iMage: 18 August 2026/ Jaffna Protest/@VIKALPA FILE

පරම්පරාවක් පුරා ඇදෙන මාරාන්තික බලාපොරොත්තුව

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී දැන් වසර 17ක් ගත වී ඇත. එය හුදෙක් ඉලක්කමක් නොව, යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරන වින්දිත පවුල්වල පරම්පරාවක් පුරා ඇදෙන ගැඹුරු බලාපොරොත්තුවකි. තත්ත්වය එසේ තිබියදී 2024 වසරේදී නව පාලනයක් උදාවීමත් සමඟ ජනතාව තුළ ඇතිවූයේ අතීතයේ කටුක මතකයන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි යන යම් විශ්වාසයකි. එහෙත්, 2026 සැප්තැම්බර් මස නිකුත් වූ එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාවෙන් හෙළිදරව් වන්නේ එම විශ්වාසය පළුදු කරමින් “විශ්වාසය පිළිබඳ පරතරය” තවදුරටත් පුළුල් වී ඇති බවයි.

පොරොන්දු සහ ප්‍රායෝගිකත්වය අතර පරතරය

2024 සැප්තැම්බර් මාසයේදී අනුර කුමාර දිසානායක මහතා බහුතර ජනවරමකින් ‘විධායක ජනාධිපති’ ලෙස පත්කරගනු ලැබුවේ යුක්තිය සහ වගවීම පිළිබඳ නව පරිච්ඡේදයක් පෙරළන බවට වූ ප්‍රබල පොරොන්දු ද සමඟිනි. එහෙත් එම ජනවරමට වසර දෙකක් සපිරෙන විටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Türk) මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ එම පොරොන්දු “උදාසීන ප්‍රගතියක්” (tepid progress) පමණක් පෙන්නුම් කරන බවයි.

ටර්ක් මහතාගේ වාර්තාවට අනුව, ඇතැම් සීමිත ක්ෂේත්‍රවල යම් ප්‍රගතියක් පෙනෙන්නට තිබුණද,

“ජාත්‍යන්තර නීතිය යටතේ ගැනෙන අපරාධ, දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සියලු පාර්ශවයන් විසින් සිදු කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු පිළිගැනීමක් හෝ වගවීමක් මෙතෙක් සිදුවී නොමැත.”
යනුවෙන් සදහන් වෙයි.

අමතක කර දමා ඇති ‘සංකේතාත්මක’ සිදුවීම්: රජයේ “තෝරාගත් යුක්තිය”

යුක්තිය ඉටු කිරීම යනු දේශපාලනිකව වාසිදායක වන සීමිත සිදුවීම් කිහිපයක් විමර්ශනය කිරීම නොවේ. වත්මන් ආණ්ඩුව ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් සුළු පියවර කිහිපයක් තැබුව ද, රාජ්‍ය යාන්ත්‍රණය සෘජුව සම්බන්ධ වූ “සංකේතාත්මක” සිදුවීම් තවමත් පවතින්නේ අගාධයකය. රජය විසින් සූක්ෂම ලෙස මගහරිනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පමණක් මෙසේ පෙන්වා දිය හැකිය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්: වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සිය ආදරණීයයන් සොයා පාරේ අරගල කරන පවුල් සඳහා කිසිදු පිළිතුරක් හෝ යුක්තියක් ඉටු නොවීම.

සහන සේවකයන් ඝාතනය: මානුෂීය මෙහෙයුම්වල නිරතව සිටියදී ඝාතනයට ලක්වූ සේවකයන් සම්බන්ධ සිදුවීම් තවදුරටත් යටපත් කර තිබීම. (2006 අගෝස්තු මාසයේදී මුතූර් ප්‍රදේශයේදී ‘Action Contre La Faim’ (ACF) නැමැති ජාත්‍යන්තර සහන සේවා සංවිධානයේ සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කරනු ලැබීය)

මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම: සත්‍යය ලොවට හෙළි කළ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ දරුණු අපරාධ සම්බන්ධයෙන් පවත්නා දණ්ඩමුක්තිය තවදුරටත් තහවුරු වීම් – මේ කිපියක් පමණක් වන අකර මෙම සිදුවීම් නොසලකා හැරීම යනු රජය තමන්ට හිතකර ලෙස යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හසුරුවන බවට ලැබෙන පැහැදිලි සාක්ෂියකි.

