iMage: News1st
පසුගිය 19 වනදා ඉන්දියාවේ, නවදිල්ලියේ දී පැවැත්වුණු AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ දැක්ම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ එතරම් සාකච්ඡාවට ලක් නොවුණත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති වීම අතිශය වැදගත්ය. එය එසේ වන්නේ කෘත්‍රිම බුද්ධිය(AI) පිළිබඳ සාකච්ඡාවත්, එහි ආචාරධර්මීය බව ගොඩනැංවීම පිළිබඳ අදහසත් ලෝකය පුරා විවිධ අන්දමින් සාකච්ඡා වීමත්, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළත් අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම වේගවත් දිශාවකට ගමන් කරමින් ඇති නිසාය. කෙසේ නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගත ලෙස AI භාවිත කිරීමේ අවශ්‍යතාවයයි. එය ඉතා වැදගත් ප්‍රවේශයකි. | ‘AI Impact 2026 සමුළුවේ නායක සැසියේදී ජනාධිපති අනුර දිසානායක සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය‘
කෙසේ වෙතත්, මෙම “ලිබරල්” තාක්ෂණික ප්‍රවේශයත්, වත්මන් ආණ්ඩුව විසින්ම යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'(PSTA) තුළ අන්තර්ගත මර්දනකාරී ප්‍රතිපාදනත් අතර ඇති බරපතල ගැටුම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන සමාජයක් වෙනුවෙන් ක්‍රියාත්මක වන, ඒ සඳහා පෙනී සිටින පුරවැසියන්ගේ, ආයතනවල, සංවිධානවල ඇතුළු වගකිව යුතු සෑම තලයකම දැඩි සංවාදයට බඳුන් විය යුතුය. අනුර කුමාර දිසානායක ජනාධිපති විසින් ඉන්දියාවේ සිදුකළ අදහස් දැක්වීම සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) විසින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'(PSTA) තුළ ඇති අන්තර්ගතයේ ගැටුම සහ ඒ ගැටුම තුළින් මතුවන, විශේෂයෙන් පෞද්ගලිකත්වය ඇතුළු ප්‍රකාශනයේ නිදහසට එල්ල විය හැකි මර්දනකාරී තත්ත්වයන් කිහිපයක් පමණක් මෙම සටහනින් ඉදිරිපත් කරමි.
ඩිජිටල් පෞද්ගලිකත්වය සහ රාජ්‍යයේ “අතපෙවීම”
ජනාධිපතිවරයා නවදිල්ලි සමුළුවේදී ප්‍රකාශ කළේ මහජන විශ්වාසය දිනාගැනීම සඳහා පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණ නීති නවීකරණය කරන බවයි. නමුත් යෝජිත පනතේ 55 වන වගන්තිය මෙම ප්‍රකාශය මුළුමනින්ම උඩුයටිකුරු කරයි. (‘….අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.’)
තාක්ෂණික ආක්‍රමණය: යෝජිත PSTA (55 වගන්තිය) මඟින් ආරක්ෂක අංශවලට පුද්ගලික ඊමේල්, WhatsApp/Signal වැනි සංකේතනය කළ (Encrypted) පණිවිඩ පවා කියවීමට සහ ඒවායේ කේත විවර කිරීමට (Decryption) බලයක් ලබා දෙයි. එසේම, පනත් කෙටුම්පතේ 55(1)(අ) වගන්තිය මගින් සේවා සපයන්නන් සතුව E2EE යතුරු නොමැති අවස්ථාවලදී පවා දත්ත විකේතනය (decryption) කිරීමට ඔවුන්ට බල කිරීමේ හැකියාව ඇති බවත්, එමගින් ජාත්‍යන්තර මානව හිමිකම් මාර්ගෝපදේශවලට පටහැනිව සංකේතනය දුර්වල කිරීමට (weaken encryption) උත්සාහ කරන බවත් දැඩි විවේචනයක් පවතී.
