“යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන තාක් කල්, ජුදෙයා ප්‍රදේශය රෝම අධිරාජ්‍යයේ අවශ්‍යතාවන්ට පසමිතුරු නොවන තාක් කල් සහ රෝම භාණ්ඩාගාරය පුරවන්ට දායක වන තාක් කල්, මේ ඒජන්තයාට කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැත.
අධිරාජයාගේ සහ ඔහුගේ දීන ඒජන්තයන්ගේ ඒකාබද්ධ පීඩනය තුළ ජනතාව මහත් දුෂ්කරතාවන්ට මුහුණදුනි. අපමණ හිරිහැරයට පත් ඔවුන්ගෙන්, පාලකයන්ගේ නාස්තිකාර ජීවන විලාසිතා නඩත්තු කිරීම සඳහා නිර්දය ලෙස බදු අය කෙරුණි. ඒ ගැන පිළිසරණක් පැතිය හැකි කෙනෙකු නොවුණි. ජනතාව සිටියේ එඬේරන් නැති බැටළුවන් මෙනි. රෝමය සැනසීම හෙරොඞ්ගේ පිස්සුව විය. තව තවත් බලය සහ ධනය, රෝමයේ පිස්සුව විය” (Bishop Duleep de Chickera)
නත්තල් යනු බලාපොරොත්තුවේ සංකේතයකි. එය හුදෙක් ආගමික සැමරුමක් පමණක් නොවේ; එය ව්‍යුහාත්මක පීඩනයට එරෙහිව බලාපොරොත්තුව උපත ලැබූ දේශපාලනික මොහොතකි. රෝම අධිරාජ්‍යයාගේ බලය, හෙරොඞ් වැනි(Herod the Great) ඒජන්තයන් මගින් තහවුරු වූයේ, ජනතාවගේ දුක්ඛ-දෝමනස්ස මත ගොඩනැගුණු බල කුළුණු ආරක්ෂා කරමිනි. බදු අයකිරීම්, නිර්දය පාලනය සහ ජනතාවගේ නිහඬතාවය තුළින් රෝමයේ ධනය සහ බලය පෝෂණය වූ අකාරය ඉතිහාසයේ සදහන් වෙයි. යේසුස්ගේ උපත, මෙම පීඩනයේ සෙවණැල්ල තුළ බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙස බොහෝ පිරිසක් දුටුවේය.
නමුත් අද, 2025 දෙසැම්බර් 25 වැනිදා නත්තල් සමරන අප, ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනය තුළ නවතම පීඩනයක පෙරනිමිති දකිමින් සිටිමු. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” (PSTA) ගෙන එමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ පොරොන්දුව බොරුවක් බවට පත්කරමින්, තවත් නිහඩ-ස්වයංවාරණයට ලක්වන යටත්වැසි සමාජයක් නිර්මාණය කිරීම සදහා අවදානමක් සහිත තත්ත්වයක් නිර්මාණය කරමින් සිටියි.
රෝමයේදී, හෙරොඞ් වැනි ඒජන්තයන් මගින් බල ජාලය ජනයාගේ දෛනික ජීවිතයට ඇතුළු විය. බදු අයකිරීම් සහ පීඩනය, රෝමයේ “පරම බලධාරීත්වය” තහවුරු කළේ, ජනතාවගේ නිහඬතාවය සහ බිය මගිනි. නමුත් යේසුස්ගේ උපත බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස බැබළෙමින් පීඩිතයන්ගේ පැත්ත නියෝජනය කළ බව පැවසෙයි. එබැවින් ජනතාවගේ නිහඩතාවය සහ බිය පිළිබද නත්තල් සමරන අද වැනි දිනක අප වඩාත් සංවේදී විය යුතුය.
ශ්‍රී ලංකාවේ වර්තමානය මොහොත
1979 සිට පැවති මර්දනීය පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA), ‘ත්‍රස්තවාදයේ’ නාමයෙන් ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කළේය. (ආසන්නම උදාහරණයක් වන්නේ, 2025 මාර්තු 22 වන දින, මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) විසින් අත්අඩංගුවට ගැනීමයි. ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ “F*** Israel” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇලවීම හේතුවෙනි. PTA යටතේ චෝදනා ගොනු කරනු ලැබූ පොලීසිය ඔහුව රැදවුම් නියෝග යටතේ රදවා තබා ගත් අතර පසුව මානව හිමිකම් කොමිසම නිර්දේශ කළේ රුෂ්ඩිගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි – මෙය සිදුවූයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේය.) එය අනීතික රැඳවුම්, බලහත්කාරයෙන් ලබාගන්නා ප්‍රකාශ සහ වධහිංසාවන්ට ඉඩකඩ දුන්නේය. ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව, PTA අහෝසි කිරීමේ පොරොන්දුව මත බලයට පත්වූ අතර නමුත් දැන් ඔවුන් විසින් යෝජනා කර ඇති “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත” ඊටත් වඩා බලවත් මර්දනයක් ගෙන එනු ඇතැයි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. මෙම පනත, PTA අහෝසි කිරීමේ නාමයෙන් ඉදිරිපත් වුවද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, පෞද්ගලිකත්වය ඇතුලු අයිතිවාසිකම් මර්දනය කරන දැඩි මර්දනීය අන්තර්ගතයක් නියෝජනය කරයි – එය රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් ජනතාවගේ නිදහස පාලනය කිරීමේ මර්දනීය උපකරණයක් බවට පත්වීමට නියමිතය.(නීතිය ලෙස සම්මත වුවහොත්) මෙහි එක් බියකරු තත්ත්වයක් වන්නේ, ‘ත්‍රස්තවාදය’ යන්න ට ඉතා පුළුල් සහ අපැහැදිලි ලෙස අර්ථකථනය කිරීමට බළධාරීන්ට ඉඩ ලබා දී ඇති බැවිනි. හෙරොද් එදා රාජ්‍ය විරෝධීන් යැයි ‘සැක කළ’ දරුවන් ඝාතනය කිරීමට පසුබට නොවූවා සේම, මෙම නව පනත හරහා ඕනෑම සාමකාමී මහජන විරෝධයක් හෝ දේශපාලන විවේචනයක් ‘ත්‍රස්තවාදය’ ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට නීතිමය පදනමක් සකසා ගත හැකිය. එය අතිශයින් බියකරු නොවේද?
