2026 ජූනි 05 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිහිටුවීමේ පනත් කෙටුම්පත, ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ තවත් එක් සංක්‍රාන්ති අවධියක් සනිටුහන් කරයි. මීට පෙර ලිපිවලින් මෙම පනත් කෙටුම්පතේ අඩංගු මූලික අවදානම් ස්වභාවයන් පිළිබඳ සාකච්ඡා කළ අතර, මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ වඩාත් මූලධාර්මික ප්‍රශ්න සහ වෘත්තීය නිදහස යන ප්‍රජාතන්ත්‍රවාදී කෝණවලින් මෙම පනත් කෙටුම්පත විමසා බැලීමටයි.

“රාජ්‍ය බලෙන් පටවන නියාමනයක්” සහ “මාධ්‍ය සමාජයේ ස්වයං-මූලිකත්වයෙන් ගොඩනැගෙන වෘත්තීය ආයතනයක්-ව්‍යුහයක්” අතර ඇති පරතරය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප දෘෂ්ටියක් තුළින් කල්පනා කිරීම අතිශය වැදගත්ය. මෙවැනි පසුබිමක, සමාජ මාධ්‍ය සහ වේගයෙන් වර්ධනය වන Generative AI වැනි තාක්ෂණයන් මිනිස් සීමාවන් ඉක්මවා යන යුගයක අපි ජීවත් වෙමු. සත්‍යය සහ අසත්‍ය අතර සීමාව බොඳ වී යමින් ඇති, Epistemic පරිසරයක් තුළ වීමද තවත් ප්‍රභල අභියෝගයක් වුවත් එම තත්ත්වයන් සම්පූර්ණයෙන්ම මෙම ලියවිල්ල විසින් අමතක කර දමා ඇත.

1. මාධ්‍ය සමාජයේ ඉල්ලීම සහ පනතේ සම්භවය

පනත් කෙටුම්පතෙහි කොතැනකවත් මෙම ආයතනය මාධ්‍යවේදීන්ගේ හෝ මාධ්‍ය සංවිධානවල සක්‍රීය ඉල්ලීමක් මත සකස් වූවක් බව සඳහන් නොවේ. පනතට අනුව මෙහි මූලික අරමුණ වන්නේ මාධ්‍ය වෘත්තිකයන් සඳහා “වෘත්තීයමය ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාමයි”. කෙසේ වෙතත්, ඕනෑම වෘත්තීය ආයතනයක මූලික ලක්ෂණය වන්නේ අදාළ වෘත්තිකයන්ගේම අභ්‍යන්තර අවශ්‍යතා, ප්‍රමුඛතා සහ එකඟතාව මත එය බිහිවීමය. එහෙත් මෙම පනත සම්පූර්ණයෙන්ම විෂයභාර අමාත්‍යවරයාගේ නියමය සහ බලය මත ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනාවකි.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සංවර්ධන ක්‍රමවේදය විය යුත්තේ කුමක්දැයි විමසීම වැදගත්ය. යම් හෙයකින් මාධ්‍ය සමාජය තුළ වෘත්තීය අයිතීන් සුරක්ෂිත කිරීම සහ වෘත්තීය සංවර්ධනය උදෙසා යම් ආයතනික යාන්ත්‍රණයක අවශ්‍යතාවක් මතු වී තිබුණි යැයි උපකල්පනය කරමු. එවන් තත්ත්වයක් තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය වන්නේ, එම වෘත්තීය ආයතනය මාධ්‍ය සමාජය විසින් ස්වයං-මූලිකත්වයෙන් සංකල්පගත කරමින් ගොඩනැගීමට අවශ්‍ය අවකාශය සහ පහසුකම් රාජ්‍යය විසින් සලසා දීමයි. තවද, ඒ හරහා සකස් වන වෘත්තීය රාමුවකට අවශ්‍ය යැයි මාධ්‍ය සමාජය ස්වේච්ඡාවෙන් සලකන්නේ නම් පමණක්, එයට පිළිගැනීමක්(නෛතික හෝ වෙනත් අකාරයකට) ලබා දීම රාජ්‍යයේ වගකීම විය යුතුය.

