද්ගලිකත්වයේ අයිතිය තහවුරු කරයි. (here)
සමාජ මාධ්‍ය බලපෑම ඉතාමත් ඉහළ යුගයක
එබැවින් සැකකරුවෙකුගේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහැරීම එම පුද්ගලයාගේ ගෞරවයට, සමාජ තත්ත්වයට හා මානසික සෞඛ්‍යයට හානි කරනු ඇත. සමාජ මාධ්‍ය ඇතුලු තාක්ෂණික තත්ත්වයන්ගේ බලපෑම ඉතාමත් ඉහළ යන යුගයක, මෙවැනි තොරතුරු ඉතා ඉක්මනින් පැතිර යා හැකි බැවින්, එයින් ඇතිවන හානිය බරපතල ය. උදාහරණයක් ලෙස, සැකකරුවෙකුගේ රූපය ප්‍රසිද්ධ වූ විට, ඔහු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වුව ද, සමාජය තුළ ඔහු “අපරාධකරු” ලෙස හංවඩු ගැසීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට, රැකියාවට හෝ පවුල් සබඳතාවලට බලවත් හානි සිදුවිය හැකිය.
එසේම, මෙවැනි ක්‍රියා නිසා පුරවැසියින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදී සිටින පොලීසිය විසින්ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයක් තුළ පොලීසිය කෙරෙහි, ඇතැම් පුරවැසියන් තුළ ඇති අප්‍රසාදය තවත් වර්ධනය වනු ඇත. මෙය යුක්තිය හා නීතියේ ආධිපත්‍යයට එල්ල වන අවමානයකි. එපමණක් නොවේ, පොලිසිය හා මාධ්‍ය එක්ව සැකකරුවන්ව “අපරාධකරුවන්” ලෙස ලේබල් කිරීම මගින්, ඔවුන් “Trial by Media” (මාධ්‍ය හරහා විනිශ්චය) යන තත්ත්වයට යොමු කරන අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස හානි කරයි.
එසේම මෙවැනි තත්ත්වයන් වඩා වර්ධනය වුවහොත් සැකකරුවන්ගේ පෞද්ගලිකත්වය, ගෞරවය හා නිර්දෝෂී බවට ඇති අයිතිය උල්ලංඝනය වී, ජනතාව තුළ බිය හා අවිශ්වාසයේ සංස්කෘතියක් ඇති කරයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, Panopticon නම් බන්ධනාගාර සංකල්පයක් පිළිබද ඉතිහාසයේ විස්තර කරයි.(Jeremy Bentham as a prison structure) එය සරලව විස්තර කළහොත්, බන්ධනාගාරයක් තුළ සෑම කුටියක්ම ප්‍රධාන කුළුණකින් නිරීක්ෂණය කළ හැකිය. නමුත් සිරකරුවන්ට පෙනෙන්නේ කුළුන පමණයි. නමුත් නිරීක්ෂකයා නොදකින සිරකරුවන්(සිරකරුවන්ට මුරකරුවන් නොපෙනේ), ‘සෑම විටම නිරීක්ෂණය’ කරන්නේ යැයි සිතා හොඳින් හැසිරෙති. පැනොප්ටිකෝනයේ(Panopticon) ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රචණ්ඩ ක්‍රම වෙනුවට අඛණ්ඩ නිරීක්ෂණය (Constant observation /Surveillance) තුළින් අභ්‍යන්තරික බලහත්කාරයක් ඇති කිරීමයි. නූතනයේදී මෙය වඩා භයානකය. [මෙහි බලය ක්‍රියාත්මක වන්නේ නිරන්තර, සත්‍යාපනය කළ නොහැකි නිරීක්ෂණය හරහාය; සිරකරුවන් තමන්ව ඕනෑම මොහොතක නිරීක්ෂණයට ලක්විය හැකි බව දන්නා නමුත්, සැබවින්ම නිරීක්ෂණය කරන්නේදැයි නොදනී. මෙහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් බලයේ අවශ්‍යතාවයන් අභ්‍යන්තරීකරණය කරගනිමින්, තමන් විසින්ම තම හැසිරීම් පාලනය කර ගැනීමයි, Jeremy Bentham අවධාරණය කරයි] මෙය නූතන තත්ත්වයට සම්බන්ධ කළහොත්, සමාජ මාධ්‍ය, CCTV, පොලිස් කැමරා යනු නිරන්තර නිරීක්ෂණයයි (Constant observation /Surveillance). කවුරුන් හෝ තමන්ව නිරීක්ෂණය කරයිද? නොකරයිද? පටිගත කරයිද? නොකරයිද? යන්න නොදන්නා පුරවැසියන් ස්වයං-පාලනයට පෙළඹෙති. තවත් ආකාරයකට විග්‍රහ කළහොත්, තමන් නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්වන්නේ යැයි සිතා තමන්ගේම හැසිරීම් නියාමනය කිරීමට පටන් ගනී. මෙමගින් බාහිර බලහත්කාරකමකින් තොරවම හැසිරීම ඇතුළු සියලු ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමට හැකිවනු ඇත.