පෞද්ගලිකත්වයේ මරණය: දියුණු සහ තියුණු වෙමින් යන තාක්ෂණික ලෝකයේ, අයිතිවාසිකම්, සංවර්ධනය, ඇතුළු සෑම තලයකම දියුණුවක් අපේක්ෂා කරන්නේ නම්, එම සමාජයේ පුරවැසියන්ගේ දත්තවල රහස්‍යභාවය පිළිබඳ විශ්වාසය (Data Privacy) අත්‍යවශ්‍ය වේ. ජනාධිපතිවරයා එක් අතකින් දත්ත ආරක්ෂණය ගැන කතා කරන අතරතුර, අනෙක් අතින් රාජ්‍යයට ඕනෑම මොහොතක පුද්ගලයෙකුගේ ඩිජිටල් අවකාශයට ඇතුළු වීමට නීතිමය ඉඩකඩ යෝජනා කර ඇත. මේ අතිශය පරස්පරය සියලු පුරවැසියන් තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වනු ඇත. එය තවදුරටත් විග්‍රහ කරන්නේ නම් “End-to-End Encryption” බිඳීමට රාජ්‍යයට බලය ලැබීම යනු පුද්ගලික නිදහස පමණක් නොව, රටේ ඩිජිටල් ආර්ථිකයට සහ සයිබර් ආරක්ෂාවට පවා එල්ල වන තර්ජනයක් බව තවදුරටත් අවධාරණය කළ යුතුය.
ආචාර ධර්මීය AI සහ භාෂණයේ නිදහස හිර කිරීම
කෘත්‍රිම බුද්ධිය “ආචාර ධර්ම මූලික කරගත්” තාක්ෂණයක් විය යුතු බව ජනාධිපතිවරයා පැවසුව ද, යෝජිත පනතේ 9 සහ 10 වගන්ති තුළ “ත්‍රස්තවාදය දිරිගැන්වීම” යන්න අර්ථ දක්වා ඇත්තේ ඉතා පුළුල් ලෙසය.
අර්ථ දැක්වීමේ අපැහැදිලි බව: ආණ්ඩුවේ යම් ක්‍රියාවක් විවේචනය කරන සමාජ මාධ්‍ය සටහනක් හෝ මාධ්‍ය වාර්තාවක් පවා “ත්‍රස්තවාදයට අනුබල දීමක්” ලෙස අර්ථකථනය කිරීමට මෙමඟින්(PSTA) බලධාරීන්ට හැකියාව ලැබේ.
ස්වයං-වාරණය: මෙවැනි මර්දනකාරී නීතිමය වටපිටාවක, තාක්ෂණයන් භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ වගකීමක් සහිත නිර්මාණාත්මකව හෝ විවේචනාත්මකව අදහස් දැක්වීමට ජනතාව බිය වෙති. ආචාරධර්ම පිළිබඳ කතා කරන අතරතුර මෙවැනි “බියගන්වන සුලු” නීති ගෙන ඒම පරස්පර විරෝධී නොවේද?
දත්ත හුවමාරුවේ නිදහස සහ රහස්‍යභාවයේ බාධකය
ජනාධිපතිවරයා “භාෂා දත්ත කට්ටල” (Language Datasets) සහ කලාපීය සහයෝගීතාවය ගැන අවධාරණය කළේය. තාක්ෂණික දියුණුවට තොරතුරු ගලායාම අත්‍යවශ්‍යය. නමුත් පනතේ 8(2) වගන්තිය අනුව “රහස්‍ය තොරතුරු” රැස් කිරීම හෝ සැපයීම ත්‍රස්තවාදී වරදක් ලෙස සලකා දඬුවම් කළ හැකි අවදානමක් පවතී.
තොරතුරු දැනගැනීමේ අයිතියට එරෙහි වීම: රජය “රහස්‍ය” යැයි හංවඩු ගසන ඕනෑම තොරතුරක් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු හෝ පර්යේෂකයෙකු අතට පත්වීම මෙම පනත යටතේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් විය හැකිය. මෙය විවෘත දත්ත සංකල්පයට සහ තාක්ෂණික විනිවිදභාවයට එල්ල කරන මරු පහරකි.