බොරුව දැඩි ලෙස පිළිකුල් කරන යේසුස් ගේ ඉගැන්වීම් පිළිබද ගැඹුරින් සාකච්ඡා කරන අද වැනි නත්තල් දිනයක, මෙම පනත විසින් NPP ආණ්ඩුවේ දේශපාලන පොරොන්දුවල බොරුවේ ඝනකම විදහා දක්වයි. NPP ආණ්ඩුව බලය ලබාගත්තේ PTA – OSA වැනි මර්දනීය පනත් අහෝසි කිරීමේ සටන් පාඨ මතයි. නමුත් දැන් එයටත් වඩා බලවත් පනතක් ගෙන එයි. මෙය, සමාජ ගිවිසුම අමු අමුවේම උල්ලංඝනය කිරිමකි. (ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.” මතෙව් 5:37)
නත්තල, යේසුස්ගේ උපත තුළින්, පීඩනයට එරෙහි සාධරණ ප්‍රතිරෝධයේ වැදගත්මක අපට මනා අවබෝධයක් ලබා දෙයි. නිදහස සීමා කළ යුගයක උපන් ජේසුස් වහන්සේ, පීඩිතයාගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටියේය. නත්තල අපට සිහිපත් කරන්නේ පාලකයන් සැනසීම නොව, ජනයාගේ අයිතීන් උදෙසා පෙළගැසීමයි. ශ්‍රී ලංකාවේදී, මෙම මර්දනීය පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සමාජයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයක් සහ ජාත්‍යන්තර පීඩනයක් අත්‍යවශ්‍යය වන්නේ ඒ නිසාය. එසේ නොවී, එය සම්මත වුවහොත්, ඇතිවිය හැකි පීඩනය තුළින් ජනතාව තල්ලු වන්නේ නැවතත් බියකරු සමාජයකටයි.
කෙසේ නමුත් නත්තල එවැනි ඇතිවිය හැකි පීඩාකාරී තත්ත්වයක් දෙස බලන්නට අපට ආලෝකයක් ලබාදෙයි: අධික බලයේ සෙවණැලි තුළ පවා, බලාපොරොත්තුව ජයග්‍රහණය කළ හැකිය. සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වයන් ජයග්‍රහණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ මිනිසුන්, යේසුස්ගේ උපත සිහිපත් කරමින්, මෙම මර්දනයට එරෙහිව ක්‍රියාකාරී විය යුත්තේ ඒ නිසාය. එසේ නොවුණහොත්, අපේ සමාජය මර්දනීය සෙවණැල්ලක් තුළට යළිත් ඇද වැටෙනු ඇත.
නත්තල: බියකරු අනාගතයකට එරෙහි ආලෝකය
අද අප නත්තල සමරන්නේ මෙවැනි අඳුරු සෙවනැලි මැද වීම අතිශයින් කණාගාටුදායක ය. යෝජිත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත්, මේ රටේ යුක්තිය වෙනුවෙන් හඬ නගන සෑම කටහඬක්ම නිහඬ කිරීමේ බලය රාජ්‍යය සතුවනු ඇත. නත්තලේ සැබෑ පණිවිඩය වන්නේ පීඩිතයාට බලාපොරොත්තුව, සාධාරණත්වය, යුක්තිය, නිදහස ලබා දීම මිස පීඩකයාගේ මර්දනයට හිස නැමීම නොවේ. එසේම, විශේෂයෙන් බලය ලබා ගැනීමට පෙර දෙන පොරොන්දු සහ බලය ලැබුණු පසු පැනවීමට යෝජනා කර ඇති මර්දනීය නීති අතර ඇති පරතරය නත්තලේදී අපට පසක් කර දෙන්නේ වෙනස් වී ඇත්තේ නම් පමණක් බවද?
මේ සියලු තත්ත්වයන් තුළ නත්තල් සීනු හඬ මැදින් මතු වන මේ මර්දනීය අනතුරු ඇඟවීම නොසලකා හැරියහොත්, අනාගත පරපුරට උරුම වනු ඇත්තේ දරුණු, නීතිය මගින් මර්දනය මෙහෙයවන අඳුරු යුගයකි. වර්තමාන රජය විසින් ඉදිරිපත් කරන මෙම මර්දනීය පනත් කෙටුම්පත, හුදෙක් කඩදාසියකට සීමා වූ නීති පද්ධතියක් නොවන්නේ ඒ නිසාය. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළුවන, අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස අහුරන මර උගුල්ය. නත්තල් සීනු හඬ මැදින් ඇසෙන්නේ මෙම මර්දනීය යදම්වල හඬ නම්, එය සැබෑ නත්තලක් විය නොහැක.
“(ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.” – මතෙව් 5:37)