එම සංකල්පීය තත්ත්වය ඉදිරියට යමින්, පසුගිය දිනවල ලංකාවේ පොලීසියක් තුළ පොලීසිය විසින් ම, පුරවැසියන් දෙදෙනෙක් ව ‘වීඩියෝ කිරීම’ ‘එම වීඩියෝ මාධ්‍යට මුදා හැරීම’ වැනි අශීලාචාර තත්ත්වය හි බරපතලකම තේරුම් ගැනීම සදහා ‘සරළ උදාහරණ’ දෙකක් ගනිමු.
දුමින්ද නම් ජනමාධ්‍යවේදියෙක්, දේශපාලකයෙක් සම්බන්ධ වංචා-දූෂණ පිළිබඳ පුවතක්(දත්ත සහ තොරතුරු ඇතුලු සියළු සාක්ෂි සහිතව) ලියනවා:
“මාව විමර්ශනයට කැඳවනවා නම්?”
“විශේෂයෙන් විමර්ශනයෙදී සිදුකරන ප්‍රශ්න කිරීම වීඩියෝ කරයි නම්?”
“මගේ පුවත විකෘති කර සමාජ මාධ්‍යවලට දමයි නම්?”
ප්‍රතිඵලය: පුවත නොලියා සිටීමයි.
පුරවැසියෙක් සම්බන්ධයෙන් කල්පනා කරමු.
අනුර කුමාර නම් පුරවැසියෙක් පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් කිරීමට යන්න තීරණය කරනවා: නමුත්,
“මගේ මුහුණ වීඩියෝවකට වැටේ නම්?”(පොලීසිය විසින් වීඩියෝ කරයි යන සැකය මත)
“Facebook එකේ මගේ නම, වීඩියෝ වැටෙයි නම්?”(පොලීසිය එම වීඩියෝ මාධ්‍යට ලබා දෙයි යන සැකය මත)
“ඒ වීඩියෝ අපේ ගමේ අය දැක්කොත්?”
ප්‍රතිඵලය: පැමිණිල්ලක් නොකර ආපසු නිවසට යනවා.
(මෙය සරළ උදාහරණ දෙකක් වුවත්, මෙම තත්ත්වය වර්දනය වීමෙන් දැඩි අවදානමක් මතුවීමට ඉඩ තිබෙන බවත් සමාජක් ලෙස අප විසින් අවබෝධ කරගත යුතුය.)
සමස්තයක් ලෙස එවිට, ජනතාව නිහඬ, බියට පත්, නිදහස් මනසක්-ජීවිතයක් නැති මිනිසුන් බවට පත්විය හැකිය. අයිතිවාසිකම් රහිත, මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන්නේ නැති, ඒ වෙනුවෙන් පෙනී සිටිනේනේ නැති හිස් මිනිසුන් සහිත සමාජයක් දක්වා වර්දනය විය හැකිය. එවැනි තත්ත්වයක දී, පුරවැසියන්ගේ නිදහස හා ගෞරවය අහිමි වන, වැඩවසම් හා පසුගාමී සමාජයක් බිහිවීමේ අවදානමක් පවතිනු ඇත. ලංකාව වැනි රටවල ඇතැම් පාලකයන් එම රටේ ජනතාව එවැනි තත්ත්වයකට පත්වනු දැකීමට කැමත්තක් දැක්වුවත් – මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව පුරවැසියන් අවබෝධ කරගත යුතුමය.
Michel Foucault ගේ අනතුරු ඇඟවීම: නව බන්ධනාගාර මනස බඳිනවා, මෙය වඩා භයානකයි”
[*මෙම සටහනින්, සමහරෙක්ට ‘කොරහ තුළ කිඹුලන් දැකීමක්’ ලෙස වර නැගිය හැකි වුවත්, ශ්‍රී ලංකා පොලීසිය යනු පොලිස් සිර මැදිරිවල සැකකරුවන් ට දැඩි ලෙස පහරදීමේ සිට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීම් දක්වා ප්‍රභල විවේචන තිබෙන දෙපාර්තමේන්තුවක් සේම, දැඩි-හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය දෙපාර්තමේන්තුවක් බව කිසිදු තර්කයක් නැති වටපිටාවක සිට මෙය තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමි.]
ඒ පිළිබද නවතම උදාහරණයක් අද(29) දිවයින පුවත්පත මුල්පුවත ලෙස වාර්තා කර ඇත. (Divaina Web here)
සම්පත් සමරකෝන් | Sampath Samarakoon