iMage:VIKALPA/ 18 May 2026 – Mullivaikkal
කාලයේ වැලි තලාවට යටපත් කළ නොහැකි වූ යුක්තිය සහ සාධාරණත්වයේ අයිතිය ඉල්ලා, මැයි 18වනදා පන්දහසකට අධික දෙමළ ජනතාවක් මුල්ලිවෛක්කාල්හි ඒ ලේ වැකි වෙරළ තීරය වෙත දෝතින් මතකය, කඳුළ සහ නොමියෙන බලාපොරොත්තුව රැගෙන ඇදී ආහ. තුවක්කු නිහඬ වී, ඝාතක භූමියේ වෙඩි හඩ අහසට දියවී ගොස් වසර 17ක් සපිරෙන මොහොතේ, ඒ ඝාතක බිම යළිත් වරක් ජීවමාන විය. එහෙත් ඒ වෛරයකින් හෝ පළිගැනීමේ චේතනාවකින් නොව, සත්‍යය සහ යුක්තිය ඉල්ලා නැඟුණු සාමූහික හෘද සාක්ෂියේ ප්‍රබල, සාමකාමී හඬිනි. උතුරේ සහ නැඟෙනහිර විවිධ පළාත්වලින් පැමිණි මේ මිනිසුන්ගේ පාද සලකුණු, මුල්ලිවෛක්කාල්හි වැලි තලාව මත සටහන් කළේ ඉතිහාසයට මකා දැමිය නොහැකි මතකයේ සාක්ෂියයි.
වැළලී ගිය, අතුරුදන් වූ සහ අහිමි වූ තමන්ගේම සමීපතමයින්ගේ මතකයන් වෙනුවෙන් දැල්වුණු පහන් සිළු සහ කඳුළු බිඳු, ඒ ඓතිහාසික බිම මත වැතිරී ලොවටම කියා පෑවේ එකම සත්‍යයකි. ඒ, යුක්තිය ප්‍රමාද වන සෑම තත්පරයක් පාසාම පෑරෙන්නේ මනුෂ්‍යත්වයේ තුවාල බවයි. තමන්ගේ ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි සොයන මව්වරුන්ගේ දෑස්වල තවමත් නොනිමී පවතින ගැඹුරු වේදනාව, මුල්ලිවෛක්කාල්හි හමායන සුළඟ සමඟ මුසුවී මුළු මහත් විශ්වයටම මුදාහළේ වසර 17ක් තිස්සේ ප්‍රතික්ෂේප වෙමින් පවතින යුක්තිය නොලැබීමේ දරුණු වේදනාවයි.
මුල්ලිවෛක්කාල්හි පෙළගැසුණු ඒ දහස් සංඛ්‍යාත මිනිසුන් හුදෙක් අතීතයේ ශෝකය සිහිපත් කරන්නන් පමණක් නොවේ. ඔවුන් වසර 17ක් පුරා අඛණ්ඩව ප්‍රතික්ෂේප වූ යුක්තිය සහ නිදහස ඉල්ලා අනාගත පරපුර වෙනුවෙන් නොසැලී සිටින සජීවී, ශක්තිමත් සාක්ෂිකරුවෝ වෙති. දශක එකහමාරකටත් වඩා වැඩි කාලයක් පුරා ගෙවා දමන “යුද්ධය නැති, නමුත් සැබෑ සාමයද නැති” මේ කාලපරිච්ඡේදය නිමා කළ හැක්කේ අතීතයේ වේදනාවන් බලහත්කාරයෙන් යටපත් කිරීමෙන් නොව, ඒ සඳහා ගෞරවනීය යුක්තිය ලබා ගැනීමෙන් පමණක් බව මෙන්ම දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් ඉටුවුවහොත් පමණක් බවයි.
පන්දහසකට අධික මේ ජනකායේ නිහඬ, එහෙත් අතිශය ප්‍රබල සහ සාමූහික හඬ මුළු මහත් ලෝකයටම සහ සමස්ත ලාංකීය සමාජයටම මතක් කර දෙන්නේ එනම්, යම් භූමියක් හෝ දේශපාලන අවකාශයක් බලහත්කාරී බලතල හෝ නීති මඟින් තාවකාලිකව නිහඬ කර තිබිය හැකි වුවද, මිනිස් හදවත් පතුලෙන්ම නැඟෙන සත්‍යයේ සහ යුක්තිය වෙනුවෙන් වන අඛණ්ඩ හඬ කිසිදු දිනෙක, කිසිදු බලවේගයකට දිය කර හැරිය නොහැකි බවයි. මුල්ලිවෛක්කාල්හි දැල්වුණු ඒ සැමරුම් පහන් සිළුවක්ම, යුක්තිය පතන වර්තමානයත්, නිදහස් අනාගතයත් යා කරන නොමියෙන මතකයේ සදාකාලික ශක්තියයි.
යුක්තිය නැතිව කල්පවත්නා සාමයක් උදාකර ගත නොහැකිය.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon
පන්දහසකට(5000+) අධික මේ ජනකායේ නිහඬ, එහෙත් ප්‍රබල යුක්තියේ හඬ මුළු මහත් ලාංකීය සමාජයටම මතක් කර දෙන්නේ එකම සත්‍යයකි: භූමිය බලහත්කාරයෙන් නිහඬ කර තිබිය හැකි වුවද, හදවත් පතුලෙන් නැඟෙන යුක්තියේ සහ අයිතියේ හඬ කිසිදා දිය කර හැරිය නොහැකි බවයි. #May18sl #Mullivaikkal #srilanka pic.twitter.com/OK8F65vQ5x
— Vikalpa (@vikalpavoices) May 19, 2026