ආයතනික විශ්වාසය සහ විධායකයේ අසීමිත බලය
“මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කිරීම” ඉන්දියාවේ පැවති සමුළුවේදී ජනාධිපතිවරයාගේ තවත් ප්‍රකාශයකි. එහෙත්, යෝජිත පනත මඟින් විධායක නිලධාරියෙකු වන ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වසරක් දක්වා පුද්ගලයෙකු රඳවා තැබීමේ (Detention Orders) බලය ලබා දී ඇත. (කෙසේ නමුත්, පනතේ 35(2) වගන්තියට අනුව සැකකරුවෙක් මාස දෙකකට වඩා රඳවා තබා ගැනීමට නම් මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂ ආඥාවක් අවශ්‍ය වන බවද සූක්ෂමව සදහන් කරයි.)
පුද්ගලික නිදහස සහ ශරීර ආරක්ෂාව පිළිබඳ මූලික අයිතිවාසිකම් මෙහිදී දැඩි ලෙස උල්ලංඝනය විය හැකි දැඩි අවදනමක් පවතී. තාක්ෂණික දියුණු සමාජයක් ගොඩනැගිය හැක්කේ නීතියේ ආධිපත්‍යය සහ පුද්ගල නිදහස තහවුරු වූ පරිසරයක මිස, පරිපාලනමය නියෝග මත පුද්ගලයින් සිරගත කළ හැකි වටපිටාවක නොවේ. පදනමමින් ම දණ්ඩනය පදනම් කර ගත් නීති මගින් නොවේ.
ඉන්දියාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළේ 21 වන සියවසට ගැලපෙන, ලෝකය සමඟ අත්වැල් බැඳගන්නා “නවීන” දැක්මක් යැයි එම ප්‍රකාශය අසන ඇතැම් අයෙකුට සිතිය හැකිය. එය වැරදි නැත. නමුත් ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේග ආණ්ඩුව(NPP) මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ‘ඩිජිටල් ඒකාධිපතිත්වයකට’ පාර කපන, නිදහස සහ පෞද්ගලිකත්වය අවදානම් කලාපයකට ඇද දමන, දැඩි නිරීක්ෂණයට යටත් මර්දනකාරී අන්තර්ගතයක් ඇති නීතිමය රාමුවකි. (එක් උදාහරණයක් දක්වන්නේ නම්, Generative AI තාක්ෂණය මඟින් මුහුණු හඳුනාගැනීම (Facial Recognition) සහ මහා පරිමාණ දත්ත විශ්ලේෂණය (Big Data Analytics) පහසු කරන අතර, එය ත්‍රස්ත විරෝධී පනත(PSTA) වැනි නීතිමය රාමුවක් සමඟ එක් වූ විට රටක් “පොලිස් රාජ්‍යයක්” බවට පත්වීමේ අවදානමක් ඇතිවිය හැකිය)
එක් අතකින් AI තාක්ෂණය හරහා ජනතාව සවිබල ගන්වන බව පවසන අතරතුර, අනෙක් අතින් තාක්ෂණයත්, අධික බලයත් භාවිත කරමින් ජනතාව නිරීක්ෂණය කිරීමට (Surveillance) සහ මර්දනය කිරීමට රාජ්‍යයට අසීමිත බලතල ලබා දීම “ප්‍රගතිශීලී” ලක්ෂණයක් නොවේ. සැබෑ තාක්ෂණික පුනරුදයක් ඇති කිරීමට නම්, තාක්ෂණය මෙන්ම මානව හිමිකම් ද එක හා සමානව ආරක්ෂා වන බවට ජනාධිපතිවරයා සහතික විය යුතුය.
නමුත් දැන් ලංකාවේ PSTA හරහා යෝජනා කර ඇත්තේ එවැනි තත්ත්වයක් නොවේ! ඉන්දියාවේ කතාව සහ ලංකාවේ යෝජිත භාවිතය අතර ඇති විශාල පරස්පරය අපට ඉඟි කරන්නේ බියකරු අනාගතයක් නොවේද?

සම්පත් සමරකෝන් | Sampath Samarakoon