iMage: JDS

ශ්‍රී ලංකේය ජනමාධ්‍ය සහ දේශපාලන විශ්ලේෂණය නව මානයකට ඔසවා තැබූ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තරාකී’ ඝාතනය කර 2026 අප්‍රේල් මසට විසි එක් වසරක් සපිරේ. 2005 අප්‍රේල් 27 වන දින බම්බලපිටිය පොලිස් ස්ථානයට නුදුරින්දී පැහැරගත් ඔහුගේ මළ සිරුර පසුදින හමුවූයේ මෙරට ඉහළම අධි ආරක්ෂිත කලාපය වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය අසලිනි.

ධර්මරත්නම් සිවරාම්: බුද්ධිමය මැදිහත්කරු සහ දේශපාලන විශ්ලේෂකයා

1959 අගෝස්තු 11 දින මඩකලපුවේදී උපත ලැබූ සිවරාම්, හුදු පුවත් ජනමාධ්‍යවේදියෙක්ගෙන් ඔබ්බට ගිය ගැඹුරු දෘෂ්ටිවාදාත්මක දැක්මක් සහිත චින්තකයෙකු විය. 1980 දශකයේදී ‘ගාන්ධියන්’ ව්‍යාපාරය හරහා දේශපාලනයට පිවිසි ඔහු, පසුකාලීනව දෙමළ අරගලයේ විවිධ සංවිධාන සමග කටයුතු කළේය.

ඔහුගේ ලේඛන කලාව සතු වූ සුවිශේෂත්වය වූයේ භූ-දේශපාලනික ප්‍රවණතා සහ මූලෝපායික දේශපාලන විශ්ලේෂණ මගින් ලාංකාවේ ජාතික ගැටලුව ලෝක සිතියම මත තබා විග්‍රහ කිරීමට ඔහුට තිබූ හැකියාවයි. තරාකීගේ අභාවය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් පමණක් නොව, දේශපාලන ක්ෂේත්‍රයේ පැවති බුද්ධිමය අවකාශයේ බරපතල හිඩැසක් නිර්මාණය කිරීමක් ද විය.

ආරක්ෂිත කලාප සහ දණ්ඩමුක්තියේ දේශපාලනය

සිවරාම් ඝාතනයේ ඇති වඩාත් සංකීර්ණ සහ භීතිජනක කරුණ වන්නේ එහි අවකාශීය පසුබිමයි. පොලිස් ස්ථානයක් ඉදිරිපිටදී පැහැරගෙන යාම සහ රාජ්‍යයේ උත්තරීතර සංකේතය වන පාර්ලිමේන්තුව අසල මළ සිරුර දැමීම හරහා ඝාතකයන් විසින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙන ලදී: “නීතියට ඉහළින් සිටින බලවේග පවතින බවත්, ඕනෑම ආරක්ෂිත කලාපයක් තුළ මෙවැනි ක්‍රියාවක් කිරීමට තමන්ට ශක්තිය ඇති බවත්ය.”

එපමණක් ද නොවේ, මෙම අපරාධය විසඳීමට බලධාරීන්ට ඇති නොහැකියාව හෝ අකමැත්ත හරහා තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ‘දණ්ඩමුක්තිය’ පිළිබඳ සංස්කෘතියයි. “සීනි හොරා සෙවීමට සීනි හොරාටම පවරන” ප්‍රතිපත්තිය මත පදනම් වූ පරීක්ෂණ මගින් සත්‍යය හෙළිදරව් නොවන බව පසුගිය දශක දෙකක ඉතිහාසය තවදුරටත් සාක්ෂි දරයි.

අභ්‍යන්තර යුක්තිය සහ ‘පොහොසත් රටක්’ පිළිබඳ මිථ්‍යාව

වර්තමාන ‘මාළිමා’ රජය ඇතුළු සෑම නව පාලන තන්ත්‍රයක්ම ‘වෙනසක්’ හෝ ‘පොහොසත් රටක්’ පිළිබඳ සිහිනයක් ජනතාවට අලෙවි කරයි. එහෙත් දේශපාලන විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, අභ්‍යන්තර යුක්තිය තහවුරු නොකරන ලද සංවර්ධන මාදිලි අස්ථාවරය.

ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, මයිල්වාගනම් නිමලරාජන්, අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ සහ වැනි මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම පාලකයින් සරල මානුෂීය කර්තව්‍යයක් ලෙස නොසැලකිය යුතුය. එසේම අපරාධකාරී අතීතය වසා දැමීම හෝ “පරණ දේ අමතක කරමු” යන්න සෞන්දර්යාත්මක ප්‍රකාශවලට සීමා කිරීම හරහා සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් දූෂිත වීමයි.

එසේම රටක ශිෂ්ටත්වය මැනිය හැක්කේ ‘යුක්තිය’ ළගා කර ගත හැකි, අධිකරණ පද්ධතියේ සහ නීතියේ ආධිපත්‍යයේ පවතින ස්වාධීනත්වය මතය. ඝාතකයන්ට ජනාධිපති සමාව හිමිවන සහ යුක්තිය පසිඳලීම දේශපාලන ගනුදෙනුවක් බවට පත්ව ඇති රටක, සිවරාම් වැනි චින්තකයින්ගේ උරුමය ආරක්ෂා කර ගැනීම සක්‍රීය පුරවැසියන්ගේ ප්‍රමුඛ වගකීමකි.

පොහොසත් රටක් යනු හුදු ආර්ථික ඉලක්කයක් නොව, සියලු පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සහ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වූ, සාධාරණත්වය ඉටු වූ සමාජයකි. අභ්‍යන්තර යුක්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳීම මගහැර යන ඕනෑම ‘වෙනසක්’ තාවකාලික වන අතර, එය නැවතත් අඳුරු යුගයකට දොරටු විවර කරනු ඇත.