ඊට පටහැනිව, මාධ්‍ය සමාජයේ කිසිදු දායකත්වයකින් තොරව ආණ්ඩුවක් විසින් ‘වරලත්’ ලේබලයක් යටතේ බලපත්‍රලාභී නියාමන ආයතනයක් ඉහළ සිට පහළට ((Top-down approach) බලෙන් පැටවීම යනු වෘත්තීය සංවර්ධනයක් නොව, මාධ්‍ය ක්ෂේත්‍රය ආණ්ඩුවක පාලනයට යටත් කර ගැනීමේ නෛතික උගුලකි.

2. ආණ්ඩුවක් මඟින් නීතියක් ලෙස යෝජනා වීම සහ මාධ්‍ය නිදහස

රජයක් විසින් මාධ්‍ය සඳහා වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම සහ නියාමනය කිරීමේ නීති පැනවීමේදී මතුවන ප්‍රධානතම තර්ජනය වන්නේ දේශපාලන මැදිහත්වීමයි. පනතේ 5(4)(අ) වගන්තියට අනුව, මුල් වසර සඳහා පත් කරන “අතුරු සභාව” සම්පූර්ණයෙන්ම අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ තේරීම මත පත් කෙරේ. මෙම සභාවට ස්ථිර සභාවේ සාමාජිකයන් තෝරා ගන්නා නිර්ණායක පවා තීරණය කිරීමට බලය පැවරී ඇති බැවින් (5(4)(ආ)(i)), මෙයින් මාධ්‍ය නිදහස රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිරගත වීමේ දැවැන්ත අවදානමක් මතුවේ.

3. සැබෑ ගැටලු මඟහැර නියාමනය පසුපස හඹා යාම

ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ අතීත අපරාධවලට යුක්තිය ඉටු කිරීම සහ දණ්ඩමුක්තිය (Impunity) සම්පූර්ණයෙන් ඉවත් කිරීම වැනි අතිශය තීරණාත්මක ගැටලු විසඳීමට කඩිනම් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැත. එබඳු පසුබිමක, වෘත්තීය ප්‍රමිතීන් සෑදීම වැනි ආලේපන තැවරීමෙන් පමණක් මාධ්‍ය දියුණු කළ හැකියැයි සිතීම මිරිඟුවකි.

පනතේ 4(ච) වගන්තිය යටතේ මාධ්‍ය ක්ෂේත්‍රය “අධීක්ෂණය කිරීම” (Monitoring) සඳහා ආයතනයට බලය පවරා ඇත. ලංකාව වැනි දැනටමත් අතිශයින් ඛණ්ඩනය වී ඇති සහ ද්‍රවීකරණය වූ මාධ්‍ය ආකෘතියක් ඇති රටක (සහ යුද්ධයෙන් වසර 17කට පසුව වුවත් උතුරු සහ නැගෙනහිර මාධ්‍යවේදීන් තවමත් පීඩාවට පත්වන පරිසරයක් තුළ), මෙම අධීක්ෂණ බලය හුදෙක් පරිපාලනමය කටයුත්තකට සීමා නොවී, ඉදිරියේදී මාධ්‍යවේදීන්ගේ තොරතුරු මූලාශ්‍ර සහ ප්‍රකාශන ක්‍රියාවලිය රහසිගතව නිරීක්ෂණය කරන/ආවේක්ෂණය (Surveillance) කරන මර්දනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් ඇත.

මෙම උගුල චීනයේ අත්දැකීම් හරහා වඩාත් පැහැදිලි වේ. චීනය තුළ රාජ්‍ය විසින් පාලනය කරනු ලබන මාධ්‍ය නියාමන සහ බලපත්‍ර ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක කරන්නේ හුදෙක් වෘත්තීය ප්‍රමිතීන් පරීක්ෂා කිරීමක් පමණක් නොවේ. එය අන්තර්ජාල අන්තර්ගතයන් සහ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික සන්නිවේදන ජාල අඛණ්ඩව ආවේක්ෂණය කරමින්, ආණ්ඩුවට අභියෝග කරන තොරතුරු ප්‍රවාහය මුලිනුපුටා දැමීමේ ඩිජිටල් පාලන තන්ත්‍රයකි. (here) එබැවින්, නියාමනයක් ලෙස පෙනී සිටින මෙම “අධීක්ෂණය කිරීමේ” වගන්තිය, රාජ්‍යයට අභිමත නැති අදහස් මර්දනය කරන රහසිගත ඔත්තු බැලීමේ අවියක් බවට පත්වීමේ භයානක යථාර්ථය අප අමතක කළ යුතු නැත.