PTA සහ මර්දනයේ අඛණ්ඩ පැවැත්ම: රාජ්‍ය මර්දනකාරී නිරීක්ෂණ ජාලය

ප්‍රතිසංස්කරණ ගැන කතා කරන රජයක් යටතේ වුවද, අතිශය මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තවමත් ප්‍රබල අවියක් ලෙස භාවිත වේ. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල මානව හිමිකම් ආරක්ෂකයින් සහ වින්දිත පවුල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන “රාජ්‍ය මර්දනකාරී නිරීක්ෂණ ජාලය” තුළින් සිදුකරන නිරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම් තවමත් අඩුවක් නොමැතිව සිදුවේ.

බලයට පත්වීමට පෙර මෙම නීති අහෝසි කරන බවට පොරොන්දු වූ රජය, අද වන විට එම පද්ධතියම එළෙසම පවත්වාගෙන යෑම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් අවධාරණය කරන්නේ මෙම නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරන තෙක් එය භාවිත කිරීම පිළිබඳ වහාම “කාලීන තහනමක්” පනවන ලෙසයි.

ජාත්‍යන්තර සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම: පාපොච්චාරණයක රතු ලකුණු

ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි ජාත්‍යන්තරව සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවන ලද “ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය” (Sri Lanka Accountability Project) වත්මන් රජය විසින්ද ප්‍රතික්ෂේප කර ඇත. ජාත්‍යන්තර නඩු පැවරීම් සඳහා සාක්ෂි රැස්කරන මෙවැනි යාන්ත්‍රණයකට ඉඩ නොදීම මගින් හැඟවෙන්නේ රජය ස්වාධීන විමර්ශනයකට ඇති බියයි.

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවල අසාර්ථකත්වය

යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් වේදිකා මත කරන ප්‍රකාශ නොවේ. ඒ සඳහා දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ව්‍යුහාත්මක පද්ධතියක් අවශ්‍ය වේ. එහෙත් පහත සඳහන් මූලික වෙනස්කම් සිදු කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇත.

ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක්:
දේශපාලනඥයන්ට චෝදනා ගොනු කිරීමේ බලය හැසිරවීමට ඇති ඉඩකඩ අහුරන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අපොහොසත් වීම.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ: අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූවන් ආරක්ෂක අංශවල තවදුරටත් රඳවා තබා ගැනීම තුළින් සමස්ත යුක්ති පද්ධතියම අඩපණ වී ඇත.

මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් නොමැතිව සිදු කරන ඕනෑම ක්‍රියාවක් මතුපිටින් පෙනෙන නාටකයක් පමණක් වනු ඇත.

වසර 20ක සෙවණැල්ල සහ සැබෑ සංහිඳියාව

යුද්ධය අවසන් වී දශක දෙකක් සපිරීමට ආසන්නව තිබියදීත්, වින්දිතයන්ට තවමත් උරුම වී ඇත්තේ පොරොන්දු පමණි. තමන්ගේ අතීත අපරාධ දෙස බැලීමට රාජ්‍යය තවදුරටත් බිය වන්නේ නම්, “සැබෑ සංහිඳියාවක්” ගැන කරන කතා හුදෙක් හිස් වචන සමූහයක් පමණි.

අවසාන වශයෙන් අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. රාජ්‍යය තමන්ගේ අපරාධ අතීතය වසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, වින්දිතයන්ගේ වේදනාව මත ගොඩනගන “අනාගතය” කෙතරම් සාධාරණ එකක් වනු ඇතිද? යුක්තිය යනු වරප්‍රසාදයක් නොව, එය වින්දිතයන් සතු පරම අයිතියකි.

*එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ශ්‍රී ලංකාව සදහා කරනු ලබන නිර්දේශ බලන්න