4. මාධ්‍ය සමාජය සමඟ සාකච්ඡාවකින් තොරව නීති ගෙන ඒම

“තොරතුරු නිදහසේ ගලා යාම” තහවුරු කිරීම සඳහා මාධ්‍ය සංවිධාන ස්වේච්ඡාවෙන් ආචාරධර්ම පද්ධතිවලට බැඳී සිටීම ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකි. නමුත් මෙම පනතේ 25 වන වගන්තිය යටතේ නියෝග පැනවීමේ බලය අමාත්‍යවරයාට පවරා තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනිය. මාධ්‍ය සංවිධාන ඇතුළු මාධ්‍ය සමාජයේ පූර්ණ දායකත්වයෙන් තොරව ආණ්ඩුවක් විසින් පනවනු ලබන ආචාරධර්ම පද්ධති බොහෝ විට භාවිතා වන්නේ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ මෙවලම් ලෙසය යන්න අප අමතක කළ යුතු නැත.

පසු සටහන

වෘත්තීයභාවය ඉහළ නැංවීම යනු කිසිදු ආන්දෝලනයකට ලක් නොවන යහපත් අරමුණකි. එහෙත්, අතුරු සභාවේ ඒකාධිකාරී බලතල, මූල්‍යමය පාලනය සහ පුළුල් නිර්වචන හරහා එම උදාර වෘත්තීය අරමුණේ ආලේපනය (අයිසිං) තවරමින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අභියෝගයට ලක් කරන ඒකපාර්ශවීය නීති රාමුවක් සමාජය මත පැටවීමට රාජ්‍යය උත්සාහ කිරීම බරපතල ලෙස ප්‍රශ්න කළ යුතුය.

මාධ්‍ය සමාජය, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් සමඟ කිසිදු පුළුල් සංවාදයකින් හෝ බහුපාර්ශ්වීය සාකච්ඡාවකින් තොරව, ඉහළ සිට පහළට බලෙන් පටවනු ලබන මෙවැනි ‘අලුත් නීති’ මගින් සිදු වන්නේ වෘත්තීයභාවය සුරැකීම නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු මර්දනය කරමින් මාධ්‍ය නිදහසට එරෙහිව අවභාවිත වන නෛතික උගුලක් නිර්මාණය කිරීමයි. එබැවින්, මෙම ඒකපාර්ශවීය නියාමන උත්සාහය පිටුපස ඇති සැබෑ න්‍යාය පත්‍රය කුමක්ද යන්න පිළිබඳව සමස්ත මාධ්‍ය ප්‍රජාව මෙන්ම පුරවැසි සමාජයද අතිශයින් විමසිලිමත් විය යුතු අතර, මාධ්‍යයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමූතින් උල්ලංඝනය කරන මෙවැනි පනත් කෙටුම්පත් පරාජය කිරීම සඳහා එක්විය යුතුය.

අවසාන වශයෙන්, මෙම පනත් කෙටුම්පත හුදෙක් හුදකලා යෝජනාවක් ලෙස නොසැලකිය යුතුය. දැනට නීතියක් ලෙස ක්‍රියාත්මක වන ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ (Online Safety Act – OSA) සහ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'(PSTA) වැනි මර්දනකාරී නීති රාමු සමඟ එය සමපාතව කියවිය යුතුය. එසේ බැලූ කල, පුරවැසි පෞද්ගලිකත්වයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල වන බහුමානීය තර්ජනයන්හි සැබෑ අඳුරු ස්වරූපය වඩාත් පැහැදිලි වනු ඇත.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

Related Content:

වරලත් මාධ්‍යවේදියා: වෘත්තීයභාවය උදෙසා කෙරෙන ගමනක් ද, නැතහොත් නෛතික උගුලක් ද?

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය: අරමුණ මාධ්‍ය නිදහස ද? [නව පනත් කෙටුම්පත පිළිබඳ විග්‍රහයක්]